මේ දවස්වල ATM අර්බුදේට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදි

ඔටෝමේටඩ් ටෙලර් මැෂින් කියන්නෙ අපේ උන්දලා කාලයක් තිස්සේම නිරන්තරයෙන් භාවිතා කරන බැංකු සේවාවක්. අපේම සල්ලි ගන්න අපිම රුපියල් පහක් කපාගෙන, බැලන්ස් එක බලන කොලේටත් තවත් රුපියල් දෙකක් දෙන අපිට තවත් හෙනහුරෙක් මේ දවස්වල කඩාපාත්වෙලා තියෙන විත්තිය ඔයාලා දන්නවා ඇති. ඒ තමයි හොරාට ටෙලර් මැෂින්වලට සවි කරන පුංචි ගැජට් එකකින් අපේ කාඩ් එක ට්‍රේස් කරලා සල්ලි අදින සිස්ටම් එක. මේක ගැන මේ වෙද්දි විදේශිකයෝ කීප දෙනෙක්ම අත්අඩංගුවටත් අරගෙන තියෙන නිසාත්, තත්ත්වෙ බැරෑරුම් නිසාත්, අමාරුවෙන් හම්බකරපු සල්ලි නිසාත්, අපි මේ සටහන ලියන්නෙම මේ විපත්තියෙන් ඔයාලගෙ සල්ලි බේරාගන්න පුළුවන් විදි ටිකක් පැහැදිලි කරන්නයි. මොකද සල්ලි ටික නැති වුනාට පස්සෙ බැංකුවට කරන්න දේකුත් නෑ. සල්ලි අරගෙන තියෙන්නෙ ඔයාගෙම පාස්වර්ඩ් එක ගහලනෙ.

 

1. ඒ තැනින්ම

දැන් ඔය බැංකුවලින් පරිබාහිර තැන්වල තියෙන ඒටීඑම් කුටි තියෙනවානෙ. ඒවට මේ ඒටීඑම් කාඩ් එකේ දත්ත හොරකං කරන ගැජට් එක සවි කරන්න හරිම ලේසියි. හැබැයි නිරන්තර අවධානයෙන් ඉන්න සිකියුරිටි මහත්තයෙක් ඉන්න බැංකු ශාඛාවක ඒ වැඩේ කරන්න තරමක් අපහසුයි. බැරි නෑ. නමුත් අපහසුයි. අන්න ඒ නිසාම හැකි තරම් තමුන් බැංකුවක තියෙන ඒටීඑම් එකකින්ම සල්ලි ගන්නට මතකයේ තියාගන්න. ඒ වගේම තමන්ගේ කාඩ් පතට අදාළ බැංකුවක ශාඛාවක්ම මේ වෙනුවෙන් භාවිතා කරන්නත් පසුබට වෙන්න එපා. බොහෝදෙනෙකු තරමක් දුර යන්න තියෙන කම්මැලිකමට වැඩිපුර මුදලක් කපාගෙන වෙනත් බැංකු ඒටීඑම් හරහා සල්ලි ගන්න පෙළඹුනත්, මේ දවස්වල වාර්තා වෙන බොහෝ ඒටීඑම් කාඩ්පත් හොරකම් එම සේවාවන් භාවිතා කළ අයගෙන් වාර්තා වුණු විත්තිය මතකයේ තියාගන්න.

 

2. පොත!

අපි බැංකු පොත පාවිච්චි නොකරන්නෙ ඇයි? පොත ලොකුවට ගෙනියන්න අපහසු නිසා, කොළ පුරවන්න වෙන නිසා, පෝලිමේ ඉන්න වෙන නිසා. හැබැයි මේ සුළු කාරණා ටික ඔබ අමාරුවෙන් හරි ඉෂ්ඨ කළොත් ඔබ මහන්සියෙන් උපයපු මුදලට නම් ලැබෙන්නෙ ලොකු ආරක්ෂාවක්. අන්න ඒ නිසාම ඒ වෙනුවෙන් පසුතැවෙන්න එපා. ලංකාවෙ බැංකු එකතු වෙලා මේ වෙනුවෙන් නුදුරේදීම ආරක්ෂිත පියවරක් ගනීවි. ඒත් හොරු ටිකත් ඒවට හරියන්න හොර වැඩ කරාවි. ඒ නිසා අපේ පරිස්සම අපි තියාගමු.

 

3. ගෙදර ලාච්චුව

කට්ටිය ගෙදර ලාච්චුවේ සල්ලි තැම්පත් නොකරන හේතු කිහිපයක් තියෙනවා. පොලී නොලැබීම තමයි පළවෙනි එක. දෙවැන්න ගෙදරට හොරු පැන්නොත් සිද්ධ වෙන්න පුළුවන් හානිය. හැබැයි මේ හානි දෙකටම වඩා පහසුවෙන් ලොකු අවුලකට මුහුණ දෙන්නට ඒටීඑම් එකේ දත්තවලට විද්දොත් සිදුවේවි. අන්න ඒ නිසා අඩුම තරමේ සති දෙකකට වත් ගෙදර අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් තමුන්ගේ ගෙදර ආරක්ෂිත තැනක තියාගන්න. අවශ්‍යම, හදිස්සිම මොහොතක නිස්කාරණේ අමාරුවේ වැටෙනවාට වඩා ඒක වඩා යෝග්‍යයි.

