අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වුණු රජ පවුල්

අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ රජ පවුලක ඉපදෙන්න ලැබෙනවා නම් ඒක යම් කෙනෙක්ගේ වාසනාවක් කියලා. හැබැයි ඉතිහාසය දිහා බලද්දී අපට පේන දේ තමයි බොහෝ රටවල රජ පවුල්වලට ඉතා අවාසනාවන්ත ඉරණම්වලට මූණ දෙන්න වෙලා තියෙනවා කියන එ​ක. අපි දැන් එහෙම රජ පවුල් කීපයක් ගැන විස්තර දැනගමු.

 

1. දහසය වැනි ලුවී රජු සහ රජ පවුල 

ප්‍රංශ විප්ලවය සිදු වන තාක් යුරෝපයේ ප්‍රධානතම රජපවුල විදිහට බොහෝ දෙනෙක් සැලකුවේ ප්‍රංශ රජ පවුල. අනෙකුත් රජ පවුල් ප්‍රංශ රජ පවුල අනුකරණයට පවා පෙළඹී සිටියා. ඊට ඔවුන් ගත කළ  සුඛෝපභෝගී සහ විභූතිමත් ජීවිතය බලපෑවා. නමුත් ප්‍රංශ විප්ලවයට එක හේතුවක් වුණේත් රජ පවුලේ නාස්තිකාර ජීවිතය. අවසානයේදී නඩු විභාගයෙන් අනතුරුව දහසය වැනි ලුවී රජුට සහ ඔහුගේ බිසව වන මාරි ඇන්ටනට් බිසවට ගිලටීනයට බිලි වන්නට සිදු වුණා. මීළඟ රජු බවට පත් වීමට සිටි කිරුළ හිමි ලුවී කුමරා සිරගෙයි තුළදීම මිය ගියා. ඔවුන් දෙදෙනාගේ දියණිය වුණු මේරී තෙරීසා කුමරිය නිදහස් වීමෙන් අනතුරුව තම ඥාති සහෝදරයෙකු සමග විවාහ වී ප්‍රංශයේ රැජින බවට පත් වුණත්, වතාවන් කීපයකදී ප්‍රංශයෙන් පිටුවහල් කරනු ලැබුවා. ඔවුන් දෙදෙන​ට දරුවන් නොමැති වීම නිසා 16 වන ලුවී රජුගේ පරපුර අහෝසිව ගියා.

 

2. දෙවන නිකොලොස් සාර් රජු සහ රජ පවුල 

එවකට ලෝකයේ පැවති විශාලතම අධිරාජ්‍යයක පාලකයා වූ  දෙවන නිකොලොස් රජුටත් රුසියානු විප්ලවය නිසා බලය අහිමිව ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස රජ පවුලට රුසියාවේ විවිධ ප්‍රදේශ වල සිරගත වන්නට සිදු වුණා. තමන්ගෙ ඥාතී සහෝදරයෙකු වන එංගලන්තයේ පස්වැනි ජෝර්ජ් තමන්ගේ පිහිටට එනු ඇතැයි ඔවුන් සිතුවත් එය එසේ සිදු වුණේ නැහැ. අවසානයේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් දෙවන නිකලස් සාර් රජු, රජ බිසව වන ඇලෙක්සැන්ඩ්‍රා දේවිය, දරුවන් වන ඔල්ගා, ටට්‍යානා, මාරියා සහ අනත්තේසියා කුමරියන් සහ රුසියානු රජ කිරුළේ ඊළඟ උරුමකරු වන ඇලෙක්සි කුමරුව ඝාතනය කරනු ලැබුවා. ඔවුන්ගේ භෂ්මාවශේෂ පවා මෑතක් වන තුරු සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

 

3. පළමුවන කාලෝස් රජු සහ රජ පවුල

1908 වර්ෂයේ දී පෘතුගාලයේ රජු වන පළවන කාලෝස්, රජ බිසව සහ රජ කුමරුන් දෙදෙනා වෙනත් මාලිගයක සිට ලිස්බනයේ ප්‍රධාන රජ මැදුර වෙත විවෘත අශ්ව රථයකින් පැමිණෙමින් සිටියා. එහිදී රාජ්‍ය විරෝධීන් දෙදෙනෙකු විසින් කාලෝස් රජු සහ කිරුළ හිමි ලුවී පිලිප් කුමරුව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. රජ බිසව වන ඔර්ලියන්ස්හි ආමේලියා බිසව තමා අත තිබූ මල් පොකුරක් මගින් දෙවන රජකුමරුවන් වූ මැනුවෙල් කුමරුව ආවරණය කර ගැනීමට සමත් වුණා. පසුව ඔහු දෙවෙනි මැනුවෙල් නමින් පෘතුගාලයේ රජ බවට පත් වුණත් රට තුළ ඇති වූ විප්ලවය හේතුවෙන් ඔහුට රජකම අහිමි වුණා. සිය ජීවිතයේ ඉතිරි කාලය එංගලන්තය සහ ප්‍රංශයේ වාසය කළ මැනුවෙල්, ජර්මානු ජාතික ඔගස්ටා වික්ටෝරියා කුමරිය සමග විවාහ වුණත් මෙම විවාහයෙන් ඔවුන්ට දරුවන් ලැබුණේ නැහැ.

 

4. දෙවන ෆයිසාල් රජු සහ රජ පවුල

 

ඉරාකයේ අවසාන රජු වන දෙවන ෆයිසල් ඉරාකයේ රජු බවට පත් වුණේ වයස අවුරුදු තුනේදී. ඊට හේතුව වුණේ ඔහුගේ පියා වන පළමුවන ගාසි රජු මෝටර් රථ අනතුරකින් හදිසියේ මිය යෑමයි. එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබූ ෆයිසාල් නැවතත් ඉරාකයට පැමිණ විවිධ වෙනස්කම් කිරීමට උත්සාහ කළ  නමුත් එම වෙනස්කම් ඒ තරම් ජනප්‍රිය වුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඉරාකයේ හමුදා සෙබළුන් අතින් රජු සහ රජ පවුල ඝාතනය වීමයි. බැග්ඩෑඩයේ රජමාලිගයට ඇතුල් වුණු සෙබළුන් රජ කිරුළ හිමි රජුගේ ඥාතී කුමරා සහ කුමරිය, රජ පවුලේ සමීප ඥාතීන් පමණක් නොව රජ මැදුරේ සේවක සේවිකාවන් පවා මාලිගාව අංගනයට රැස්කරවා මැෂින් තුවක්කු ප්‍රහාරයක් මගින් ඝාතනයට ලක් කළා.

 

5. පළමු වන ෆ්‍රාන්ස් ජෝෂෆ් සහ රජ පවුල 

පළමුවැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමේ වගකීම පැටවෙන ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ ඔස්ට්‍රියාවේ අධිරාජයාව සිටි ෆ්‍රාන්ස් ජෝෂෆ් නැමැත්තායි. ඔහුව ශාපයකට ලක්වූ පුද්ගලයෙකු ලෙස සැලකෙනවා. ඔහු විසින් ඝාතනය කිරීමට අණ දුන් තරුණයෙකුගේ මවක් විසින් ඔහුට ශාප කළ බව විශ්වාස කෙරෙනවා. රජු බෙහෙවින් ප්‍රිය කළ දියණියන් දෙදෙනෙකු කුඩා කාලයේදීම මිය යන අතර කිරුළ හිමි රුඩෝල්ෆ් කුමරු සියදිවි නසා ගන්නවා. එවකට යුරෝපයේ සිටි සුරූපීතම රජ බිසව ලෙස සැලකෙන ෆ්‍රාන්ස් ජෝෂෆ්ගේ බිරිඳ වුණු එලිසබත් බිසව ඉතාලියේ දී ඝාතනයට ලක් වෙනවා. ෆ්‍රාන්ස් ජෝෂෆ්ගෙන් පසුව කිරුළ හිමිකර ගැනීමට ඔහුගේම පිරිමි දරුවකු නොමැති වීම නිසා ඔහුගේ ඥාති පුත්‍රයකු වන ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කිරුළ හිමි කුමාරයා වුවත් ඔහුගේ ඝාතනය පළමුවන ලෝක යුද්ධය ට පාර කපනවා. ෆ්‍රාන්ස් ජෝෂෆ්ගෙන් පසුව ඔහුගේ තවත් ඥාති සහෝදරයෙකුගේ පුත්‍රයා වන පළමුවන චාර්ල්ස් රජ බවට පත් වුණත් පළමුවන ලෝක යුද්ධයෙන් ලද පරාජයත් සමගම ඔහු සහ රජ පවුලට කිරුළ අහිමි වෙනවා.

 

6. පළමු වන ඇලෙක්සැන්ඩර් රජු සහ රජ බිසව 

සර්බියාවේ රජ බවට පත් වුණු පළවන ඇලෙක්සැන්ඩර්ගේ ක්‍රියාකලාපය මුල්කාලයේදී ජනතාවගේ ගෞරවයට හේතු වූවත් පසුව දැඩි විවේචනයට හේතු වුණා. සාමාන්‍ය පවුලක තැනැත්තියක වන දර්ගා කුමරිය විවාහ කර ගැනීමට රජු විසින් තීරණය කිරීමත් සමඟ මෙම විරෝධය තවත් වැඩි වුණා. එහි උච්චතම අවස්ථාව පැමිණියේ රජු විසින් තමන්ට දරුවන්ට ලැබෙන තෙක් සර්බියාවේ කිරුළේ රුමකරු ලෙස දර්ගා බිසවගේ සහෝදරයන් නම් කරනු ඇතැයි යන කටකතාවක් පැතිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සර්බියානු හමුදාවේ සොල්දාදුවන් පිරිසක් රජ මැදුරට කඩාවැදී රජු සහ රාජ බිසවව ඝාතනය කරනු ලැබුවා. 

 

7. නේපාල රජ පවුලේ ඝාතනය

මෑත ඉතිහාසයේ ලොවම කම්පා කළ රජ පවුලක ඝාතනය ලෙස මෙම ඝාතනය හැඳින්විය හැකියි. නේපාලයේ රජ කළ බිරේන්ද්‍ර රජු සහ රජ පවුලේ සියලුම සාමාජිකයන් පාහේ රජුගේ වැඩිමල් පුත්‍රයා වන කිරුළ හිමි දීපේන්ද්‍ර කුමරුගේ අතින් ඝාතනයට ලක් වුණ. කුමරුගේ විවාහයට රජ පවුල දැඩි ලෙස විරෝධය දැක්වීම මීට හේතුවක් ලෙස සැලකෙනවා. නමුත් ඇතැම් පිරිසකගේ මතය වන්නේ මෙය කුමන්ත්‍රණයක් බවයි. ​ඒ කෙසේ වෙතත් ඉන්පසුව බිරේන්ද්‍ර  රජුගේ සහෝදරයකු වූ ගයේන්ද්‍ර රජු නේපාලයේ රජ බවට පත් වුණා. පසුව නේපාල පාර්ලිමේන්තුව විසින් ඔහුව රජකමින් පහ කොට නේපාලය ජනරජයක් කිරීමට කටයුතු කළා 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *