බොන කන උන්දැලා ගැන අපි කොයිතරම් ලියලා තිබුනත් මේ තනිකරම වෙනස් කතාවක්. මේක තනිකරම විඳීම ගැන කතාවක්. අපි බොන්න සෙට් වෙන අවස්ථා කිහිපයක් තියෙනවානෙ. යාළු මිත්‍රයො එක්ක. එහෙම වෙලාවක අපිට ඕනතරං කතාබහ තියෙනවා. එහෙමත් නැත්තං ට්‍රිප් එකක. ඒ වෙලාවට ඕනතරං සින්දු තියෙනවා. ක්ලබ් එකක තනියම බොද්දිත් ක්ලබ් එකේ එන්ටර්ටේන්මන්ට් තියෙනවානෙ. මෙන්න මේ අපි කතා කරන මාතෘකාවට එන්නෙ එතැනින්. ඒ තමයි ගෙදර ඉඳන් තනියම බොද්දි ඒ අතරතුරේ කරන්නෙ මොනවද කියන එක. ඒක තරමක් මිනිස්සුන්ගෙ හදට ලඟ කතාවක්. ඒ ඇයි කියනවනං බොහොමයක් අතීත මතක, ප්‍රේමණීය මතක, විප්පයෝග හිතට ගහන වෙලාවක් තමයි මධුපැන් එක්ක රාත්‍රියක ගෙයක් ඇතුළෙ තනිවෙන වෙලාව. මේ කියන්නෙ ඒ වෙලාවට කරන බොහෝ දේ ගැන.
1. සිතුවිලි සිරවී
මේක මේ අද නං මාත් මෙහෙම කරනව කියල හිතලා කරන්න පුළුවන් කෙරුමක් නෙමෙයි. මේකට පුරුද්දක් හැදෙන්න වගේම හැඟීමක් එන්නත් ඕන. හිරවෙන්න පුළුවන් තරමෙ සිතුවිලි ගොඩක් මනුස්සයෙකුට තියෙන්නත් ඕන. ඇත්තටම මේක කරන්න පුළුවන් හිත තරමකට පාලනය කරපු මනුස්සයෙකුට විතරයි. පොඩ්ඩ ඇත්තං අවුල් යන මනුස්සයෙක් මේ වැඩේ කරන්න හැදුවොත් මහ රෑ ජාමෙ ගෙවල්වලට ගිහින් ගහ මරා ගන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම මේක කරන උදවිය මේක කරන ප්‍රධානම විදිය බොහෝදුරට සමානයි. පළවෙනියටම ඕක පටන්ගන්නෙ සෝෆා එකක වාඩි වෙලා සාමාන්‍ය විදියට. බයිට් ටිකක් වැඩිපුර ලං කරගෙන. ටිකක් වෙලා යද්දි සෝෆා එක උඩටම එන කකුල් දෙක එරමිනියා ගොතාගෙන. එතකොට මේසෙට නැමෙන්න අමාරු නිසා බයිට් කන්නෙ අඩුවෙන්. ඊටත් ටිකකට පස්සෙ ඔලුව ටිකක් හේත්තු කරගත්තොත් හොඳයි කියන හැඟීම එනවා. ඊටපස්සෙ ඉඳන් වැඩේ සිද්ධ වෙන්නෙ සෝෆා එකේ නිදියන ඉරියවුවෙන්. ඒ වෙලාවට බයිට් කන්නෙම නෑ. ඒ වගේම ඒ විදියට නිදියගෙන හැලෙන්නැතුව බොන්නත් ලොකු ප්‍රැක්ටිස් එකක් ඕන.
2. අසාමාන්‍ය ඈයො
මිනිස්සු බොන ගමන් කලාකාමී හදකට ඇතුළු වෙන්න ආසයිනෙ. එහෙම අය කිසිසේත්ම අසාමාන්‍ය නෑ. හැබැයි අපි මේ කියන තනියම බොන උදවිය කරන්නෙ තරමක් අසීරු වැඩ. පොතක් කියවන්න මනස එක තැනක තියෙන්න ඕන වගේම ඇස් දෙකත් බොඳ නොවී කරදරයක් නැතුව එළිපහලිය ඇතුව තියෙන්න ඕනනෙ. හැබැයි අපි මේ කියන අසාමාන්‍ය උදවිය, මහ රෑ අඩු එළියක් දල්වාගෙන මධු විතේ පෙඟිලත් පොත් කියවන අය. ඒ පොතේ රසය එලෙසින්ම විඳින අය. මෙහෙම අය හිඟ වුනත් තනියම ඩ්‍රින්ක් එකක් දාන්න පොතක් විතරක් ඇති මිනිස්සු අතිශය වටිනවා.
3. තනියමම නෙමෙයි
තනියම බොන ලැයිස්තුවට දැම්මට අපි මේ කියන අය බොන්නෙ තනියමම නෙමෙයි. කොහොමත් රෑට මලක් කඩන ආදරවන්තයො හිටියට මල් කඩන වයසෙ මිනිස්සු තනියම ගෙදර තියාගෙන රෑට බොන කුලකයට වැටෙන්නෙ අතිශය අඩුවෙන්. ඒ වුනත් මහ රෑ හීනියට සෙට් වේගෙන එද්දි තමුන් ආදරය කරන කෙනෙක් මතක් වෙන උදවිය බොහොම ඉන්නවා. ඒ වෙලාවට එහෙම කෙනෙකුට කෝල් එකක් දෙන ගමන් බොන එකත් සමහරුන්ගෙ පුරුද්දක්. මේ පුරුද්දෙ මිහිරියාව තියෙන්නෙ ඒ කතා කරපු දේවල් රෙකෝඩ් කරලා පහුවදාට අහද්දි. අනිත් පැත්තේ ඉන්න ආදරණීය හදවතත් මධුවිතේම පෙඟිලා හිටියානම් මේ දෙබස අතිශය රසවත්. බයිට් කන්න ඕනම නෑ.
4. යූටියුබ්
බොහෝදෙනෙකු අබ්බැහි වෙන සුළු අලුත් දෙයක් තමයි යූටියුබ්. කොයි දේටත් ආසා කරන මිනිස්සුන්ට යූටියුබ් එකේ නැති දෙයක් නෑ. කලාව කියන දේ අමතකම කළත්, පැරණි ටෙලි නාට්‍ය මතකයන් අවුස්සන්නට යූ ටියුබ් තරම් කදිම තවත් ඉඩක් නැති තරම්. මිනිස්සු ආසයි හිත නිවී හැනහිල්ලේ පා වෙන වෙලාවට නොස්ටැල්ජියාවෙ ගිලෙන්න. තවත් අය කැමතියි කාන්තාවො ගැන දැනගන්න. ඒ ගැන ඕනතරම් තියෙන තැනක් තමයි යූටියුබ්. කොටිම්ම ටයිප් කරන වචනයක් පාසා සජෙෂන්ස් එන යූටියුබ් නිසා කට්ටිය බොන වෙලාවට අනිවාර්යෙන්ම පිවිසෙන වෙබ් අඩවියක් විදියට එය හඳුන්වන්න පුළුවන්. සමහරු ආසයි සින්දු ගොන්නකට ඔටෝ ප්ලේ වෙන්න දීලා අහගෙන බොන්න.
5. මැච්
මේක වෙනම ආදරයක්. තමුන් ආදරය කරන කණ්ඩායම වැඩිපුරම සාර්ථකව ක්‍රීඩා කරපු කාලෙ ආයෙ ආයෙත් නරඹන්නට තමුන් මධුවිත එක්ක මුහු වෙන වෙලාව වැය කරන්නට බොහෝදෙනෙක් පෙළඹෙනවා. බොහෝදෙනෙක් කරන්නෙ ක්‍රීඩාවන් වෙනුවෙන්ම වෙන් වුනු චැනල් එකක් එක්ක බැඳෙන එක. මැච් තියෙන කාලෙක නම් අලුත් මැච්වල හයිලයිට්ස් වගේම, සමහරු අපි කලින් කියපු යූටියුබ් එකේ පරණ මැච් හොයාගෙන යනවා. ඒ අතරෙ ඔවුන් හොයන්නෙ දැන් කාලෙ අය බලන මහේල-සංගක්කාර වීඩියෝවලට වඩා සනත්-අරවින්ද-දුලිප් වීඩියෝ. එහෙමත් නැත්තං මෙසී-රොනාල්ඩෝ වීඩියෝවලට වඩා මැරඩෝනා-පේලේ-ක්රයෆ් වීඩියෝ. මහා වීඩියෝ ගොඩක් නැතත් ඒ පැරණි ක්‍රීඩා විසිතුරු ආයෙ ආයෙත් දකින්න ලැබෙන එක ගොඩක් දෙනෙකුට සතුටක්. මධුවිතත් එක්කම.
6. අපේම කතාව
මේ කතාව ලියැවෙන්නෙ බොහෝ වෙලාවට කලාවේ මාධ්‍යයන්ගෙන් ප්‍රධාන වශයෙන් දෙකකට. එකක් සින්දු. අනික ටීවී සීරීස්. මේ ජාති දෙකම තෝරාගනිද්දි ඒ දෙකේම තියෙනවා මේ දෙකට අනන්‍ය ලක්ෂණ. හැමෝම බලන්නෙ එයාලගෙ කතාව වැඩිපුරම කියවෙන්නෙ කොතනින්ද කියලයි. සින්දු නම් තෝරාගත් සින්දු ලිස්ට් එකක් තමයි වැඩේට යොදාගන්නෙ. මොකද සින්දුවෙන් සින්දුවට යූටියුබ් එකෙන් සර්ච් කරන අතරෙ බොන එක ඒ නිස්කාංසුව බිඳින සුළු දෙයක්. ඊලඟට ටීවී සීරීස්. තමුන්ගෙ ආදර ජීවිතය, පවුල් පසුබිම, වෘත්තිය වගේ දෙයක් එක්ක සමපාත වෙන නිර්මාණයක් තමයි බොහෝ අය රසවිඳින්න තෝරාගන්නෙ. මෙහෙම උදවිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මැජිකල් දේකට වඩා සත්‍ය සමාජයට වඩා ලඟ නිර්මාණයක් තමයි තෝරාගන්නෙ. ඒ වගේම ඉක්මනට ඉවර වෙන නිසාත්, ලඟ ලඟ ට්විස්ට් එන නිසාත්, තමුන්ගෙ ජීවිතේට කොච්චර ලඟින් ගියත් කට්ටිය ෆිල්ම් බලන්න තෝරාගන්නව අඩුයි.
7. අමාරුම වැඩේ
මේ තමයි අමාරුම වැඩේ. හැබැයි මේක තමයි බීලා කරන්න හොඳම වැඩේ. ඒ තමයි තමුන්ගෙ අදහස් පිට කරන එක. සමහරු ලියනව පොඩියට කෙටි කතාවක්. සමහරු ලියයි ඩයරියක්. සමහරු හිතට හිතෙන ඔක්කොම ලියයි. සමහරු අඳියි. මේ හැම එක ඇතුළෙම බිවුවම ඇහැරෙන අපේ ඇඟ ඇතුළෙ ඉන්න සතාගෙ ප්රකාශනය තියෙනවා. මේ ප්රකාශනය සමහරුන්ට පහුවදා උදේට බැලුවම විකාරයක් කියලා හිතෙන්න වගේම සමහරවිට ලැජ්ජා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි මේ වැඩේ ආතල් එක. ස්ට්‍රෙස් අඩුම බීම තමයි ඒක. හැබැයි ඒක කරන්න අමාරුයි.
Leave a Reply