 

4. පඩිය වෙන් කරන්න

සියළු ගනුදෙනු එකම බැංකු ගිණුමකින් සිද්ධ කරන ක්‍රමවේදයට දැන්වත් තිත තියන්න. මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඒකට හොඳ හේතුවක් කරගන්න. ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන බැංකු ගිණුම, අන්තර්ජාල වෙළඳ භාවිතාවන්ට භාවිතා කරන බැංකු ගිණුම වගේම, ඔබේ වැටුප ලැබෙන බැංකු ගිණුම වෙන් කොට තබන්න. වැටුප බැර වෙන්නට වෙනමම බැංකු ගිණුමක් අරඹන්න. ඒ වෙනුවෙන් ඒටීඑම් කාඩ්පතක් වෙන් කරන්නවත් එපා. සෑම මසකම පඩි දිනට පසුව සුළු වේලාවක් වැයකර එයින් මුදල් ගෙන ඒටීඑම් කාඩ්පතට යම් මුදලක් දමා, අන් සියළු වියදම් පියවා ගැනීමට වෙන් කරන්න. එවිට ඔබට හදිස්සියකට ඉතිරි කරන මුදලත් ඒ බැංකුවේම ඉතිරි කළ හැකියි.

 

5. චෙක් කරන්න

මේ දවස්වල රූපවාහිනියේ පෙන්වන ප්‍රවෘත්ති නාලිකා සියල්ල පාහේ මේ ගැන සමාජය දැනුම්වත් කර තිබෙනවා. ඒ තමයි මේ හොරකම සිද්ධ වෙන්නෙ කොහොමද කියන එක. මුලින්ම කාඩ් එක ඇතුළු කරන තැනට පොඩි ගැජට් එකක් ක්ලිප් එකක් වගේ සවිවෙනවා. ඒකෙන් තමයි ඔයාලගෙ කාඩ් එකේ දත්ත හොරකං කරගෙන ඒගොලොන්ගෙ ව්‍යාජ කාඩ්පතට ඒ ටික යොදාගන්න පුළුවන් වෙන්නෙ. අනිත් කොටස තමයි ඔබ අංක ඇතුළු කරන කී පෑඩ් එකට උඩින් සෙට්වෙන පොඩි ප්ලේට් එක. මේ ප්ලේට් එකේ පුංචි හිලක් තියෙනවා. ඒ හිලෙන් ඔයා ටයිප් කරන ඉලක්කං ටික රෙකෝඩ් කරනවා. ඊටපස්සෙ අර ඔයාගෙ කාඩ් එක විදියටම හදන ව්‍යාජ කාඩ්පතට ඒ දත්ත ටික දැම්මාම තමයි වැඩේ පත්තු වෙන්නෙ. අන්න ඒ නිසා නිරන්තරයෙන් කාඩ් එක යොමු කරන්න කලින් ඒ ගැන සැළකිලිමත් වෙන්න.

 

6. ඔන් ඇලර්ට්

දැන් මෙහෙමනෙ. අද ඔයා මේක කියවලා හොරකමෙන් ආරක්ෂා වෙන්න හිතුවත් මීට කලින් ඔයා නොදැනුවත්ව ඒටීඑම් එක දාලා කරපු කෙලියක් නිසා ඔයා දැනටමත් වික්ටිම් කෙනෙක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ නිසාම ඇලර්ට් එකේ ඉන්න. ඉක්මනටම බැංකුවට ගිහින් එස්එම්එස් ඇලර්ට් එක ඇක්ටිවේට් කරන්න. ඒ වගේම හැකිතාක් ඔන්ලයින් බෑංකිංවලට වගේම මුරපදයකින් පාලනය වන මූල්‍ය ගනුදෙනු සේවාවන්ට හුරුවෙන්න. ඒක ඔබේ කාලය ඉතිරි කරනවා වගේම වැඩකටයුතුත් පහසු කරාවි.

 

7. මාසෙකට පාරක්

අනිවාර්යෙන්ම මාසයකට පාරක්වත් ඒටීඑම් කාඩ් එකේ පාස්වර්ඩ් එක මාරු කරන්න. මොකද ඔය මොන විදියට අඹරලා කිවුවත් මේ මොහොතේ ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ජීවත් වෙන්නට පහසු වුනත්, ඒටීඑම් එකකට පාවිච්චි කරන ඩෙබිට් කාඩ් එකක් නැතුව ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසාම අන්න ඒ කාඩ් එකේ සල්ලි රැකගන්න මාසෙකට පාරක්වත් පාස්වර්ඩ් එක මාරු කරන්න.

Cover Image Source – adaderana.lk/ newsfirst.lk / groundviews.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *