කාලෙන් කාලෙට එන සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ්ස් වල තියෙන නරක පැත්ත

දැන් ඔය ට්‍රෙන්ඩ්ස් තියෙනවනේ. ඒ කියන්නේ එක එක කාලෙට ජනප්‍රිය වෙන රැළි. ඔය රැළි එක එක දේවල් ඔස්සේ එන්න පුළුවන්. ෆැෂන් ට්‍රෙන්ඩ්ස් කියන්නේ නම් ඉතින් නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයිනේ. හැබැයි දැන් කාලේ තියෙන හිට්ම ට්‍රෙන්ඩ්ස් තියෙන්නේ සෝෂල් මීඩියා වල තමයි. ෆේස්බුක් එකට ඔය එක එක විදියේ ට්‍රෙන්ඩ්ස් එනවා යනවා. හොඳම උදාහරණය තමයි මෑතකදී ආපු ගෑණු පිරිමි කරන්න, පිරිමි ගෑණු කරන්න, තරුණ අය නාකි කරන්න එහෙම පුළුවන් ෆේස් ඇප් එක. ඒකෙනුත් ගෑණු පිරිමි කරන, පිරිමි ගෑණු කරන ෆීචර් එක තමයි පහුගිය දවස් වල ට්‍රෙන්ඩ් වුනේ. තමන්ගේ නාකි කාලේ පෙනුම පෙන්නන ෆොටෝ එඩිට් කරන එකත් ඊට ටික කාලෙකට කලින් ට්‍රෙන්ඩින් වුනා. මේ ඇරෙන්න ටික්ටොක් වගේ ප්ලැට්ෆෝම් එකක් ගත්තහම දෙයියනේ කියලා දවස ගාණේ ට්‍රෙන්ඩ්ස් එනවා. එහෙම නැතුව ඒ වගේ මීඩියා එකක් දුවන්නත් අමාරුයි ඉතින්.

 

කොහොම කොහොම හරි වේවා, අපි කලිනුත් කියපු විදියට ට්‍රෙන්ඩ්ස් වල හොඳ සහ නරක දෙකම තියෙනවා. හැබැයි ඉතින් සමහරු නම් කියනවා නරක වැඩියි කියලා. කෝක කොහොම වෙතත්, අපි හිතුවා සෝෂල් මීඩියා සහ වෙනත් ට්‍රෙන්ඩ්ස් වල තියෙන නරක ගැන කථා කරලම වැඩේ පටන් ගන්න.

 

1. පෞද්ගලිකත්වය සුන්?

මෙන්න මේක ඇත්තටම ගොඩක් අයිටී සෙකියුරිටි එක්ස්පර්ට්ලා පෙන්නලා දෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ට්‍රෙන්ඩ්ස් නිසා සෘජුවම වගේම එක පාර නොපෙනෙන විදියට වක්‍රාකාරයෙන් පවා අපේ සංවේදී දත්ත පිටට යන්න තියෙන ඉඩ ඉතාම වැඩියි කියන එක. හරි, උදාහරණ කීපයක් ගමු. දැන් ඔය ෆේස්බුක් ගෘප් වල යනවා සමහර පෝස්ට්, ඔයාගේ පුංචි කාලේ හුරතලාගේ නම සඳහන් කරමු, ඔයාගේ අම්මගේ තාත්තගේ නම සඳහන් කරමු, ඔයාගේ අයිඩෙන්ටි කාඩ් එකේ අංකේ සඳහන් කරමු වගේ එව්වා. විශේෂයෙන්ම මොකක් හරි පොදු දෙයක් -උදාහරණයක් විදියට 1990 උපන්දින තියෙන අය- නිසා එකට ඉන්න ගෘප් එකක ඕවා පට ගාලා ට්‍රෙන්ඩින් වෙනවා. හිතන්න මතන්නේ නැතුව තමන්ගේ විස්තර කමෙන්ට් විදියට දාගෙන දාගෙන යනවා. හැබැයි මොහොතකටවත් හිතලා බැලුවද ඔය තමන්ගේ ආරක්ෂාවයි පාවලා දෙන්නේ කියලා? මොකක් හරි බැංකු ගිණුමක් සම්බන්ධයෙන් වුනත්, වෙබ් ගිණුමක් සම්බන්ධයෙන් වුනත් අහමු කියලා අපි එකඟ වෙන ආරක්ෂක ප්‍රශ්න මොඩ්ල් වල නැද්ද සුරතලාගේ නම එහෙම? තියෙනවා නේ. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය කියන්නේත් අපේ ආරක්ෂාවේ වැදගත් කොටසක්.

 

දෙවෙනියටත් උදාහරණයක් ගමු. ඔය ටික් ටොක් චැලේන්ජ් වල තියෙනවනේ ඇඳගෙන ඉන්න එක ගලවලා දාලා මොකුත් නැතුවම බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් ගාවට ගිහින් පුදුම කරවන ට්‍රෙන්ඩ්ස් එහෙම. දැන් සමහරු තුවාය ඇඳගෙන ඉන්න ෂොට් එකකුත් අරගෙනම තමයි වැඩේ පටන් ගන්නේ. සමහරුන් ඇඳුම් ගලවලා දාලා යනකොට, අහළ පහළ තියෙන දිලිසෙන මතුපිටකින් ලස්සනට ඔක්කොම පේනවා. දැන් ඔය තමන්ගේ නියුඩ්ස් කොහේ නවතියි කියලද හිතන්නේ?

 

2. වයසටද වැඩ?

මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. දැන් අපි කියමු සීයා කෙනෙක් කොල්ලා වගේ ඩෙනිමක් ටීෂර්ට් එකක් ගහලා සැපේ ඉන්නවා කියලා. කවුරුත් අහන්නෙ නෑනේ සීයා වයසටද වැඩ කියලා. ඒ වෙනුවට දකින කෙනෙක් සතුටු වෙයි සීයා කොල්ලා වගේ කියලා. ඇත්තටම සීයෙක් අඳින්න ඕන මෙහෙමයි කියලා එකක් නෑනේ. හැබැයි, ඔය සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ්ස් වලට අහුවෙන කොට නම් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා තමන්ගේ වයසට ගැලපෙනවද කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, වයස අවුරුදු තිස්පහේ හතළිහේ මනුස්සයෙක් අවුරුදු දාසයේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි වගේ කොටට ඇඳන් නටන එක දකින අයට අජූව වෙන්න පුළුවන්. හැබැයි එහෙම කොටට ඇඳන් නටන්න පුළුවන්, වයස පේන්නේ නැති විදියේ කෙනෙක් නම් ඒක වෙනම කතාවක්.

 

3. නිකං කොරවක්කෙක් වගේ නෙහ්?

මෙන්න මේකත් අපි හිතලා බලන්න ඕන දෙයක්. දැන් අපි හිතමු මෙහෙම. අපි හැමෝම එක වගේ නෑනේ පෙනුම ගත්තොත් එහෙම. සමහරු උසයි, සමහරු මිටියි, සමහරු මහතයි, සමහරු කෙට්ටුයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඔය සමහර ට්‍රෙන්ඩ්ස් වලදී අපේ ශරීරයේ පෙනුම එහෙමත් සෑහෙන්න බලපානවා. අපිට ඒක නොතේරෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපිව බලාගෙන ඉන්න අයට ඒක පේන්න පුළුවන්.

 

සමහරු හිතනවා මෙහෙම කියන එකම අපහාසයක් කියලා. නෑ. අපිත් බොඩි ෂේමින්ග් වලට විරුද්ධයි. හැබැයි අපි ඇඳුමක් ගන්නකොට අඳින්න බැරි තරම් පොඩි හරි ලොකු හරි ඇඳුමක් ගන්නෙ නෑනේ. අන්න ඒ වගේ තමයි. අපි සෝෂල් මීඩියා හරහා වුනත් යම් කිසි ප්‍රතිරූපයක් නඩත්තු කරනවනේ. අන්න එතකොට අපිට පෙනුම ගැන එහෙමත් හිතලා බලන්න වෙනවා.

 

4. ඔයාගෙ කිසි විශේෂත්වයක් නෑනේ?

ට්‍රෙන්ඩ්ස් වලට අහුවෙන එකේ තියෙන ලොකුම අවුලක් තමයි, ඒ ට්‍රෙන්ඩ් එකම කරන තව දහසක් දෙනා ඉඳීම. එතකොට තමන්ට කියලා සුවිශේෂී අනන්‍යතාවයක් හැදෙන්න ඉඩක් ඇත්තෙම නැති තරම්. මේක ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ඔය එක එක ෆොටෝෂූට් වලදී. සාමාන්‍යයෙන් ක්‍රියේටිව් තින්කින් නැති කෙනෙක් නම්, ඒ ෆොටෝෂූට් වල ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ් වෙලා තියෙන සෙටප්, පෝසස් සහ බැක්ග්‍රවුන්ඩ්ස් තමයි. ඉතින් ඒක බලන කෙනෙක්ට කිසිම නවතාවයක් දැනෙන්නේ නෑ. ෆොටෝෂූට් එකට පෙනී ඉන්න කෙනාගේ කොයි තරම් ෆීචර්ස් තිබ්බත්, එයා විශේෂයි කියලා දැනෙන්නෙත් නෑ. මේක ෆැෂන් වලට වුනත්, වෙනත් දේවල් වලට වුනත් බලපානවා.

 

5. සල්ලි ටිකත් ඉවරද?

සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ්ස් කියන්නේ ඇත්තටම කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන චැලෙන්ජස් විතරක් නෙවෙයි. සමහරු සෝෂල් මීඩියා ඔස්සේ යම් යම් දේවල් මිලදී ගන්න අවශ්‍යතාවයන් එහෙමත් හදනවා. එව්වත් ට්‍රෙන්ඩ්ස් තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගොඩක් වෙලාවට මෙහෙම නිර්මාණය කරන්නේ ව්‍යාජ අවශ්‍යතාවයන්. ඒ කියන්නේ අපිට මෙව්වා ඕනය කියලා හිතුවට, ඇත්තටම අපිට මේවා අවශ්‍ය නෑ. සමහර වෙලාවට ඔය ට්‍රෙන්ඩ් එකකින් ඇතිකරන හයිප් එක නිසා අපි දෙයක් ගත්තට, ඇත්තටම ඒක ගන්න අපිට වත්කමක් නෑ.

 

එක උදාහරණයක් ගමු. දැන් ඔය සමහර පොත් තියෙනවා සෝෂල් මීඩියා ඇතුළේ ට්‍රෙන්ඩ් වෙන. පොතකට යන්නේ පොඩි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි කෘත්‍රිම ට්‍රෙන්ඩ් එක නිසා ගත්තට, කියවන්න ගත්තට පස්සේ හිතෙනවා අ.පො.ස. (අපරාදේ පොතට ගිය සල්ලි) කියලා.

 

6. අනික් අයටත් ඇණයක්ද?

මේක ඉතින් ෂුවර් ඇන්ඩ් ෂොට් වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අනික් අයටත් හවුල් වෙන්න සිද්ධ වෙන ට්‍රෙන්ඩ් එකක් අපිට ආතල් වුනත් තවත් කෙනෙක්ට ඇණයක් වෙන්න පුළුවන් වීම. උදාහරණ කීපයක් ගමු. දැන් ඔන්න බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම ගැන සෑහෙන්න දුරට හිතන. හැබැයි ගර්ල්ෆ්‍රෙන්ඩ් ටික්ටොක් වීඩියෝ එකක් කරනවා බෝයිෆ්‍රෙන්ඩ් බාත්රූම් එකේ ඉඳන් එලියට එන තැන ඉඳගෙන. ඉතින් කොල්ලගේ පුද්ගලිකත්වයේ ආයෙ ගන්න දෙයක් නෑනේ.

 

ඒ වගේම ඔය සමහර සෝෂල් මීඩියා චැලේන්ජ් ට්‍රෙන්ඩ්ස් නිසා මිනිස්සු අමාරුවේ වැටුණු අවස්ථාත් ඕනතරම් තියෙනවා. ඒ කියන්නේ චැලේන්ජ් එක කරන හාදයෝ විතරක් නෙවෙයි, අනික් අයත් අමාරුවේ වැටුණු අවස්ථා. ඒකට එක උදාහරණයක් තමයි අර යන කාර් එකෙන් බැහැලා නට නට යන එක. 

 

ඉතින් මේ විදියට ගත්තහම ඔය එක එක සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් කරන්න යන අය නිසා තමන්ගේ පවුලේ අය, ආදරණීයයෝ විතරක් නෙවෙයි, වටේ පිටේ ඉන්න අයටත් වාත වෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා.

 

7. ඔයාට ඇත්තටම ඕන දේවල් ලැබුණද?

මේක බැලූ බැල්මට ටිකක් දාර්ශනික ප්‍රශ්නයක් වගේ පේන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි සෝෂල් මීඩියා වල ඉන්නේ, සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරන්නේ මොනවා ලබාගන්නද? එහෙමනම්, ඒ ලබාගන්න බලාපොරොත්තු වුණු දේ අපිට ලැබුණාද? මේ ප්‍රශ්න දෙක තමයි මුලින්ම අහන්න තියෙන්නේ. දැන් මේ පළවෙනි ප්‍රශ්නෙට ලැබෙන උත්තරයක් තමයි තෘප්තිය කියන එක. දෙවෙනි ප්‍රශ්නේ ඒ උත්තරේට අදාළව ගත්තොත්, ඔව් කියලා අපිට ගොඩක් අය කියයි. ඒ වගේම, පළවෙනි ප්‍රශ්නෙට අපිට නොකියන උත්තර තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් කරන මහා පිරිසකට අයිති වෙන එක, තමන් තනි නොවන එක මෙහෙම ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරලා කෙනෙක් ලබාගන්න හිතන දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒක ලැබුණද කියන ප්‍රශ්නේ එනකොට ඔන්න පොඩ්ඩක් හිරවෙන්න පුළුවන්. 

 

මෙතන අපි කියන්න උත්සාහ කරන්නේ සරල දෙයක්. ඒ තමයි මයින්ඩ්ලස් ට්‍රෙන්ඩ්ස් ෆලෝවින්, එහෙම නැතිනම් කිසිම හිතා බැලීමක්, හරයක් නැතුව මොළේ මැරිච්ච සොම්බියෙක් වගේ ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන එකෙන් ඇත්තටම ලැබෙන දෙයක් නැතිවෙන්න පුළුවන් කියන එක. අන්න ඒ නිසා, ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරන්න කලින් ඔය උඩින් කියපු ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ තමන්ගෙන් අහලා බලන එකත්, ට්‍රෙන්ඩ් එක ෆලෝ කළාට පස්සේ උඩින් කියපු දෙවෙනි ප්‍රශ්නේ තමන්ගෙන් අහලා බලන එකත් වැදගත් වෙයි.

 

දැන් එක දෙයක් පැහැදිලි වෙන්න ඕන. අපි මේ කියන්නේ ට්‍රෙන්ඩ්ස් නරකයි, ට්‍රෙන්ඩ්ස් නොකර හිටපල්ලා කියලා නෙවෙයි. අපි කියන්නේ ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරනවා නම්, පොඩ්ඩක් හිතලා මතලා, සවිඥාණිකව ඒක කරන්න කියලා තමයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *