බෞද්ධයෝ වැඩි දෙනෙක් නොදන්න හය වෙනි ධර්ම සංගායනාව

අපි අද කතා කරන්න යන්නේ වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන. දහම් පාසලේදී අපිට ධර්ම සංගායනා ගැන උගන්වනවා. ඒ නිසා අපි සියලු දෙනාම පළමු, දෙවන සහ තුන්වැනි ධර්ම සංගායනා ගැන දැනුවත්. හැබැයි ඊට පස්සේ පැවැත්වුණු ධර්ම සංගායනා ගැන අපිට එතරම් දැනුමක් නැහැ. මේ නිසා අපි හිතුවා ආසන්නම කාලයේදී පැවැත්වුණු ධර්ම සංගායනාව ගැන තොරතුරු කීපයක් ඔබට ගෙන එන්න. මේ ධර්ම සංගායනාව හයවෙනි ධර්ම සංගායනාව විදියට සැලකෙනවා.

එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, එහෙමනම් හතරවෙනි ධර්ම සංගායනාව සහ පස්වැනි ධර්ම සංගායනාව සිද්ද වුණේ කවදද, කොතනද කියලා. ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ හතරවැනි ධර්ම සංගායනාව විදියට සැලකෙන්නේ මාතලේ අළු විහාරයේ දී පැවැත්වුණු ධර්ම සංගායනාව. පස් වැනි ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නේ බුරුමයේ මින්ඩොන් රජතුමාගේ අනුග්‍රහයෙන් ව්‍යවහාර වර්ෂයෙන් 1871දී පැවැත්වුණු ධර්ම සංගායනාව.

එහෙනම් අපි හයවැනි ධර්ම සංගායනාව පැවැත්වුණු ආකාරය ගැන දැන කියා ගනිමු.

 

1. පැවැත්වුණු කාලය

හයවැනි ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ 1954 මැයි දාහත් වැනි වෙසක් පෝය දා බුරුමයේ යැන්ගුන් නගරයේදී. ධර්ම සංගායනාව ආරම්භ කිරීමෙන් වසර දෙකක් ගත වී 1956 මැයි මස 24 වැනිදාට යෙදෙන 2500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන දින සංගායනාව නිමා කිරීමට සැලසුම් කොට තිබුණා. මේ සඳහා මූලික සැලසුම් සකස් කිරීම බුරුම රජය මගින් සිද්ධ කරනු ලැබුවා.

 

2. පැවැත්වුණු ස්ථානය 

පළමු ධර්ම සංගායනාව පැවැත්වුණු රජගහනුවර සප්ත පර්ණි ගුහාව සිහිපත් කරමින් මහාපාෂාණ ගුහා නාමයෙන් ආරාම සංකීර්ණයක් ගොඩනඟනු ලැබුවා. පසුව ධර්ම සංගායනාව පැවැත්වෙන ස්ථානයේ “කබා ආයේ” නම් දාගැබක් සහ විහාර සංකීර්ණයකුත් ඉදි කරනු ලැබුවා.

 

3. සහභාගී වූ භික්ෂූන් වහන්සේ 

මෙම ධර්ම සංගායනාව සඳහා ථෙරවාද බෞද්ධ රටවල් අටක් නියෝජනය කරමින් වියත් භික්ෂූන් වහන්සේලා රාශියක් වැඩම කළා. බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය සහ ඉන්දියාව මෙම රටවලුයි. ජපානයෙන් ද භික්ෂූන් වහන්සේලා කීප නමක් මෙම ධර්ම සංගායනාව සඳහා වැඩම කරනු ලැබුවා. මේ සඳහා සහභාගී වුණු බටහිර භික්ෂූන් වහන්සේලා දෙනම වන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ නිත්‍යව වැඩ වාසය කරමින් සිටි ඤාණතිලෝක හිමියන් සහ ඤාණපොනික හිමියන්.

 

4. සංගායනාවේ ප්‍රතිඵල 

සංගායනාව අවසානයේදී සියලුම භික්ෂූන් වහන්සේලා එකඟ වූ පිටපත් මුද්‍රණය කරනු ලැබුවා. එමෙන්ම ඒ පිටපත් ලෝකය පුරා බෙදා හැරීමට ද කටයුතු කළා.

1999දී තායිලන්තයේ ධර්ම සමාජ නම් අරමුදල මගින් හයවැනි සංගායනාවේ පිටපත්වල තිබූ මුද්‍රණ දෝෂ ආදිය ඉවත් කරමින් නැවත මුද්‍රණය කිරීමක් ආරම්භ කොට 2007 දී නිම කරනු ලැබුවා. එම පිටපත් ද ලෝකය පුරා බෙදා හැරීමට එම අරමුදල පියවර ගත්තා මෙම ක්‍රියාවලිය සඳහා තායිලන්ත රජ පවුලේ සහ විවිධ දානපතියන්ගේ ආධාර උපකාර ලැබී තිබුණා.

 

5. දායකයා 

හයවැනි ධර්ම සංගායනාව සඳහා ප්‍රධාන දායකත්වය දරන ලද්දේ එවකට බුරුමයේ අගමැතිවරයා වූ ‘ඌ නූ’ විසින්. භක්තිමත් බෞද්ධයකු වූ ඔහු වරක් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ජීවිතයේ වඩාත් ම ගරු කරන සූත්‍රය වන්නේ කාලාම සූත්‍රය බවයි. ඔහු විසින් බුරුමය තුළ බුද්ධාගම නගා සිටුවීමට විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබුවා. පළමු වතාවට බුරුමය  තුළ බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරන ලද්දේ ඔහු විසින්. එමෙන්ම බෞද්ධයන්ට සතර පෝය තුළ ආගමික කටයුතු කිරීමේ නිදහසද ඔහු විසින් ලබා දෙනු ලැබුවා

 

6. ප්‍රධානත්වය ගත් භික්ෂූන් වහන්සේ 

පළමු ධර්ම සංඝායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද කාර්යය වූ එම සංගායනාවේ මූලාසනය ගැනීම සිද්ධ කරන ලද්දේ එවකට බුරුමයේ වැඩ වාසය කළ සිල්වත් සහ ධර්මධර භික්ෂූන්වහන්සේ නමක් වූ මහාසි ශයාඩෝ මහා ස්ථවිරයාණන් වහන්සේ විසින්.

උන්වහන්සේ විසින් විමසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද මහ රහතන් වහන්සේ සහ උපාලි මහරහතන් වහන්සේ සිදු කළ කාර්යය ඉෂ්ට කරන ලද්දේ විචිත්තසාරාභිවංස මහා ස්ථවිරයාණන් වහන්සේයි. උන් වහන්සේ මුළු ත්‍රිපිටකයම මතකයෙන් කියවීමට තරම් මතක ශක්තියක් ඇති ස්වාමීන් වහන්සේ නමක් වූහ.

 

7. මෙම ධර්ම සංගායනාවට ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා 

මෙම ධර්ම සංගායනාව සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා කීප නමක් අතර බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. එසේම මෙම ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ට බුරුම රජය මඟින් අග්ගමහා පණ්ඩිත උපාධිය ද පිරිනමනු ලැබුවා. මෙම ධර්ම සංගායනාව සඳහා සහභාගී වී, ඇතැම් බුරුම හිමිවරුන්ගේ වැරදි මත දුරු කිරීමට තුඩාවේ අරියවංශ හිමියන් ක්‍රියා කරනු ලැබුවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *