අකලට මියැදුණු බොලිවුඩ් තරු

බොලිවුඩ් සිනමාවේ අති විශිෂ්ට රංගධරයෙක් වුණු ඉර්ෆාන් ඛාන් මීට සති කීපයක​ට කලින් අපෙන් සමුගෙන ගියා. ​හොලිවුඩයේ වැඩිපුරම අවධානයට ලක්වුණු බොලිවුඩ් නළුවා වුණු ඉර්ෆාන් ඛාන් අපෙන් සමුගෙන යද්දී වයස අවුරුදු 53ක් වුණා. ඔහු අකල් මරණයකට ගොදුරු වී​ම ඔහුගේ සමුගැනීමට තවත් වේදනාත්ම​ක කරන්නට සමත් වුණා. 

බොලිවුඩ් ඉතිහාසය දිහා බැලුවාම අකල් මරණවලට ගොදුරු වුණු තවත් සිනමා තරු කීපයක්ම අපට හමුවෙනවා. ඉතින් අපි හිතුවා ඒ ආකාරයෙන් අකාලයේ සමුගෙන ගිය බොලිවුඩ් තරු කීපයක් ගැන ඔබට කියන්න​ට.

 

1. දිව්‍යා භාරතී

දිව්‍යා භාරතී කියන්නේ අඩු වයසින්ම ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නැඟපු, ඒත් ඒ වේගෙන්ම තමන්ගේ සිනමා ගමන වගේම ජීවිතය ද අහිමි කරගත්ත ඉන්දියානු සිනමා නිළියක්. දිව්‍යා ඉපදුණේ 1974 පෙබරවාරි 25. ඇය මියගියේ 1993 අප්‍රියෙල් 5. මිය යද්දී ඇගේ වයස අවුරුදු 19යි. ඇය 1990 දශකයේ මුල් භාගයේදී හින්දි සහ තෙළිඟු චිත්‍රපටවල රඟපාමින් තමයි ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඇයගේ රංගන හැකියාව සහ සුරූපී පෙනුම නිසා ටිකෙන් ටික ප්‍රසිද්ධිය ළඟා කරගත්ත ඇය භාරතීය සිනමාවේ එවකට සිටි ජනප්‍රියම හා ඉහළම වැටුප් ලබන නිළියක් ලෙස සැලකුණා. වැඩිය ප්‍රසිද්ධත්වයක් ලබා නොදුන්නත් දිව්‍යා අඩු වයසින්ම විවාහ වෙලයි හිටියේ. “ෂෝලා ඕර් ෂබ්නම්” චිත්‍රපටියේ රූගත කිරීම්වලදී දිව්‍යාට ගෝවින්දා හරහා එහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදක වූ සජීඩ් නදියවාලා හමු වුණු අතර ඔවුන් 1992 මැයි 10 වන දින විවාහ වෙනවා. මේ විවාහය හැල හැප්පීම්වලින් යුතු එකක් වුණු අතර, මේ කාලයේදී දිව්‍යා මත්පැන් පානයටත් දැඩි ලෙස ඇබ්බැහි වී සිටි බවක් පැවසෙනවා.

අධික ජනප්‍රියතාවය සහ සම්බන්ධතාවයේ ගැටළු නිසා මානසිකවත් වියවුල් සහගත කාලයක් ගත කරමින් සිටි දිව්‍යා, 1993 අප්‍රියෙල් මාසයේදී මුම්බායි හි පිහිටි ඇගේ මහල් නිවාසයේ බැල්කනියෙන් ඇද වැටීමෙන් මිය යනවා. ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූවක් හැටියට සැලකුණත්, අදටත් එය ගැන නොයෙක් ආන්දෝලනාත්මක කතා හුවමාරු වෙනවා.

 

2. මධුබාලා

මුම්ටාස් ජෙහාන් බෙගම් දෙහ්ලවි නමින් 1933 පෙබරවාරි 14 දා උපත ලැබූ ඇය පසුකාලීනව ඇයගේ නම මධුබාලා විදිහට වෙනස් කරගන්නේ සිනමාවට අවතීර්ණ වීම සඳහායි. ඇගේ සුන්දරත්වය, පෞරුෂය සහ ඛේදජනක කාන්තාවන්ගේ සංවේදී නිරූපණයන් කරන්න උසස් විදිහට සමත් වී​ම නිසා ඇය ප්‍රසිද්ධියට පත්වූයේ “වේදනාවේ සුන්දරිය” සහ “ඉන්දියානු සිනමාවේ සිකුරු රැජින” විදිහටයි. බොහෝ අය හොලිවුඩ් නිළි මැර්ලින් මොන්රෝ සමඟ ද ඇයව සංසන්දනය කරමින් ඇයට බොලිවුඩයේ මැර්ලින් මොන්රෝ යන නම ලබා දීලා තියෙනවා. බොලිවුඩයේ ලද විශාල ජනප්‍රියත්වය හරහා ඇයට හොලිවුඩයේත් රංගන වරම් ලැබුණත් ඇගේ පියා එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය හින්දි සිනමාවේම රැඳී සිටියා. මධුබාලාගේ පෞද්ගලික ජීවිතය බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වුණා. මධුබාලා එවකට ජනප්‍රිය නළු දිලිප් කුමාර් සමඟ දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් පැවැත්වූ නමුත් ඇය “චල්තී කා නාම් ගාඩි” චිත්‍රපටියේ තමන්ගේ සම-රංගන ශිල්පී කිෂෝර් කුමාර් සමඟයි විවාහ වුණේ. 1969 දී දීර්ඝ කාලීනව වැළඳිලා තිබුණු රෝගයකින් මිය යන කොට ඇයගේ වයස අවුරුදු 36 යි.

 

3. කුනාල් සිං

මේ හුරුබුහුටි නළුවා කුනාල් සිං උපත ලැබුවේ 1977 සැප්තැම්බර් 29 වන දින ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේදීයි. කුනාල් වැඩි වශයෙන් දමිල චිත්‍රපටවල රඟපෑ නළුවෙක් වුණත්, “කාදලාර් ධිනම්” දමිල චිත්‍රපටයේ හින්දි නිර්මාණ​ය වුණු “දිල් හී දිල් මේන්” චිත්‍රපටයේ සොනාලි ​බෙන්​ද්‍රේ ​සමග කරපු රංගනය නිසා බොලිවුඩයේ වගේම ලංකාව ඇතුළෙත් කුනාල් ජනප්‍රිය චරිතයක් වුණා. මේ චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවත්, කුනාල්ට ඉන් පස්සේ උදා වුණේ ඒ තරම් සාර්ථක කාලයක් නෙමෙයි, සිනමාවේදී ඔහු වැඩි වශයෙන් අසාර්ථකත්වය​න්ම තමයි ලැබුවේ එක දිගටම…

2008 පෙබරවාරි 7 දා කුනාල් තමන්ගේ මුම්බායි මහල් නිවාසයේ සිවිලිමේ එල්ලී සිටියදී නිළි ලවිනා භාතියා විසින් සොයා ගන්නවා. මෙම සිය දිවි නසා ගැනීම අභියෝගයට ලක් කළ ඔහුගේ පියා රාජේන්ද්‍ර සිං කියා සිටියේ ශරීරය සැක සහිත තැලීම්වල සලකුණු පෙන්නුම් කළ බවයි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් භාතියාව පොලිසිය විසින් රඳවා ගත්තත්, පොලිසියට චෝදනා ඔප්පු කරන්න බැරි වූ බැවින් පසු​ව ඇයව නිදහස් කළා. මිය යන්න කලින් කුනාල් හින්දි චිත්‍රපටයක් වන “යෝගී” හි වැඩ කරමින් සිටි අතර එය ඔහුගේ අලුතින් පිහිටුවන ලද බාලගිරි ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද්දක්. ඔහු විවාහ වෙලා හිටියේ අනුරාධා සිං සමඟයි.                                                                                         2008 පෙබරවාරි 7 වනදා දී සිය දිවි නසාගනිද්දී කුනාල්ගේ වයස අවුරුදු 31යි.

 

4. ජියා ඛාන්

නෆීසා රිස්වි ඛාන් විදිහට 1988 පෙබරවාරි 20 වෙනිදා ඉපදුණු ජියා ඛාන්, හින්දි චිත්‍රපටවල පෙනී සිටි බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්භවයක් සහි​ත නිළියක් වුණා. නිව්යෝර්ක් නගරයේ උපත ලබා ලන්ඩනයේ හැදී වැඩුණු ඇය සෑම විටම රංගන වෘත්තිය විදිහට කරන්න ආශාවෙන් සිටිය අතර සිනමා වෘත්තිය ආරම්භ කිරීම සඳහායි මුම්බායි වෙත ගි‍යේ. 2007 දී රාම් ගෝපාල් වර්මාගේ චිත්‍රපටයක් වන “නිශ්ශබ්ද්” චිත්‍රපටයෙන් ඇය සිනමා දිවියට පිවිසි අතර එවර හොඳම නවක නිළි​ය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය සඳහා නිර්දේශ වුණා. 2008 දී බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයාගත් “ගජිනි” චිත්‍රපටයේ කැපී පෙනෙන සහාය චරිතයක් නිරූපණය කිරීමෙන් පස්සෙ ඇයව බොලිවුඩයේ තවත් ප්‍රසිද්ධියට පත් වුණා. හදිසියේම 2013 ජුනි 3 වන දින ඇය මුම්බායි හි ජුහු හි පිහිටි ඇගේ නිදන කාමරයේම සිවිලිමේ විදුලි පංකාවක එල්ලී සිටියදී සොයා ගන්නවා. මු​ලදී එය සියදිවි නසා ගැනීමක් ලෙස සැලකූන ද එවකට ඇයගේ පෙම්වතා වුණු තරුණ නළු සූරාජ් පංචෝලිට 2017 දී මිනීමැරුම් සහ ලිංගික අපයෝජන චෝදනා ඉදිරිපත් කරමින් ජියාගේ මව විසින් දියණියගේ මරණයට ඔහු වගකිව යුතු බවට චෝදනා කළා. ඇයගේ මරණයෙන් වසර පහකට ආසන්න කාලයකට පසු, 2018 ජනවාරි 31 වන දින මුම්බායිහි උසාවියක් විසින් ජියාගේ සියදිවි නසා ගැනීමට සුරාජ් විසින් අනුබල දුන් බවට චෝදනා කළා. නඩුව තවමත් සමථයකට පත් වෙලා නෑ. මිය යද්දී ජියාගේ වයස අවුරුදු 25යි.

 

5. මීනා කුමාරි

1933 අගෝස්තු 1 දා ඉපදුණු ඇය හින්දි සිනමාවේ ප්‍රකට වුණේ මීනා කුමාරි විදිහටයි. ඇය හින්දි සිනමාවේ සම්භාව්‍ය චිත්‍රපටවල ද රඟපෑ දක්ෂ තාරකාවක්.  ඇය 1939 සහ 1972 අතර කාලයේයි සිනමාවේ ක්‍රියාකාරී වුණේ. මීනා කුමාරි හොඳම නිළිය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනා ගන්නට සමත් වුණා. සිනමාවේ ඇයට වැඩිපුරම හිමිවූයේ ශෝකී බවක් මුසුවුණු චරිතයි. ඒ චරිත මැනැවින් නිරූපණය කිරීම නිසාම ඇය බොලිවුඩයේ කඳුළු බින්දුව හැටියට විරුදාවලි ලබමින් අතිශයින් ජනප්‍රිය වුණා. නිළියක් හැටියට සාර්ථක වුණත්, පෞද්ගලික ජීවිතයේ ඇය සැබෑවටම ගෙවුවේ ශෝකී ජීවිතයක් වුණා. වරින් වර ඇති කරගත් ප්‍රේම සම්බන්ධතා සියල්ල නිමා වුණේ ඇයගේ ජීවිතයට අලුත් වේදනාවන් එකතු කරමින්. මේ අතර ඇය නින්ද නොයාමේ ඉන්සොම්නියා තත්ත්වයකිනුත් පෙළෙමින් සිටියා.

ඇගේ වෛද්‍යවරයා වූ වෛද්‍ය සයීඩ් තිමුර්සා මේ සඳහා විකල්පයක් ලෙස බ්‍රැන්ඩි ස්වල්පයක් ලබා ගැනීම​ට නිර්දේ​ශ කළ අතර ඇයගේ මරණයට පත් වීමට හේතු වූ පුරුද්ද සමඟ ඇය නිල වශයෙන් සම්බන්ධ වූණේ ඒ විදිහටයි. මෙය පසු කලෙකදී ඇයව අධික ලෙස මත්පැන් පානයට හුරු කරවන්න සමත් වුණා. 1968 දී මීනා කුමාරිට අක්මාවේ සිරෝසීස් ඇති බව හඳුනා ගන්නවා. මීනා කුමාරි බරපතල ලෙස රෝගාතුර වෙන 1972 මාර්තු 28 වන දින ඇයව ශාන්ත එලිසබෙත් හෙද නිවාසයට ඇතුළත් කරනවා. දින දෙකකට පසු කෝමා තත්ත්වයට පත්වූ ඇය 1972 මාර්තු 31 වන දින මිය ගියා. මිය යනකොට ඇගේ වයස අවුරුදු 38 යි. 

 

6. ස්මිතා පාටිල්

ස්මිතා පාටිල් ඉපදුණේ 1955 ඔක්තෝබර් 17 දීයි. ඇය ඒ කාලයේ හිටපු හොඳම වේදිකා සහ සිනමා නිළියක් වුණු අතර හින්දි, මරාති, ගුජරාටි, මලයාලම් සහ කන්නඩ චිත්‍රපට රැසක​ට ඇය රංගන දායකත්වය ලබා දීලා තියනවා. ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ඇය ජාතික චිත්‍රපට සම්මාන දෙකක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මානයක් හිමි කර ගත්තා. ඇය 1985 දී ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබා තිබෙනවා. බොලිවුඩය තුළ ඇය වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගන්නේ අමිතාබ් බච්චන් සමඟ රඟපෑ “නමක් හලාල්” චිත්‍රපටයෙනුයි.

ඇය නළු රාජ් බබ්බාර් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් විට, ස්මිතාට ඇගේ රසිකයන්ගෙන් හා මාධ්‍යවලින් දැඩි විවේචන එල්ල වුණු අතර, ඇයගේ පෞද්ගලික ජීවිතය මේ නිසා ගැටළු රැසකට මැදි වුණා. පසු​ව රාජ් බබ්බාර් තම බිරිඳ නාදිරා බබ්බාර්ව අතහැරලා ස්මිතා සමඟ විවාහ වෙනවා (නමුත් ඔහු පළමු බිරිඳගෙන් දික්කසාද වන්නේ නැහැ). 1986 දෙසැම්බර් 13 වන දින දරු ප්‍රසූතියේ සංකූලතා හේතුවෙන් ස්මිතා මිය යනවා. ඒ, ඇගේ පුත් ප්‍රටීක් බබ්බාර් (ඔහුත් මේ වනවිට රංගන ශිල්පියෙක්) බිහි කරලා සති දෙකකට පසුවයි. ඒ වෙද්දී ඇයගේ වයස අවුරුදු 31යි.

 

7. ගුරු දත්

ගුරු දත් ලෙස 50-60 දශකයේ බොලිවුඩ් රසිකයන් හොඳින්ම දන්නා වසන්ත කුමාර් ශිවශංකර් පදුකෝන් ඉපදුණේ 1925 ජූලි 09 වෙනිදා. ඔහු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙක් විදිහට ජනප්‍රිය වෙලා හිටියා. ඔහු 1950 සහ 1960 දශකවල “ප්යාසා”, “කාගස් කේ පූල්”, “සාහිබ් බිබි ඕර් ගුලාම්” සහ “චෞද්වින් කා චන්ද්” වගේ සම්භාව්‍යය නිර්මාණය ඉන්දීය සිනමාවට බිහි කරලා තියනවා. 1953 දී ඔහු ගායිකාවක් වූ ගීතා රෝයි චෞද්රි සමඟ විවාහ වුණු අතර මත්පැන් පානයට, නිදිපෙතිවලට සහ දුම් පානයට ඔහු දැඩිව ඇබ්බැහි වී සිටී​ම නිසා ඒ විවාහය දෙදරා යනවා. ඊට අමතර​ව ජනප්‍රිය නිළි වහීඩා රෙහ්මාන් සමඟ දත්ගේ සම්බන්ධතාවයත් ඔවුන්ගේ විවාහය අවාසනාවන්ත එකක් කරන්නට හේතු වුණා. 1964 ඔක්තෝම්බර් 10 දින ගුරු දත් ද නිදි පෙති අධික ලෙස පානය කිරීම නිසා මිය යනවා. ඔහුගේ මරණය තවමත් අභිරහසක්. එ​ය හදිසි අනතුරක් ද නැත්නම් සියදිවි නසා ගැනීමක් ද යන්න කිසි විටෙකත් නිගමනය කරලා නෑ. මිය යද්දී ඔහුගේ වයස අවුරුදු 39යි.

 

තිනෙති නානායක්කා​ර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *