තෙල් කාන්දු නිසා සිදුවූ දැවැන්ත පරිසර විනාශ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිද්ධ වුණු විනාශය ගැන තවමත් පරිපූර්ණ අධ්‍යයනයක යෙදෙන්න අපි අපොහොසත් වෙලා ඉන්නවා. සමහරක් විට මේ පාරිසරික විනාශයෙන් සිද්ධ වුණු හානි අපේ අනාගත පරම්පරාවලටත් උරුම වේවි. හැබැයි සමහර පාර්ශව නම් තමන්ගේ දේශපාලන වහල් භාවය හින්දම මේ නෞකාවෙන් වෙච්ච හානිය පිළිබඳව කතා කරන්න උනන්දු වෙන්නේ නැහැ. මේ නිසා අපි හිතුවා ලෝකයේ අදටත් කතාවෙන නැව් මගින් සිද්ධ වෙච්ච පාරිසරික හානි කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

 

1. වකාෂියෝ තෙල් කාන්දුව (Wakashio oil spill)

2020 ජූලි 25 වෙනිදා තෙල් ප්‍රවාහනය කරමින් තිබූ ජපාන සමාගමකට අයත් වකාෂියෝ නෞකාව මොරිෂස් දූපත් ආසන්නයේ ගිලී යෑමට ලක් වුණා. සම්පූර්ණයෙන් ගිලී යෑමට පෙර එහි ගබඩා කර තිබූ තෙල් ධාරිතාවයෙන් බොහෝ ප්‍රමාණයක් ඉවත් කර ගැනීමට සමත් වුණත් තෙල් ටොන් දහසක් පමණ මුහුදට එක්වුණා. මොරිෂස් රාජ්‍යය මුහුණ දුන් අති දැවැන්තම පාරිසරික අභියෝගය මෙය ලෙස සැළකෙන අතර එරට රජය විසින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරනු ලැබුවා. බරපතළම කරුණ වූයේ මෙම නැව ගිලී යෑම සිදු වූයේ වසර දහසක් පමණ ජීව කාලයක් හිමි කොරල් පද්ධතියක් අසළ වීමයි.

 

2. නෝරිල්ස්ක් තෙල් කාන්දුව (Norilsk oil spill)

1994 වසරේදී කොමි නල පද්ධති ආශ්‍රිතව සිදු වූ තෙල් කාන්දුවෙන් පසුව රුසියානු ඉතිහාසයේ සිදු වූ අති දැවැන්තම තෙල් කාන්දුව ලෙස මෙය සැළකෙනවා. 2020 මැයි 29 වෙනිදා සිදුවුණු මෙම ආපදා තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පාලනය කිරීමට විවිධ හේතු නිසා අපහසු වී තිබෙනවා. මෙම තෙල් කාන්දුව නිසා ගංගා ගණනාවක ජලය අපවිත්‍ර ව පවතින අතර ඒ හා බැඳුණු ජෛව විවිධත්ව පද්ධතිවලට ඇතිව තිබෙන බලපෑමද මෙතෙක් නිර්ණය කොට නැහැ.

 

3. ඊසානදිග බ්‍රසීලය තෙල් කාන්දුව (Northeastern Brazil oill spill)

මෙම තෙල් කාන්දුව සිදු වුණු ආකාරය පිළිබඳව මෙතෙක් පර්යේෂකයන් අතර එකඟතාවයක් ඇතිව නැහැ. මේ පිළිබඳව විවිධ අය විවිධ අදහස් පළ කරනු ලබනවා. 2019 අගෝස්තු 30 වනදා පළමු වරට තෙල් කාන්දුවක් පිළිබඳව සොයාගත් අතර ඒ වනවිටත් තත්ත්වය බරපතළ මට්ටමකට පැමිණ තිබුණා. මෙම තත්ත්වය අද දක්වාම පාලනය කිරීමට අසමත්ව ඇති අතර මේ වන විට කිලෝමීටර් දෙදහසකට ආසන්න භූමි සහ සමුද්‍ර බිම් ප්‍රමාණයක් මේ නිසා තර්ජනයට පත්ව තිබෙනවා. බ්‍රසීලයේ සාගර කළාපය මේ නිසා අවදානමට ලක් වී තිබෙනවා.

 

4. සංචි තෙල් ප්‍රවාහන අනතුර (Sanchi Oil tanker collision)

2018 වසරේදී ඉරානයට අයත් තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් හොංකොං රාජ්‍යයට අයත් නෞකාවක සමඟ ගැටීම සිදු වුණා. ඒ සමගම සංචි නෞකාව ගින්නට හසු වූ අතර එහිදී සම්පූර්ණ කාර්ය මණ්ඩලය සමඟ ගිනිබත් වීමෙන් අනතුරුව නෞකාව ගිලී ගියා. ඇතැම් වාර්තා වලට අනුව ඝන තෙල් තට්ටුවක් කිලෝමීටර් 11 ක පමණ පරාසයක විහිද ගොස් තිබූ අතර ජපානයේ සහ කොරියාවේ වෙරළබඩ තීරයන් වලට පවා එහි බලපෑම මාස කීපයක් ඇතුළත දැනීමට පටන් ගෙව තිබුණා.

 

5. එන්නෝර් තෙල් කාන්දුව (Ennore Oil spill)

. 2017 දී සිදුවූ මෙම තෙල් කාන්දුව ඉන්දීය රජයට මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත රජයට ද දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුණා. ඉන්දීය වෙරළ ආරක්ෂක අධිකාරිය විසින් පවසන පරිදි වර්ග අඩි තිස් හතර දාහක පමණ සමුද්‍ර භූමි ප්‍රමාණයක් මේ නිසා හානියට ලක් වුණා. මේ නිසා මුහුදට එක් වූ තෙල් ප්‍රමාණය ලීටර් තිස්හත්දාහක් පමණ වන බව ගණනය කොට තිබෙනවා.

 

6. ඩීප්වෝටර් හොරයිසන් පිපුරුම (Deepwater Horizon Explosion)

2010 වසරේ අප්‍රේල් මාසයේදී මෙක්සිකෝ බොක්ක ආසන්නයේ නවතා තිබූ ඩීප් වෝටර් නෞකාව පිපිරීමට ලක් වූ අතර ඉන් දින එකහමාරකට පසුව එය සම්පූර්ණයෙන්ම ගිලී ගියා. මෙම නෞකාව පිපිරීමට පෙර යම් යම් පාලන උපක්‍රම අනුගමනය කර තිබූ නමුත් තෙල් බැරල් පන්දාහක් දිනකට මුහුදට එක් වූ බව පසුව ගණනය කෙරුණා. මෙහි ප්‍රතිඵලය වූයේ ඒ ආසන්න ජෛව පද්ධති වලට බලපෑම් එල්ල වීම සහ ඒ හා බැඳුණු රැකියාවල යෙදුණු ධීවරයන් ඇතුළු බොහෝ පිරිසකට ජීවනෝපාය අහිමි වීමයි. කෙසේ නමුත් අදාළ සමාගම බිලියන 54 ක පමණ වන්දියක් අගතියට පත් පාර්ශව වෙත ලබාදීමට කටයුතු කළා.

 

7. රිෆූජියෝ තෙල් කාන්දුව (Refugio oil Spill)

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරය එතෙක් මෙතෙක් මුහුණ දුන් අති දැවැන්තම පරිසර හානිය ලෙස සැළකෙන්නේ 2015 වසරේ දී සිදු වූ රිෆූජියෝ තෙල් කාන්දුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජලයට තෙල් ලීටර පන්ලක්ෂ හතළිස් එක් දාහක් එකතු වුණා. තෙල් නලයක ඇතිවුණු කාන්දුවක් නිසා මෙම හානිය සිදුවී තිබූ අතර ඒ වන විටත් පැවැත්ම තර්ජනයට ලක්වූ සමුද්‍රය ආශ්‍රිතව ජීවත් වන ජීවී විශේෂ ගණනාවකට එයින් දැඩි බලපෑම් එල්ල කරනු ලැබුවා.

 

එහෙම නම් නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *