නූතන පරම්පරාවේ තරුණ ගේය පද රචකයන්

ගීත රචනා කලාව කියන්නේ අපි ඇතුළේ නිද්‍රාවට පත් වී සිටින හැඟීම් නොහිතූ නොසිතූ වෙලාවක සැණින් පුබුදුවලා ගන්න තරම් ප්‍රබල කලා ක්ෂේත්‍රයක්. විශේෂයෙන්ම සිංහල ගී පද රචනා කලාව ආදර තේමාවටම සීමා නොවී බොහෝ අස්පර්ෂණීය තේමාවන් රැසක් ආවරණය කරපු ගීත සංස්කෘතියකින් පෝෂිතයි. මොකද අනෙකුත් රටවල් වලට වඩා අපේ රටේ ඉස්සර ඉඳන්ම ගීත ලියන්න පටන් ගත්තේ කවි පරම්පරාව නියෝජනය කරපු අත්දැකීම් වලින් සන්නද්ධ දක්ෂයෝ පිරිසක් . ඔවුන්ගෙන් ආරම්භ වුණු අපේ මධුර සිංහල ගීතය ක්‍රමිකව වර්ධනය වෙලා අද වෙද්දී දක්ෂ වෘත්තීමය ගී පද රචකයන් බිහි වන මට්ටමට ම ඒ කලාව සංවර්ධනය වී තිබෙනවා. අපි අද ඔබට තොරතුරු ගෙන එන්නේ නූතන පරම්පරාවට හෘදයාංගම ගී තිළිණ කරමින් සිටින තරුණ ගේය පද රචකයන් හා රචිකාවියන් 7 දෙනෙක් ගැනයි.

 

1. මනුරංග විජේසේකර

රම්බරි” ගීතය තුළින් ගී පද රචනා ක්ෂේත්‍රයට පැමිණි මනුරංග විජේසේකර කියන්නේ නව පරපුරේ ගායකයන්ට අපූරු පදමාලා නිර්මාණය කරලා දෙන ගේය පද රචකයෙක්. ඔහු මේ වන විට පද රචනය පමනක් නොවෙයි, නිවේදනය ඔස්සේ ද දක්ෂතා අතරට පැමිණ තිබෙනවා. මනුරංග සහ ලහිරු කියන සංයෝගයෙන් ඉතාම වෙනස් සංගීත හැඩයක් හා ජනප්‍රිය​ම ගී එකතුවක් බිහි වුණ බව ඔබ අනිවාර්‍යෙන්ම දන්නවා ඇති. 

 

2. චරිත් සේනාධීර

කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා ලියනගේ සුසංයෝගයෙන් බිහි වුණ “අනන්තයට යන පාර දිගේ” ගීතයට ඔබ අනිවාර්‍යෙන්ම ආදරය කරනවා ඇති. චරිත් එහි පද රචකයායි. කොළඹ ආනන්ද විද්‍යාලයේ සම වයස් මිතුරන් වූ ඔවුන් ගායන, සංගීත හා පද රචනා කලාව තුළින් විකල්ප ධාරාවක අලුත් සංගීත රසවින්​දනයක් මෙරටට හඳුන්වා දුන්නා. එතනින් ඔහු ආරම්භ ක​ළ ගී පද රචනා කලාවේ අද වෙද්දී බාචි සුසාන්ගේ අතිශය ජනප්‍රිය ගීතයක් වුණු “සීත මීදුම් ඉරා” ගීතය ඇතුළු තවත් බොහෝ විශිෂ්​ට පද රචනා සමඟ ඔහු බොහෝ දුරක් පැමි​ණ තිබෙනවා. 

 

3. ශෙහාන් ගලහිටියාව

පහු ගිය කාලයේ වර්තමාන තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණු හර්ශ විතානගේ ගේ “සඳනාරී”ශෂිකා නිසංසලාගේ “ඔබ මා හමු වුණු දා”, “ගිම්හාන කාලයේ” ආදී ගීත වලට ඉතාමත් අනර්ඝ පදවැල් එක් කෙරූ අතිශය දක්ෂ පද රචකයා තමයි ශෙහාන් ගලහිටියාව කියන්නේ. ඒ වගේම ඔහුගේ සියලුම ගීතවල ඇති අදහස් හදවතේ පතුලටම කාවදින ආකාරයෙන්  ගීතවල ඇති පද  මුල සිට අගටම එකිනෙකට බැඳී පවතිනවා. 

 

4. අචල සොලමන්ස්

කසුන් කල්හාරගේ “මත් මල් සේනා”, “සඳ මිතුරී”නිරෝශා විරාජිනීගේ “මාරුතේ”, ඉරාජ්ගේ “මනමාලී”, මිහිඳු ආරියරත්නගේ “අනාවැකියක්” ආදී ඔබ ආදරය කරන බොහෝ ගීත රාශියක් රචනා කර තිබෙන්නේ අචලයි. ඔහුත් වර්තමානයේ සිංහල ගීත කලාව තුළ වෙනස්ම ගී පද හොයන් යන දක්ෂයෙක්. ඒ නිසාම ගීත කලාව ගැන ඉහ​ළ සංවේදී බවක් ඇති රසිකාගාරය තුළ ඔහුගේ පද වැල් ඉතාම ජනප්‍රියයි.

 

5. උමා අසේනි

ලාංකික ගී පද රචනා කලාවට අලුතෙන්ම පෑයූ ගී පද තාරකාවියක් උමා කියන්නේ. සනුක වික්‍රමසිංහගේ “පෙරවදනක්”, නදීමාල් පෙරේරාගේ “නුරා වසන්තේ” ආදී අතිශය ජනප්‍රිය වුණු ගීත කීපයක් අලුත් පරම්පරාවට තිළිණ කරමිනුයි ඇය පද රචනා කලාවට පැමිණ සිටින්නේ. ඇය පද රචිකාවක් වගේම පුංචි තිරයේ දක්ෂ නිවේදිකාවක් හා රංගන ශිල්පිනියක්. 

 

6. රචිතා වාකිෂ්ඨ

ශ්‍රී ලාංකික ගී පද රචනා ක්ෂේත්‍රයේ පුරුෂාධිපත්‍ය නිර්මාණ වලට අභියෝග කරපු තවත් අති දක්ෂ පද රචිකාවියක් තමයි රචිතා. ජගත් වික්‍රමසිංහගේ “මං නුඹෙමද”, ශෂිකා නිසංසලාගේ “ඇස් දෙක පුරා”, සමිතා මුදුන්කොටුවගේ “පාවෙලා කෝඩු ආකාසේ”, ආත්මා ලියනගේ ගේ “ආයෙමත් ආදරෙන්”, “හිත දුර හන්දා” ආදී බොහොම හෘදයාංගම අතිශය ජනප්‍රිය වුණු ගී පද රචනා රැසක් ඇය අතින් ලියවී තිබෙනවා. 

 

7. සජිත් වී. චතුරංග

කීරිති පැස්කුවල්ගේ “තව දවසක් හමු වී ඉමු” ගීතයට අකමැති රසිකයෙක් නම් හොයාගන්න නැති තරම්. ඒ තරමට එම පද රචනාව අපේ හිත් කම්පනය කරවපු පද රචනයක්. එහි පද නිර්මාණකරුවා තමයි සජිත් කියන්නේ. ඔහුත් ඉතා සාර්ථක ගී පද ගණනාවක් අලුත් පරම්පරාවට තිළිණ කර තිබෙනවා. ශෂිකා නිසංසලාගේ “අප හමු වුණ තැන”, චාමික සිරිමාන්නගේ “ආයේ එන්න පණ මාගේ”, නදිනි ප්‍රේමදාසගේ “දිලිසෙන දෙනෙත ඔබේ” ආදී රසික ඔබ ​අතර ජනප්‍රිය වුණු ගීත ගොන්නක පද අයිතිකරුවා ඔහුයි.

 

අපි මේ ලිපියෙන් කියපු ගී පද රචික රචිකාවන්ට අමතරව වර්තමානයේ කැපී පෙනෙන, ඔබේ සිත් ගත් නිර්මාණකරුවන් ඉන්නවානම් ඒ ගැන අපිට කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා.

 

 

තිනෙති නානායක්කා​ර

One response to “නූතන පරම්පරාවේ තරුණ ගේය පද රචකයන්”

  1. Chamara pradeep says:

    ආරාධනා ඒකනායක
    Chamara වීරසිංහ ගේ ගොඩක් ගීත ලිව්වෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *