අපි වසර තිස් ගණනක සිවිල් යුද්ධයකට මුහුණ දුන්න රටක්. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන වශයෙන් සිංහල ජාතියට සහ දෙමළ ජනවර්ගයට එකිනෙකට වෙනස් වූ දේශපාලන නැඹුරුතා තියෙනවා කියලත් ඔප්පු වුණා. මේ නිසා අපි අද හිතුවා සිංහල සමාජයේ ගෞරවාදරයට පත් වුණු දමිළ ජාතිකයන් කිහිප දෙනෙක් ගැන ඔබේ මතකය අවදි කරන්න.
1. ආනන්ද කුමාරස්වාමි
අපේ රටේ මුලින්ම ජාත්‍යන්තරය තුළ බුද්ධිමතෙක් විදිහට ගෞරවාදරයට පත් වුණු පුද්ගලයා වෙන්නේ ආනන්ද කුමාරස්වාමි මහතායි. ඉහළ දෙමළ සමාජයේ පවුලක උපන් එතුමාගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. භූගර්භ විද්‍යාව පිළිබඳව විශේෂඥයෙකු වූ එතුමා අමරණීයත්වයට පත් වුණේ ඒ සම්බන්ධ කළ සොයා ගැනීම් නිසා නම් නෙමෙයි. ලංකාවේ පමණක් නොව මුළු මහත් ආසියාවේම කලාව පිළිබඳව විශේෂඥයෙක් බවට එතුමා පත් වුණා. පොත්පත් සිය ගණනක් රචනා කර ඇති එතුමාගේ කෘති අතරින් “මධ්‍ය කාලීන සිංහල කලා” කෘතිය අදටත් සැලකෙන්නේ එතුමාගේ පමණක් නොව එකී ක්ෂේත්‍රයට සම්බන්ධ විශිෂ්ටතම කෘතියක් විදියට.
3. සෙල්වදොරෙයි මහාලිංගම්
මහාලිංගම් මහාචාර්යතුමන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය බබළවපු විද්‍යාර්ථියෙක්.ඉතාමත් චාම් ජීවිතයක් ගත කළත් විෂය දැනුම අතින් එතුමා දකුණු ආසියාවේම ප්‍රාමාණිකයෙකුව සිටියා. මේ නිසාම එතුමා ජීවතුන් අතර සිටියදීම ජීවමාන පුරාවෘත්තයක් බවට පත් වුණා. එතුමා සම්බන්ධ එක කතාවක කියවෙන විදිහට ඇව්රෝ ගුවන් යානා සමාගමේ ජෙට් එන්ජිමක ඇති වුණ ගැටලුවක් එතුමා විසින් නිරාකරණය කරලා තියෙනවා. මෙයින් පුදුමයට පත් වුණු එම සමාගමේ නිලධාරීන් එතුමාට අවශ්‍ය වන්නේ කුමක්ද කියලා විමසලා තියනවා. රන්මසු පොදි ලබාගැනීමට හැකියාව තිබුණත් එතුමා ඉල්ලලා තියෙන්නේ පේරාදෙණියේ සිසුන්ට උගන්නන්න ජෙට් යානා එන්ජිමක් විතරයි. (සමහරුන්ට අනුව මේ කතාව වෙනස් විදිහකට කියවෙනවා)
3. කමලනී සෙල්වරාජන්
අපි පොඩි කාලේ ශනිදා ආයුබෝවන් වැඩසටහන නරඹද්දී හිසේ මල් ගවසාගෙන සුන්දර සිනාවකින් වනක්කම් කියපු කාන්තාවක් හිටියා. ඇය තමයි කමලනී සෙල්වරාජන්. ලොතරැයි වැඩසටහන්වල පවා දමිළ බසින් නිවේදනය කිරීම සිදු කළේ ඇයයි. මේ වැඩසටහන් නිසා ඇයව සිංහල නිවේදකයන් හා සමාන සමීපත්වයකින් සිංහල ජනතාවට දැනුනා. වසර තිහකට අධික කාලයක් ජාතික රූපවාහිනියේ සේවය කරපු ඇයව හදිස්සියේ සේවයෙන් නෙරපා හැරීමත් සමඟ ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වුණු ඇය නිහඬව ම අපෙන් සදහටම සමු ගත්තා.
4. ඔගස්ටස් විනයාගරත්නම්
“රන් ටිකිරි සිනා, නිම් හිම් සෙව්වා මා සසරේ” ලංකාවෙ අතිශයින්ම ජනප්‍රිය ගීත කියන එක ගැන විවාදයක් නෑ. මේ ගීත් මුලින්ම ඉංග්‍රීසි බසින් රචනා කරලා තියෙන්නෙ නිමල් මෙන්ඩිස් මහතා විසින්. මේක ගීත නිමල් මෙන්ඩිස් ගේ සිතුවිලි අනුව සිංහල භාෂාවට නගලා තියෙන්නේ දෙමළ ජාතිකයෙක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ පෙළහර පෑමට සමත් වුණු පුද්ගලයා තමයි ඔගස්ටස් විනයාගරත්නම් මහත්මයා. වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙකු වුණු එතුමා සිංහල සිනමා පට ගණනාවකට පද වැල්වලින් තමන්ගේ දායකත්වය ලබලා දුන්නා.
5. කේ. ගුණරත්නම්
සිංහල සිනමාව පවතින්නේ යම් තාක් කාලයක් ද ඒ තාක් කල් කේ. ගුණරත්නම් කියන නමත් අමරණීයයි. “සුජාතා, වරද කාගේද, රදල පිළිරුව” වගේ චිත්‍රපටි 25 කට අධික ප්‍රමාණයක් ඔහු නිෂ්පාදනය කරනු ලැබුවා. ඒ වගේම රේඛාව චිත්‍රපටය කිරීමෙන් පාඩු ලැබීම නිසා කිසිදු නිෂ්පාදකයෙකු විසින් අතහිත දෙනු නොලැබූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සංදේශය චිත්‍රපටය කිරීමට අවශ්‍ය අර්ථපතීත්වය ලබා දුන්නේ ගුණරත්නම් විසින්. ටවර් හෝල් ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය ලබාගෙන තිබූ ගුණරත්නම්, රජයේ ඉල්ලීම මත ඓතිහාසිකව සහ මූල්‍යමය වශයෙන් අමිල එම දේපල ටවර් හෝල් පදනම නිර්මාණය කිරීමට ලබාදුන් බවත් විශේෂයෙන් මතක් කළ යුතුයි.
6. පොන්නම්බලම් රාමනාදන්
1911 දී ව්‍යවස්ථාදායක සභාවේ උගත් ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් පනවා තිබූ අසුනට සිංහලයන්ගේ වැඩි ඡන්දයෙන් පොන්නම්බලම් රාමනාදන් මහතා පත් කරනු ලැබුවා. ඒ දොස්තර මාකස් ප්‍රනාන්දුව පරාජයට පත් කරමින්. 1915 දී ඇති වූ සිංහල මුස්ලිම් ගැටුම් සමයේ දී සිංහලයන් වෙනුවෙන් අභීතව පොන්නම්බලම් රාමනාදන් පෙනී සිටියා. එසේ ම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිතර තමන්ගේ හඬ අවදි කළා. මේ නිසා පොන්නම්බලම් රාමනාදන් මහතා මිය ගිය අවස්ථාවේ දී ඩී. එස් සේනානායක මහතා සිය ශෝක පණිවිඩයෙන් ප්‍රකාශ කර සිටියේ රාමනාදන් මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම ලාංකිකයා බවයි .
7. ලක්ෂ්මන් කදිරගාමර්
ලක්ෂ්මන් කදිරගාමර් තරම් සිංහල ජනතාව අතර ජනප්‍රිය වුණු දෙමළ ජාතිකයෙක් හිටියනම් ඒ මුත්තයියා මුරලිදරන් විතරයි. වෙසක් පොහොය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නිවාඩු දිනයක් බවට පත් කිරීමට එතුමා සුවිශාල දායකත්වයක් දැක්වූවා. ඊටත් වඩා එල්ටීටීඊ සංවිධානය මගින් සංවිධානාත්මකව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කිරීමට ගෙන ගිය ක්‍රියාමාර්ග ව්‍යාර්ථ කිරීමට එතුමා සමත් වුණා.
නමුත් අවසානයේදී මේ නිසාම එතුමාට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වුණා.
මීට අමතරව අද ජීවතුන් අතර නැති, සිංහලයෝ අතර අතිශය ජනප්‍රිය දෙමළ ජාතිකයන් ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply