විශේෂ අවස්ථාවකට ලේසියෙන්ම හදාගත හැකි ස්පෙෂල් රයිස් වර්ග 3ක්

rice recipes

ලංකාවෙ අපිට ඉතින් බත් කිව්වොත් තුන් වේලම හරි කනවනෙ. අපේ ප්‍රධාන ආහාරයත් බත්ම උන එකේ විශේෂ වෙලාවල් වලත් බත් නම් වරදින්නෙ නෑ. හැබැයි විශේෂ අවස්ථා වලට නිකම්ම කහබත් , එළවළු බත් වගේ දෙයක් වෙනුවට අඩු මහන්සියකින් හදාගන්න පුළුවන් විශේෂ බත් වර්ග කීපයක් ගැන කියන්න අපි හිතුව. මේ වගේ බතකට අඩු වැඩිය ගොඩක් හදන්න ඕනත් නෑ. බලමු හදන හැටි.

 

1. කශ්මීර් චිකන් රයිස්

rice recipes

Source – youtube.com

නමින්ම කොහේ බතක්ද කියල පේනවනෙ. මේ බත් එකට රායිතා එකක්, මිංචි සම්බෝලයක්, එක්ක අන්නාසි පෙත්තක් තිබ්බත් ඇති, නැත්නම් මැලේ පිකල් එකක්, කජු කරියක් එක්ක බටු පැහියකුත් ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බාස්මතී හෝ කීරි සම්බා 600g
  2. කටු රහිත චිකන් 500g
  3. කපාගත් ළූණු ගෙඩි 2
  4. තලාගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 1
  5. සූදුරු මේස හැඳි 2
  6. කහ තේ හැඳි 1/2
  7. කරදමුංගු 6
  8. කුරුඳු අඟල් 3ක කෑල්ලක්
  9. මිංචි කොළ කප් එකක්
  10. ගරම් මසාලා තේ හැඳි 2
  11. කපාගත් තක්කලි ගෙඩි 3
  12. රස අනුව ලුණු, ගම්මිරිස්
  13. වියලි මිදි
  14. අවශ්‍ය නම් බැදගත් කජු

 

  • සහල් හොඳින් සෝදා වතුර බේරා පසෙකින් තබාගන්න. තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට ළූණු, ඉඟුරු සුදුළූණු සහ සූදුරු එක් කර තෙම්පරාදු කරගන්න.
  • මේකටම සෝදා කපාගත් චිකන් ටික එකතු කරගෙන චිකන් ටික බැදෙනකම් පෙරලමින් තෙම්පරාදු කරගන්න. මේ බඳුනටම කහ, කරදමුංගු, කුරුඳු පොතු, මිංචි සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන උතුරන වතුර මිලිලීටර් 450ක් එකතු කරගන්න. ගින්දර අඩු කර විනාඩි 25ක් පමණ පිසගන්න.
  • විනාඩි 25කට 30කට පසු පියන හැර එයට තක්කලි, ලුණු ගම්මිරිස් සහ සෝදා දිය බේරාගත් හාල් එක් කරගන්න. හොඳින් මිශ්‍ර කරගෙන භාජනය දෙපැත්තට සොලවා මිශ්‍රණය සමබර කරගන්න. බත ඉදෙන්නට අවශ්‍ය පමණට වතුර එක් කර පියනකින් වසා පිසගන්න. පිසුණු බතට කජු සහ වියලි මිදි එක් කර, මිශ්‍ර කර වසා තබන්න.

 

2. ශ්‍රි ලන්කන් සේවරි රයිස්

rice recipes

Source – srilankan.kitchen

මේක අපේම තාලෙට අපේ රසට හදන බත් එකක්. චිකන් කරියක්, බටු මෝජුවක්, සලාදයක් එක්ක අල කරියක් මේ බතට හොඳටම ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g
  2. කරදමුංගු කරල් 6
  3. කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්
  4. බේලීෆ් එකක් (තියෙනවා නම්)
  5. බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර
  6. ලුණු
  7. කහ
  8. චොප් කරගත් ළූණු කප් 1/4
  9. රම්පෙ
  10. සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල
  11. ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා
  12. බැදගත් කජු හෝ රට කජු
  13. තම්බාගත් ග්‍රීන් පීස්
  14. බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න.

 

3. අප්සයිඩ් ඩවුන් මක්ලුබා රයිස්

rice recipes

Source – imgur.com

මේක අරාබි බතක්. මස්, එළවළු හැමදේම අඩංගු නිසා සලාදයක් හරි රායිතා එක්ක විතරකුත් කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බාස්මතී හෝ කීරි සම්බා හාල් 500g
  2. කපාගත් චිකන් 500g
  3. තලාගත් සුදු ළූණු බික් 3
  4. චොප් කරගත්ත ළූණු ගෙඩි 2
  5. පෙති කපාගත් වම්බටු ගෙඩි 2
  6. පෙති කපාගත් තක්කාලි ගෙඩි 2
  7. පෙති කපාගත් අල ගෙඩි 2
  8. මීකිරි කප් 1/2
  9. කුරුඳු කුඩු තේ හැඳි 1/4
  10. ගරම් මසාලා තේ හැඳි 1 1/2
  11. මිරිස් කුඩු තේ හැඳි 1/4
  12. කහ ටිකක්
  13. රස අනුව ලුණු

 

  • චිකන් වලට මීකිරි, ලුණු, කහ, මිරිස්, සුදු ළූණු, ළූණු, කුරුඳු, කහ සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන චිකන් වැහෙන ගාණට වතුර එකතු කරගෙන විනාඩි 20ක් මදගින්නේ පිසගන්න.
  • ඒ අතරතුර වම්බටු, අල සහ තක්කාලි ගැඹුරු තෙලේ වෙන වෙනම බැදගෙන තෙල් බේරෙන්නට තියාගන්න.
  • චිකන් කෑලි ටික පමණක් කරියෙන් පිටතට ගෙන බත පිස ගැනීමට සුදුසු භාජනයක අඩියට අතුරා ගන්න. ඒකට උඩින් බැදගත් වම්බටු, අල සහ තක්කාලි පෙති අතුරාගන්න. එයටත් උඩින් සෝදා දිය බේරාගත් හාල් තට්ටුවක් අතුරා, ඉතිරි වූ චිකන් කරිය එයට එකතු කරගන්න. බත පිස ගැනීමට අවශ්‍ය තරම් ජලය මිශ්‍ර කරගන්න.
  • පියනකින් වසා බත ඉදෙන තුරු විනාඩි 30ක් පමණ පිසගන්න. පිසුණ පසු බන්දේසියක් මතට බත හරවා ගෙන පිලිගන්වන්න.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *