මෙහෙණින් වහන්සේලාගේ චරිත නිරූපණය කළ අපේ නිළියන්

පසුගිය දිනවල Lifie.lk අපි පැවිදි චරිත නිරූපණය කළ නළුවන් පිළිබඳව විස්තර සටහන් කීපයක් ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. ඒ ආටිකල් සීරිස් එකේම දිගුවක් විදිහට මෙහෙණින් වහන්සේලාගේ චරිත නිරූපණය කළ අපේ නිළියන් පිළිබඳව කතා කරන්න අපි හිතුවා.

හාමුදුරු චරිත හරහා අපිට සමීප වුණු ටෙලි සිනමා නළු​වෝ

හාමුදුරු චරිත හරහා අපිට සමීප වුණු ටෙලි සිනමා නළුවෝ – දෙවැනි කොටස

 

1. සුභාෂිණී අතුකෝරාල

මෙහෙණින්වහන්සේ කෙනෙකුගේ චරිතයක් නිරූපණය කිරීම සඳහා තම කොණ්ඩය සම්පූර්ණයෙන්ම මුඩු කළ පළමු තැනැත්තිය විදිහට සුභාෂීණී අතුකෝරාලගේ නම සිංහල සිනමා වංශ කතාවේ ඉතිහාසගත වෙනවා. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘රන්සළු’ චිත්‍රපටිය වෙනුවෙන්. සිනමාව වෙනුවෙන් එවැනි කැපකිරීමක් ඇය විසින් කළත්, මේ නිසාම ඇගේ වැඩිහිටියන් තවදුරටත් ඇය සිනමාවේ නිරත වීම පිළිබඳව විරුද්ධත්වය පළකරනවා. ඒ හේතුවෙන් ‘රන් සළු’ චිත්‍රපටය ඇයගේ ප්‍රථම සහ අවසාන චිත්‍රපටිය බවට පත්වෙනවා.

 

2. සංගීතා වීරරත්න

‘උප්පලවණ්ණා’ චිත්‍රපටය වෙනුවෙන් තම හිසකෙස් මුඩු කිරීමට සංගීතා වීරරත්න තීරණය කිරීම සිනමා ප්‍රේක්ෂකයන් අතිශයින් කම්පනයට ලක් කිරීමට සමත් වූ අවස්ථාවක්. කෙසේ වෙතත් ඇය එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් අතර එහිදී තම සැමියා වූ රොෂාන් ලබා දුන් සහාය සංගීතා නිරන්තරයෙන් අගය කිරීමට ලක් කරා. චිත්‍රපටියේ අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න මහතා කිසිසේත්ම එවැනි දෙයක් සංගීතාගෙන් අපේක්ෂා නොකළ අතර, වේශ නිරූපණය කිරීම මගින් හිස මුඩු කළ ස්වභාවයක් නිරූපණය කළ හැකි බව ඔහු පවසා සිටියත්, මෙම චරිතය වෙනුවෙන් සංගීතා අසාමාන්‍ය කැපකිරීමක් කිරීමට තීරණය කළා.

 

3. මාලිනී ෆොන්සේකා 

තම දිගු දිගුකාලීන රංගන ජීවිතය තුළ විවිධ භූමිකා නිරූපණය කළ මාලිනී ෆොන්සේකා, මෙහෙණියක් ලෙස මුණගැසෙන්නේ ‘උප්පලවණ්ණා’ චිත්‍රපටය තුළින්මයි. දිගු කාලයක් පුරා මහණදම් පුරා අත්දැකීම් ලබා සිටින වැඩිහිටි මෙහෙණියක්, තරුණ මෙහෙණියක් සහ කුඩා මෙහෙණියක්ව මවක මෙන් රැක බලා ගන්නා ආකාරයේ චරිතයක් ඇය විසින් නිරූපණය කරනු ලැබුවා. එසේම උප්පලවණ්ණා මෙහෙණිය විසින් කැරලිකරුවකු ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන දැන සිටියත්, එය නොදැන සිටින අයුරින් විශිෂ්ට රංගනයක අැය යෙදීම ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

4. සඳලි වැලිකන්න

 

සිංහල සිනමාවේ විවිධ අවස්ථා වල කුඩා සාමණේර හිමිවරුන්ගේ චරිත සිනමා ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව ලැබී තිබුණත් කුඩා දසසිල් මාතාවකගේ චරිතයක් පළමු වරට දැක ගැනීමට ලැබුණේත් ‘උප්පලවණ්ණා’ චිත්‍රපටය හරහාමයි. සඳලි වැලිකන්න විසින් එම චරිතය නිරූපණය කරනු ලැබුවා. දසසිල් මාතාවක් වුවත් කුඩා ළමයෙකුගේ කෙළිලොල් ස්වභාවය සහ විමර්ශනශීලී බව මෙම රඟපෑමෙන් අැය විදහා දැක්වූවා.

 

5. ඕෂධී හේවාමද්දුම

‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රඟපෑමට එක් වූ ඕෂධී හේවාමද්දුම එහි ලංකාවේ පළමු තෙරණිය වූ අනුලා තෙරණියගේ චරිතය නිරූපණය කළා. මෙම චරිතය නිරූපණය කිරීම සඳහා තමන් පේ වුණු බව සඳහන් කළ ඇය එම කාලය තුළදී සම්මුඛ සාකච්ඡා හෝ ඡායාරූප සඳහා පෙනී සිටියේ නැහැ. චිත්‍රපටය නිම වීමෙන් අනතුරුව හදිසි අනතුරකට ඇය ලක් වූ අතර, ඇය සඳහන් කළේ එම චරිතය නිරූපණය කිරීමෙන් ඇතිවුණු වස් දොස් එලෙස හදිසි අනතුරක් සමගින් අවසන් වූ බවයි.

 

6. රුවන්ගි රත්නායක

රිදී තිරයේ සහ පුංචි තිරයේ අතිශයින්ම කෙළිලොල් සහ දඟකාර චරිත රාශියක් නිරූපණය කරමින් සිටි රුවන්ගි රත්නායක බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් වන අතිශයින්ම කම්පනාත්මක කතා පුවතක් වන සුභා තෙරණියගේ චරිතය චිත්‍රපටයක් වෙනුවෙන් නිරූපණය කළා. මෙහෙණියකගේ චරිතයක තිබිය යුතු නිවුණු සහ උපශාන්ත ස්වභාවය මැනවින් නිරූපණය කිරීමට ඇය සමත් වූ අතර ඇගේ රංගන ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස මෙම රඟපෑම හඳුන්වන්න පුළුවන්.

 

7. සන්ධ්‍යානි දෙල්වල

නැගී එන නිළියක් වන සන්ධ්‍යානි දෙල්වල එක්තරා අවස්ථාවක මෙහෙණියකගේ චරිතය නිරූපණය කර තිබෙනවා. නමුත් එය චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් සඳහා නම් නෙමෙයි, මියුසික් වීඩියෝවක් සඳහායි. ඇය විසින් රචනා කොට ගායනා කරනු ලැබූ ‘සසුනට පියමැනි සොඳුරු යුවතිය’ නම් වූ ගීතය වෙනුවෙන් මෙම චරිත නිරූපණය ඇය විසින් සිදු කරනු ලැබ තිබුණා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *