දේශපාලකයන්ට බණින ගමන් මිනිස්සු රටේ දේවල් නාස්ති ​කරන අවස්ථා

දැන් ඕනම තැනකට ගිහිල්ලා මිනිස්සු සීයකගෙන් අහන්න මොකද අපේ රට දියුණු වෙන්නෙ නැත්තෙ කියලා. ඒකෙන් අනූවක්ම බණින්නේ දේශපාලකයන්ට. සමහර වෙලාවට දහයක් දේශපාලකයන්ට බැණලා මිනිස්සුන්ටත් බණියි. ඒක ඉතින් බොරුමත් නෙවෙයි. මොකද, අපේ ඉන්න ඔය දේශපාලකයෝ අතරින් හොරකම් නොකරන එකෙක් හොයාගන්න එක කළුනික හොයනවා වගේ කියලා හැමෝම කියනවා. ඒවා සමහර විට ඔප්පු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි පොදුවේ දන්න දෙයක් තමයි දේශපාලකයෝ රට හදනවට වඩා බඩ වඩාගන්න උත්සාහ කරන බව.

 

එතකොට ඇත්තටම රට පස්සට යන්නේ දේශපාලකයෝ හොරකං කරන නිසාමද? අපොයි නෑ. රටේ ඉන්න මිනිස්සුත් ඒකට සෑහෙන්න වග කියන්න ඕන. අපි එහෙම කියන්නේ දේශපාලකයන්ව පත් කරලා යවන්නෙ මිනිස්සු හින්දද? ඒකත් එකක්. හැබැයි ඒකටත් වඩා මිනිස්සු සෑහෙන්න දේවල් නාස්ති කරන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට පොදු දේපළ මිනිස්සු නාස්ති කරනවා. එතකොට අනුන්ගේ දේවල්, ඔෆිස් වල දේවල් මිනිස්සු නාස්ති කරනවා. ඉතින් මිනිස්සුත් එතනදී සෑහෙන්න වග කියන්න ඕන නැද්ද රට මේ වගේ තැනකට වැටිලා තියෙනවට? ආන්න ඒ නිසා අපි හිතුවා මිනිස්සු දේවල් නාස්ති කරන විධි කීපයක් ගැන කියන්න.

 

1. ඒටීඑම් එකේ රිසිට් එක

ඔන්න මනුස්සයෙක් ඒටීඑම් එකකට යනවා. අර සල්ලි ගන්න ටෙලර් මැෂින් තියෙන්නේ. අන්න ඒ එකකට. එහෙම ගිහින් ඔන්න කාඩ් එක දාලා තමන්ට ගන්න ඕන සල්ලි ප්‍රමාණය අනං මනං ඔක්කොම ඇතුළත් කරනවා. ඊට පස්සේ සල්ලි දෙන්න කලින් අහනවා රිසිට් එකක් ඕනැද කියලා. ගොඩක් බැංකු වල එහෙම රිසිට් එකක් ඕනද කියලා අහන තිරේ තද පාටකින් පෙන්නනවා “එපා” කියන එක. මොකද, බැංකුව අපිව දිරිමත් කරන්නෙත්, අත්‍යාවශ්‍ය නොවේ නම් රිසිට් එකක් අරගෙන කොළ නාස්ති නොකරන්න තමයි. හැබැයි ඉතින් අර මනුස්සයා තෝරගන්නේ රිසිට් එකක් ඕන කියන විකල්පය. හැබැයි එහෙම කරලා සල්ලියි කාඩ් එකයි අරගෙන යන්න යනවා. ඒටීඑම් මැෂින් එකෙන් එන රිසිට් එක මැෂින් එකේ රිසිට් එන කවුළුවේම එල්ලි එල්ලි තියෙනවා! එතකොට තව සමහරු ඉන්නවා රිසිට් එක අතට අරගෙන, එතන තියෙන කුණු කූඩෙට දාලා යනවා. නෑ කියලද හිතන්නේ? නිකමට ඒටීඑම් එකකට ගිහින් බලන්න මොන තරම් රිසිට් කන්දරාවක් කුණු එකේ එකතු වෙලා තියෙනවද කියලා!

 

2. වතුර අපතේ හැරීම

අපි වතුර අපතේ හැරීම දෙවිදියකට කරනවා. විශේෂයෙන්ම ඔය පබ්ලික් තැන් වල තියෙන වතුර ගන්න ටැප් වලින් එහෙම නම් අපේ කට්ටිය ලෝබ නැතුව වතුර නාස්ති කරනවා. සමහර වෙලාවට ඔෆිස් එකේ කෑම කාලා අත හෝදන්න ගිහින් ටැප් එක ඇරගෙන කයිය ගහගෙන ඉන්න අවස්ථාත් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඊලඟට අපේ ගෙදරදී හෝ වෙනත් පුද්ගලික අවකාශයකදී ගත්තත් වතුර නාස්ති කරන අවස්ථා අපිට තොග ගාණින් කියන්න පුළුවන්. ඒකට ලොකු හේතුවක් වෙන්නේ තමන්ගේ ළිඳකින් වතුර ගන්නකොට ඒකේ කිසිම අගයක් නොතිබීම. පාරේ ලයින් එකෙන් ගත්තත්, ලංකාවේ වතුර බිල කියලා එන්නේ සාපේක්ෂව ඉතාම පොඩි ගාණක්. ඇඟට දැනෙන්නෙවත් නෑ. ආන්න ඒ නිසත් මිනිස්සු ඕසෙට වතුර නාස්ති කරනවා. අඩු තරමින් අත එක හෝදගෙන, අත් වල සබන් ගාන තත්පර තිහට ටැප් එකේ වතුර ඔහේ ගලාගෙන යනවා කියන්නේ එක පාරකට ලීටරයක් දෙකක්වත් නාස්ති වෙන්නෙ නැද්ද? මෙව්වාත් දීර්ඝ කාලීනව රටකට බලපවත්වන නාස්ති කියන එක අමතක කරන්න එපා.

 

3. කෑම අපතේ හැරීම

මේ ලෝකේ කෑම නැතුව කී ලක්ෂයක් දෙනා කුසගින්නේ ඉන්නවා කියලද හිතන්නේ? ඈතකට යන්න ඕන නෑ. මේ ලංකාව ඇතුළේ විතරක් ගත්තත් කොයි තරම් ජනතාව වේල් ගණන් කුසගින්නේ ඉන්නවද? එහෙව් එකේ අපිට පුළුවන්ද හිතකින් කෑම අපතේ අරින්න? හැබැයි කණගාටුවට කාරණාව වෙන්නේ, ගොඩක් දෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කෑම අපතේ අරින එක තමයි. සමහරු බුෆේ එකකට ගියත් තමන්ට කාගන්න බැරි තරම් කෑම තොගයක් කෑදර කමට බෙදාගන්නවා. හැබැයි ඉතින් කෑදර කම තිබ්බට කන්න පුළුවන් නීමාවක් තියෙනවනේ. ඉතින් අර අමතර කෑම ටික විසික් කරනවා. ඒ කෑම එක ගන්නේ අපි ගෙවලා බව හැබැයි. එහෙම කෑම පිඟාන පිරෙන්න බෙදාගෙන කා ගන්න බැරුව විසික් කළා කියලා අපිට ඊලඟ කෑම වේල ගන්න සල්ලි නැතිවෙන්නේ නැහැයි කියන එකත් හැබැයි. ඒත් අපි විසික් කරන්නේ, බෙදා නොගත්තා නම් වෙන කාගෙහරි බඩ පුරවන්න තිබුණු කෑම. මොන තරම් අපතේ හැරීමක්ද ඒක? 

 

4. ප්‍රසිද්ධ තැන් වල කුරුටු ගෑම

මේක නං සමහරුන්ට තියෙන ලෙඩක්ද කියලත් හිතෙන තරමයි. ඒ තරමට මිනිස්සු තැන් තැන් වල කුරුටු ගානවා. බස් හෝල්ට් එකේ බිත්ති වල ඉඳලා බස් වල සීට් දක්වා, පොදු වැසිකිළියක බිත්තියේ ඉඳලා ලයිට් කණු දක්වා තැන් වල කුරුටු ගානවා. දැන් කෙනෙක් කියන්න පුළුවන්, ඒකෙන් ඒ තැන්වලට භෞතික හානියක් වෙන්නෙ නැහැය, ඒ නිසා ඒක අපතේ හැරීමක්, නාස්තියක් නෙවෙයි කියලා. හැබැයි එහෙම බලිකුරුටු ඇඳලා පොදු දේපළක් විනාස කළාට පස්සේ ඒවා එක්කෝ සුද්ධ කරන්න ඕන, එහෙම නැතිනම් අලුතින් තීන්ත ගාලා වහන්න ඕන. එව්වා කරන්නේ තොපේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. අපි බදු මුදල් ගෙව්වත්, පොදු දේපළ ඔය විදියට විනාස කරන්න අපිට කිසිම අයිතියක් නෑ.

 

5. ඩිජිටල් නං බෑ

මේක ඔය ගොඩක් අයට තියෙන තාමත් ලෙඩක්. ඒ කියන්නේ ඩිජිටල්කරණය වෙන්න තියෙන භීතිකාව. දැන් ගොඩක් වෙලාවට අපිට එන බිල්පත් හැම එකක්ම වගේ ඩිජිටල් ක්‍රමයට ලබාගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. ටෙලිෆෝන් බිල් වුණත්, බැංකු ප්‍රකාශන වුණත් අපිට කෙලින්ම ඊමේල් එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ අය ඇත්තටම අපිව දිරිමත් කරනවා ඩිජිටල් වෙන්න කියලා. එතකොට ඔය කීල්ස් වල එහෙම බිල වුණත් ප්‍රින්ට් කරන්නෙ නැතුව කෙලින්ම ඊමේල් එකට ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඇත්තටම කීයෙන් කී දෙනාද ඔය පහසුකම ප්‍රයෝජනයට ගන්නේ? සමහරුන්ට තියෙන්නේ ඩිජිටල් භීතිකාවක්. ඇත්තටම අතට බිල ආවේ නැතිනම් හොර කරලා වැඩිපුර අය කරගනී කියලා හිතන මිනිස්සුත් ඇත්තටම ඉන්නවා. හැබැයි ඉතින් එහෙම හිතන මිනිස්සු වුණත් බිලක් ආවහම කඩලා බලන්නෙවත් නැතුව කුණු කූඩෙට දාන අවස්ථාවත් වැඩී. මොන තරම් නාස්තියක්ද! 

 

6. අනුන්ගේ කාලය සහ සම්පත් නාස්ති කිරීම

දැන් පොඩ්ඩක් හිතලා බලන්න. අපි යම් කිසි රස්සාවක් කරනවනේ. අපි කියමු අපේ රස්සාව පරිපාලනයට හරි වෙනත් ඒ වගේ දේකට සම්බන්ධයි කියලා. එතකොට අපි අපේ සේවය කාර්යක්ෂමව ලබාදෙනවද? ඒ කියන්නේ අපි ගාවට වැඩක් කරගන්න එන මනුස්සයෙක්ව රස්තියාදු නොකර, කලට වෙලාවට අපේ සේවාව ලබාදෙනවද? අපි එහෙම කරන්නෙ නැති නම්, අපි බොහොම සීරියස් විදියට තව මනුස්සයෙක්ගේ කාලය නාස්ති කරනවා. විශේෂයෙන්ම ඔය රාජ්‍ය සේවාව ගැන එහෙම මිනිස්සුන්ගේ තියෙන පොදු මතය හැදෙන්නේ කොහොමද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

 

ඒ වගේම, අපි පුද්ගලික අංශයේ රැකියාවක් කළත්, අපිට ගෙවන මුදල උපරිම සේවයක් අපි ලබාදෙන්නේ නැතිනම්, අපි එතනදී කරන්නෙත් තවත් කෙනෙකුගේ කාලය සහ සම්පත් නාස්ති කිරීම තමයි. ඉතින් එහෙම අයිස් පප්පලා එක්ක කොහොමද රට හදන්නේ?

 

7. ජීවිතේ අපතේ!

අපේ ජීවිතේ කොහොමද පබ්ලික් වෙන්නෙ කියලා හිතුවද? නෑ, අපි ජීවිතේ නාස්ති කරනකොට, ඒක සමස්තයක් විදියට මුළු මහත් සමාජයකටත් බලපානවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කොයි තරම් වැඩ කල්දානවද? ඔහේ වැඩ කල්දමමින් ලතවෙමින් ඉන්නවා. ඒක නාස්තියක්. ඒ වගේම, අපි කොයි තරම් ඉන්න තත්ත්වයට විතරක් හැඩගැහිලා, එතනින් එහාට දියුණු වෙන්න, දෙයක් ඉගෙන ගන්න හිතන්නේ නැතුව ඉන්නවද? ආන්න ඒකත් නාස්තියක්. දැන් මෙහෙම නාස්ති වෙන්නේ අපේ පුද්ගලික ජීවිතේනේ, මයි කාර් මයි පැට්‍රෝල් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි සමාජය කියන එක හැදෙන්නෙත් අපි එකතු වෙලා නෙවෙයිද? එතකොට අපි අපේ ජීවිතය ඔය විදියට කල් මරමින්, කල් දමමින්, ලත වෙමින්, එකෙල මෙකෙල වෙවී ඉඳිමින් අපතේ අරින කොට, ඒක මුළු මහත් සමාජයටම බලපානවා කියලා හිතෙන්නෙ නැද්ද? ඇත්තටම අපි වඩා වැඩි දෙයක් කරන්න හැකියාව තියෙද්දිත් ඔහේ කකා බිබී, තියෙන විදියට ඉන්න හිතනවා නම්, රට හැදෙන්නෙ නෑ හදන්නෙ නෑ කියලා දේශපාලකයන්ට බණින්න අපිට කොහෙත්ම අයිතියක් නෑ.

 

දැන් පැහැදිළියිනේ තත්ත්වේ. නිකමට හිතලා බලන්න තමන් මේ වැරදි වලින් කොයි තරම් දේවල් තමනුත් කරනවද කියලා. එහෙම එකක් හරි කරනවා නම්, අදම නවත්තන්න. ආන්න එතකොට බය නැතුව රට නාස්ති කරන දේශපාලකයන්ට බණින්න පුළුවන්. එහෙම නැතුව තමන් පොදු දේපළ නාස්ති කරන, විනාස කරන ගමන් කාටවත් රට කනවා කියලා බණින්න අයිතියක් නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *