නිවර්තන රටකට නිවාඩුවකට යෑමේ වාසි

ලංකාව, තායිලන්තය, ඉන්දියාව වගේ රටවලට මිලියන ගණන් සංචාරකයින් යුරෝපයෙන් එනවා. ඒ එන්න එක මූලික හේතුවක් තමයි නිවර්තන දේශගුණය. නිවර්තන කලාපයේ ඉන්න අපිට නම් ලස්සන හිම දැක්කාට පස්සේ හිතෙනවා “අනේ අපිත් හිම වැටෙන රටක හිටියනම්” කියලා. ඒත් ශීතලයෙන් සහ අයහපත් කාලගුණයෙන් පීඩා විඳින යුරෝපයේ ජනයා හිතන්නේ නිවර්තන කලාපයේ රටක ජීවත්වීම වාසනාවක් විදිහට. ඉතින් නිවර්තන රටක ජීවත්වීමේ වාසි මොනවද කියලා අපි ටිකක් හොයා බලමු. 

 

1. සංස්කෘතික විවිධත්වය 

යුරෝපා රටක ඉඳන් නිවර්තන රටකට එද්දි සංස්කෘතික වෙනස්කම තදට දැනෙනවා. එකම රටක වුණත් ඉන්දියාව වගේ දේශයක විවිධ භාෂාවන් ගණනාවකින් සැදුණු සංස්කෘතික රටාවන් ගොඩක් තියෙනවා. ඒවායේ ජන ජීවිතය සහ උත්සව ආදිය විචිත්‍රවත්. තායිලන්තයේ එහෙම අප්‍රේල් මාසයට පැවැත්වෙන සොන්ක්‍රන් උත්සවය ජලය විදගැනීම ඇතුළත් ජලය හා සම්බන්ධ උත්සවයක්. ​ඒ වගේම ලංකාවේ අලුත් අවුරුදු උත්සව, වෙසක් උත්සව ආදිය වෙනත් රටවල අයට ගේන්නේ අලුත්ම අත්දැකීමක්. 

 

2. නැවුම් ආහාර 

නිවර්තන කලාපයේ ජීවත්වෙන අපිට ආහාර ගොඩක් තියෙනවා. ඒ වගේම එළවළු, පළතුරු ආදිය අලුත් පිටම ගන්න පුළුවන්. අඹ, කෙසෙල්, දිවුල්, අලිගැටපේර වගේ නිවර්තන පළතුරු යුරෝපයේ රටවල සුලභ නැහැ. තිබුණත් මාස ගණන් නැව් වලින් ඇවිත් තමයි ​ඒවා එයාලට ලැබෙන්නේ. අපිට බොහොම සුලභව ලැබෙන තැඹිලි, කුරුම්බා වගේ බීමක් වුණත් ​ඒ රටවල ජනයාට ලේසියෙන් ගන්න බැහැ. ආහාර රටාව වුණත් ලංකාව, ඉන්දියාව වගේ රටවල යුරෝපයට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් නිවර්තන කලාපවල මේ ආහාර පුරුදුත් සංචාරකයින් ආකර්ෂණය කරගන්න එක් මූලික සාධකයක් වෙනවා. 

 

3. නිරන්තර හිරු එළිය 

හිරු එළිය තිබෙන අපිට වැඩිය අගයක් නැහැ. ඒත් හිරු එළිය කියන්නෙත් විඳගන්න ඕනි අත්දැකීමක්. ​ඒ නිසාම යුරෝපීය රටවල ගිම්හානයේදි මුහුදු වෙරළට ඇවිත් සංචාරකයින් හිරු එළිය විඳගන්නවා. මේ ලංකාව වගේ රටවල තියෙන හිරු එළිය විටමින් ඩී ලබාගන්නත් හොඳ ප්‍රභවයක් වෙනවා. ​ඒ වගේම මේ හිරු එළිය තියෙන විදිහ නිසා දවසෙන් හරියටම භාගයක්ම සක්‍රීයව දිවා කාලය ගත කරන්නත් අවස්ථාව නිවර්තන රටවල ජනතාවට ලැබෙනවා. 

 

4. එළියේ පහලියේ වැඩට තියෙන පහසුව 

ශීතල දැඩිව බලපාන රටවල ජනයාට ශීත කාලය එළියේ ගතකරන්නට බැහැ. හිම ක්‍රීඩා ආදිය තිබුණත් ඇඳුම් ඇඳගෙන කරන ​ඒ සෙල්ලම් නිවර්තන රටකදි කරන එළියේ සෙල්ලම් වලට වඩා වෙනස්. ​ඒ වගේම අරාබිකරයේ රටවල දවල්ට අවුට්ඩෝ වැඩ කරන්න තියා එළියට බැහැලා ඇවිදින්නත් අමාරුයි. ඉතින් අපි වගේ නිවර්තන ඒහෙත් යම්තාක් දුරකට සෞම්‍ය කාලගුණයක් තියෙන රටවලදී එළියේ කරන සර්ෆින්, සයිකල් පැදීම, බෝට්ටු ඔරු පැදීම, දිවීම, පැනීම, කඳු නැගීම වගේ එළියේ කරන ඇක්ටිවිටීස් ගොඩක් කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. 

 

5. ජීවන වියදම අඩු වීම 

අප්‍රිකානු කලාපයේ, ඇමරිකානු කලාපයේ වගේම ආසියානු කලාපයේ තියෙන නිවර්තන රටවල් බැලුවත් බොහොමයක ජීවන වියදම බොහොම අඩුයි. ඇඳුම් පැළඳුම්, කෑම බීම වගේම ඉඳුම් හිටුම් වලට ගෙවන්න වෙන ගාණත් අඩුයි. ශීත කාලයේදි උණුසුම් කරන්නත්, දැඩි උණුසුම් කාලගුණයේදී සිසිල් කරන්නත් වෙන්නේ නැති නිසා බලශක්තියත් යහමින් ඉතුරු වෙනවා. මේ ජීවන වියදම අඩු වීම නිසාම ඇමරිකාවේ එහෙම වියපත් විශ්‍රාමිකයින් කැරිබියානු රටවල්, තායිලන්තය වගේ රටවල් තමුන්ගේ විශ්‍රාම කාලය ගතකරන්න තෝරාගන්නවා. 

 

6. සොබා සෞන්දර්යයෙන් අනූන වීම 

ශීතල රටවල එක යායට තිබෙන පයින් ගස් චිත්‍රපටි වලදි හැඩට පේනවා. ඒත් නිවර්තන කාලපයේදී හමුවෙන සුන්දර සතුන්, ගහ කොළ මල් ආදී ජීවී ප්‍රජාව වෙනස්ම අත්දැකීමක්. නිවර්තන කලාපයේ මුහුද ගත්තත් මුහුදු වෙරළ, කඩොලාන කලපු පරිසරය අමුතුම චමත්කාරයක් ගේනවා. මුහුද යට කොරල්පර සහ සුන්දර ජීවී ප්‍රජාවක් හමු වෙනවා. මේ ජෛව විවිධත්වය හොඳින්ම විඳගැනීමට නිවර්තන කලාපීය රටවල් වඩාත් සුදුසු වෙනවා. විශාල සතුන් ලෙස වනෝද්‍යාන වල දකින්නට ලැබෙන සතුනුත් මේ කලාපයේදි සුලභව දකින්නට අවකාශ ලැබෙනවා. 

 

7. අලුත් ජනතාවක් සමග අලුත් අත්දැකීම් 

ස්වභාවය අනුව ගත්තාම නිවර්තන කලාපීය ජනතාව වඩාත් හොඳයි කියන්න අමාරුයි. ඒත් සාමාන්‍යයෙන් නිවර්තන රටවල ජනතාව ආගන්තුකයින් පිළිගැනීම අතින් ඉස්සරහින් ඉන්නවා. සෞම්‍ය කලාපවලින් එන අය ​ඒ සමාජ ආර්ථික වටපිටාව අතරේ හැමදාම එකම ආකාරයේ ජීවන රටාවකට මුහුණ දීලා වෙහෙසට පත් වෙලයි ඉන්නේ. ඉතින් එයාලට මේ නිවර්තන කලාපයේ රටවල මිනිසුන් සමග ජීවත්වීම අලුත් අත්දැකීමක් වෙනවා. 

 

සංචාරකයින් විදිහට අපි වගේ රටවලට එන සෞම්‍ය කලාපීය සංචාරකයින් දෙස සල්ලි ඉල්ලම් ලෙස දකින්නට ඇතැම් අය පුරුදු වෙලා තියෙනවා. ඒත් ඒ අය සංචාරක කර්මාන්තයට වගේම රටවල් විදිහට නිවර්තන රටවල ජනතාවටත් එල්ල කරන්නේ කළු පැල්ලමක්. එසේ නැතිව නිවර්තන රටවල් බලන්න, විඳගන්න, එහි අත්දැකීම් ගන්න එන ජනතාවට ​ඒ දේවල් ලබාදෙන්න කටයුතු කළොත් නිවර්තන පැතිවල කරක් ගහන්න එන සංචාරකයින් ප්‍රමාණය දිගින් දිගටම වැඩි වේවි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *