දැන් කාලෙ ළමයි නොදන්න පරණ තාලේ අපූරු කෙළි සෙල්ලම්

සෙල්ලම් කිව්වම ඉතින් කාට කාටත් මතක් වෙන්නෙ ළමා කාලයනෙ. කාලෙ වගේද දැන් කාලෙ සෙල්ලම්. සෙල්ලම් කිරිල්ලත් ඩිජිටල්කරණය වෙලා. පොඩ්ඩො සෙල්ලම් කරන්නෙත් කම්පියුටර්, ෆෝන් එක්ක. ගෙවල් ඇතුලෙ කම්පියුටර් වලට මූණ ඔබාගෙන ඔන්ලයින් යාළුවො එක්ක මිසක් එළියට පහළියට ගිහින් සෙල්ලම් කිරීමක් නෑ. හැබැයි ඊට වඩා බොහොම සුන්දර කෙළි සෙල්ලම් අද ඉන්න වැඩිහිටියො ළමා කාලෙ කරල තියෙනව. 80, 90 දශක වලදි ඔය හැංගි මුත්තන්, ගස් මාරු, බට්ටො පැනීම් වගේ දැන් කාලෙ පොඩ්ඩො අහලවත් නැති අපූරු සෙල්ලම් තිබුණනේ. මේ කියන්න යන්නෙ ඊටත් එහා අතීතයේ අපේ අම්මල තාත්තල, ආච්චිල සීයල පුංචි කාලෙ කරපු පරිසරයත් එක්ක බොහොම සම්බන්ධකම් තියෙන ඉපැරණි සෙල්ලම් ගැනයි

 

 

1. පංච දැමීම

පංච දැමීම කියන්නෙ දෙන්නෙක් සහභාගී වෙලා කරන ක්‍රීඩාවක්. මේක ගෘහස්ථ ක්‍රීඩාවක්. පංච ඉත්තො විදිහට බෙල්ලො හය දෙනෙක් යොදාගෙන බෙල්ලො උඩ දාල ලැබෙන අගයන් අනුව කලින් ඇඳල සූදානම් කරගත්තු පංච පෙතක ඉදිරියට යන එක තමා කරන්නෙ. ඉස්සෙල්ලාම ඉදිරියට යන කෙනා තමයි ජයග්‍රහණය කරන්නෙ. දැන් අපිට දකින්නවත් නැති උණාට ඉස්සර ගෙදරකනම් පංච පෙතකුත් පංච ඉත්තොත් නොවැරදීම දකින්න පුළුවන්.

 

 

2. ඔළිඳ කෙළිය

ඔළිඳ කෙළිය කියන්නෙත් ගෘහස්ථ ක්‍රීඩාවක්. ටිකක් විතර සංකීර්ණ ගණිතමය ක්‍රමයකට තමයි මේ ක්‍රීඩාව සිදු කරන්නෙ. එක පැත්තක වලවල් 7 බැඟින් දෙපැත්තෙ වලවල් 14ක් තියෙන ටිකක් වටිනා ලී වර්ගයකින් හදාගත්ත ඔළිඳ පුවරුවක් භාවිතා කරල තමයි ක්‍රීඩාව කරන්නෙ. එක වලක තියෙන ඔළිඳ ඇට අතට අරගෙන ඊට පස්සෙ තියෙන වලවල් වලට දාගෙන ගිහින් තමා ක්‍රීඩාව ආරම්භ කරන්නෙ. ඔහොම ක්‍රීඩා කරද්දි පස් වෙනි වල හිස්වෙලා තියෙන අවස්ථාවක් හමු උණොත් ඊළඟ වලේ තියෙන ඔළිඳ ඇට ඔක්කොම ක්‍රීඩා කරන කෙනාට ලැබෙනව. ඔන්න ඔහොම ගිහින් වැඩිම ඇට ගාණක් එකතු කරගත්ත පිල දිනනවා. මේ ඔළිඳ කෙළිය කරද්දි ගායනා කරන වෙනම කවි පවා තියෙනව. කවි වලින් ක්‍රීඩා කරන ක්‍රමය ගැන විවිධ ඉඟි පවා සැපයෙන අවස්ථාවනුත් තියෙනව කියල තමයි කියන්නෙ.

 

 

3. එළුවන් කෑම

එළුවන් කෑම කියන්නෙ කොටියෙක් එළුවෙක් අල්ලන්න යන අතරේ ඇතිවෙන සංවාදයක් එක්ක යන ක්‍රීඩාවක්. මේකනම් එළිමහන් ක්‍රීඩාවක්. කණ්ඩායමක් එක්ක තමා කරන්නෙ. “එළුවන් කන්නයි මං ආවේ..” කියල පටන් ගෙන ලස්සන කවි ගායනා කරන ගමන් රවුම මැද ඉන්න එළුවව රවුම වටේ යන කොටියට අල්ලගන්න නොදී පරිස්සම් කරගන්නයි ඕනා

 

 

4. පොර පොල් ගැසීම

පොර පොල් ගැසීම කියන්නෙත් එළිමහන් ක්‍රීඩාවක්. පත්තිනි දෙවියන් සහ පාලඟ කුමරු සම්බන්ධ කරගෙන කවි ගායනා කරමින් දෙපිලක් කරන ක්‍රීඩාවක්. ක්‍රීඩාවක් විතරක්ම නෙමෙයි, මේක වැස්ස සහ සශ්‍රීකත්වය බලාපොරොත්තුවෙන් කරන වතාවතක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. දෙපිලෙන් එක පිලක් එහා පැත්තට පොල් ගෙඩියක් යවද්දි පිලේ කෙනෙක් පොල් ගෙඩියකින්ම අහසෙදිම ඒක බිඳින එක තමයි ක්‍රීඩාව. උඩුපිල යටිපිල කියල තමයි පිල් දෙක හඳුන්වන්නෙ. එක දිගට දින හතක් තිස්සෙ ක්‍රීඩා කරල වැඩිපුර පොල් ඉතුරුවෙන පිළ ජයග්‍රහණය කරනව. අන්තිමේ පොර පොල් පිටියේ ගම්මඩුවකුත් පවත්වල තමා කාරිය අවසන් කරන්නෙ.

 

 

5. කොප්පර කොප්පර පිපිඤ්ඤා

මේකත් කණ්ඩායමක් එකතුවෙලා කරන එළිමහන් ක්‍රීඩාවක්. පිරිසක් රවුමට ඉඳගෙන ඉන්නකොට එක්කෙනෙක් කොළ අතු කෑල්ලකුත් අරන් රවුම වටේට යනවා. යන ගමන් දෙගොල්ලොමකොප්පර කොප්පර පිපිඤ්ඤාපස්ස බැලුවොත් දෙසන්නා...” කිය කිය කවි කියනව. අන්තිමේ වටේට යන කෙනා රවුමෙ ඉන්න කෙනෙක්ගෙ පිටිපස්සෙ අත්ත තියල දුවනව. අත්ත ලැබුන කෙනා ඉක්මනින් නැගිටල අත්ත අරන් පස්සෙන් දුවන්න ඕන. අර හිස්වුන තැන වාඩිවෙන්න කලින් අත්තෙන් ගහන්න ඕන. බැරි උනොත් අලුත් කෙනා රවුම වටේ යන ගමන් ආයෙ මුල ඉඳන් සෙල්ලම කරනවා

 

 

6. චක්ගුඩු පැනීම    

චක්ගුඩු පනිනව කියන්නෙත් එළිමහන් ස්ථානයක කරන ක්‍රීඩාවක්. අස්වැන්න නෙලාගත් වෙල්‍ යායක් හරි වැව් තාවුල්ලක් හරි තමයි මේ ක්‍රීඩාව කරන්න තෝරගන්නෙ. දෙපිරිසක් බෙදිල ලකුණු කරපු සීමාවකින් දෙපැත්තෙ ඉඳන් තමයි සෙල්ලම් කරන්නෙ. මේ පිළේ කෙනෙක්චක්ගුඩු ගුඩු ගුඩුකිය කියා එහා සීමාවට ගිහින් එහෙන් පහර නොකා පරිස්සම් වෙලා එහේ කෙනෙකුට පහර දීල කණ්ඩායමට එකතු කරන් එන්නයි ඕනා. අතරෙදි ගුඩු ගුඩු කීම නවත්තන්නත් බැහැ. අන්තිමේ වැඩි පිළ තමා ජයග්‍රහණය කරන්නෙ

 

 

7. අතුරු මිතුරු

අතුරු මිතුරු කියන්නෙ ඉතාම සරල ගෘහස්ථ ක්‍රීඩාවක්. කිහිප දෙනෙක් එකතුවෙලා අත් බිමට තියාගෙන “අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා… අළුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා… “ කියල කවි කියන ගමන් අත් වලට තට්ටු කරමින් කරන ක්‍රීඩාවක්. කවිය අවසන් වෙන තැනදි තට්ටුවෙන අත විදිහට අත් එකින් එක ඉවත් කරගන්න විදිහට තමයි සෙල්ලම කෙරෙන්නෙ

 

මේ අපූරු පැරණි කෙළි සෙල්ලම් අද කාලෙ දරුවන් අතරෙ කෙරෙන්නෙ නෑ විතරක් නෙමෙයි අඩුම තරමේ ඔවුන්ට දකින්න අහන්නවත් නැති තරම්. ගෙවල් ඇතුලේ පරිගණක ඉස්සරහ ගෙවන ළමා කාලයකට වඩා එළිමහනේ යාළුවො එක්ක කරන මේ වගේ සෙල්ලම් වල වටිනාකම පුංචි දරුවොන්ට කියල දෙන වගකීම ඉතින් තියෙන්නෙ වැඩිහිටි අපේ පරම්පරාව අතේ තමයි. ක්‍රියාකාරකම් වලින් දරුවන්ගෙ ජීවිතේට හුඟක් වටින අත්දැකීම් එකතු කරගන්න පුළුවන්