ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට තරුණ නායකත්වයක් වුවමනා මෙන්න මේ නිසයි!

සාමාන්‍යයෙන් ඔය පොලිටික්ස් ගත්තහම ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙම වුනත් දකින්න පුලුවන් දෙයක් තමයි ඉහළ තලයේ පොලිටික්ස් කරන්නේ හැට පැන්න අංකල්ලා ඇන්ටිලා කියන එක. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. බිම් මට්ටමේ ඉඳලා දේශපාලනය කරගෙන කරගෙන ඇවිල්ලා අන්තිමට ජනාධිපති අපේක්ෂක කම වගේ එකක් ලැබෙන කොට ඉතින් වයස හැට පැනලා. ඒත් දැන් දැන් මේ තත්වය වෙනස් වේගෙන යනවා කියලා අපිට ලෝකේ දේශපාලන ප්‍රවණතාවයන් දකින කොට කියන්න පුලුවන්. විශේෂයෙන්ම වෙන රටවල ජනාධිපති, අගමැති වගේ ලොකු පුටුවලට දැන් දැන් පත්වෙන්නේ තරුණ නායකයින්. හැබැයි මේ අපි තරුණයි කියන්නේ වයස විස්සේ, තිහේ අය නෙවෙයි, හරිද. දේශපාලනයේදී තරුණයි කියන්නේ ඊට ටිකක් එහාට ගිහින්. හරි, ආයෙමත් කථාවට ආවොත්, මේ තරුණ නායකයින් දේශපාලනයේ වගකිව යුතු ඉහළ තැන්වලට එන එකේ හොඳ පැති සෑහෙන්න තියෙනවා. දැන් ලංකාවේ ජනාධිපතිවරණේටත් ඒ විදියේ පරිණත ඒත් තරුණ නායකයෝ ඉදිරිපත් වෙලා තියෙන එකේ, මොනවද මේ හොඳ පැති කියන එක විමසලා බලන එක වටිනවා!

 

1. තරුණ පරිණත බව

සමහරු රටකට තරුණ නායකත්වයක් අවශ්‍ය නැහැයි කියන්නේ, තරුණයෝ පරිණත නැහැයි කියන පදනමේ ඉඳගෙන. ඒ අය කියන්නේ වයස්ගත වෙන්න වෙන්න අත්දැකීම් ලැබෙන නිසා, වයස්ගත නායකයෝ රටක් පාලනය කරන්න ගැලපෙනවා කියලා. හැබැයි අපි ඒකට විරුද්ධයි. පරිණත බව, අත්දැකීම් වලින් පූර්ණ බව ලැබෙන්න වයස යන්න ඕන නැහැ. සිද්ධ වෙන්න ඕන තමන් ජීවත් වුණු කාලයේදී ක්‍රියාකාරී වීම, අවට ලෝකයත් එක්ක කටයුතු කිරීම තමයි. අන්න එතකොට තමයි අත්දැකීම් ලැබෙන්නේ. අන්න එතකොට තමයි පරිණත වෙන්නේ. වෙන විදියකට කිවුවොත් තරුණ නායකයෙක්ට වුනත් හොඳින් වැඩ කරලා තියෙනවා නම්, තරුණ කාලයේදීම පරිණත වෙන්න පුලුවන්.

 

2. නවීන අදහස්

නවීන අදහස් කියන්නේ අද කාලේ රටකට අවශ්‍යම දෙයක්. අද ලෝකයේ තවදුරටත් හැමදේම පැරණි ක්‍රම වලටම සිද්ධ වෙන්නෙ නෑ. අද ලෝකයේ හැම දෙයක්ම පහසු කරගන්න නවීන ක්‍රම භාවිතා වෙනවා වගේම, ප්‍රයෝජනයක් තියෙන පැරණි ක්‍රමත් නවීකරණය කරලා භාවිතයට අරගෙන තියෙනවා. ඉතින් මේ නවීනත්වයත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕන කියන එක පිළිගන්න සිද්ධ වෙන දෙයක්. හැබැයි රටකට නවීන වෙන්න නම්, නායකත්වයට නවීන අදහස් තියෙන්න ඕන. විශේෂයෙන්ම හැමදාමත් දෙදාස් පන්සීයේ ඉතිහාසය ගැනම කිය කියා අතීතකාමයේ ජීවත් වෙන මහළු නායකයෝ එක්ක නම් ඕක කරන්න බෑ. ඒත් තරුණ නායකත්වයක් ස්වභාවයෙන්ම නවීන අදහස් වලින් යුතුයි. නවීනත්වයට කැමතියි. ආන්න ඒක හොඳ දෙයක්. විශේෂයෙන්ම තරුණ අදහස් සාම්ප්‍රදායික පැත්තට වඩා නවීන පැත්තට බර වීම මෙතනදී වැදගත් කාරණයක්.

 

3. තාක්ෂණේ ඕකේ!

ඉස්සර කාලේ තිබුණු තාක්ෂණික දියුණුව සහ අද කාලේ තියෙන තාක්ෂණික දියුණුව ඇත්තටම අහසට පොළව වගේ. එතකොට අද තියෙන මේ තාක්ෂණික දියුණුවත් ශීඝ්‍රයෙන් තවතවත් දියුණු වෙනවා මිසක් පස්සට යන්නෙ නෑ. ඉතින් අපි උඩින් කියපු නවීන අදහස් වගේම, තාක්ෂණික දියුණුවත් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය දෙයක්. හැබැයි ඉතින් ඒකට මේ නව තාක්ෂණයන් තේරුම් ගන්න පුලුවන්, නව තාක්ෂණයන්ට බය නැති නායකයෝ ඕන. විශේෂයෙන්ම ඔය පරණ පරම්පරාවේ තියෙන ප්‍රශ්නයක් තමයි, හැම වෙලේම තාක්ෂණයේ දොස් දකින එක. කොයි මොහොතකදී වත් තාක්ෂණය ධනාත්මකව යොදාගන්න පුලුවන් කොහොමද කියන එක නොහිතන එක. හැබැයි තරුණ නායකයෝ ගොඩක් වෙලාවට නවීන තාක්ෂණික දේවල් වලට බය නැහැ. ඒ විතරක් නෙවෙයි, නව තාක්ෂණය යොදාගන්න ඕන කොහොමද කියන එක ගැනත් දැනුවත්. ආන්න ඒ නිසා රටකට තරුණ නායකත්වයක් තියෙන එක වැදගත්.

 

4. තරුණ ජවය එක් රැස් කිරීම

රටක තරුණ ජවය කියන්නේ ඇත්තටම සම්පතක්. ඒත් අවාසනාවකට ගොඩක් සංවර්ධනය වෙමින් පවතින රටවල සිද්ධ වෙන්නේ මේ තරුණ සම්පත හරි හැටි ප්‍රයෝජනයට නොගන්න එක. ඒ වගේම තරුණ පිරිස් වුනත්, වයස්ගත වුණු නායකත්වයන් වටා එක් රැස් වෙන්න ඒ හැටි උනන්දුවක් නෑ. මොකද මොනවා වුනත් එතන අර පරම්පරා වෙනස තියෙන නිසා. මේ පරම්පරා දෙකට එකට පෑහෙන්න අමාරු නිසා. ඒත් තරුණ නායකත්වයක් එක්ක සොබාවිකවම සිද්ධ වෙන දෙයක් තමයි, රටේ තරුණ පරම්පරාව නව ජවයකින් ඒ නායකත්වය වටා එක් රැස් වෙන එක. ඉතින් මේ තරුණ සම්පතෙන් වඩාත් ප්‍රයෝජන ගන්න තරුණ නායකයෙක්ට පුලුවන් කම ලැබෙනවා. ආන්න ඒක රටකට ඉතාම වැදගත්.

 

5. කොහොම කළත් වයසයිනේ!

අපි දකිනවා වයසට ගියත් කොල්ලෝ වගේ ඉන්න නායකයෝ. හැබැයි ඉතින් අපිට ස්වභාවධර්මයට පිටුපාන්න බැහැනේ. ගොඩක් වෙලාවට කොයි තරම් ශාරීරික සුවතාවය ගැන හිතලා ජීවත් වුනත්, අපිට මහළු වයස එනකොට එක එක ආබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෙඩ දුක් කොහොම කළත් එනවා. ශරීරය දුර්වල වෙන්න පටන් ගන්නවා. මේක ස්වභාවික දෙයක්. හැබැයි රටක් පාලනය කරනකොට මේ දේවලින් සිද්ධ වෙන්නේ තමන්ගේ සමස්ත කාර්‍යක්ෂමතාවය පහත වැටෙන එක තමයි. අපි දැකලා තියෙනවනේ සමහර අපේ මහළු නායකයෝ ඉන්නවා, වගකිව යුතු තානාන්තර වල හිටියත් හරියට කතා කරගන්නවත් පණක් නැහැ. ඉතින් ඇත්තටම එහෙම නායකයෝ විශ්‍රාම ගන්නයි ඕන කරන්නේ. ඒත් තරුණ නායකයෙක්ට ඔය වගේ ප්‍රශ්න නෑ. තරුණ ජවය වගේම ලෙඩ දුක් රෝගාබාධ වලින් පසුබට නොවී වැඩ කරන්න තරුණ නායකයින්ට හැකියාව තියෙනවා.

 

6. පවුල් පාලනේ

තරුණ නායකයෝ කියන්නේ දරුමල්ලෝ හදලා, ඒ අය උස්මහත් කරන්න, ඒ අයට අනාගතයක් හදන්න වෙහෙසෙමින් ඉන්න වයසක අය නෙවෙයි. ඊට වඩා තරුණ නායකයෝ ගොඩක් දුරට තමන්ගේ ජීවිතේ විඳිමින් ඉන්න වයසේ ඉන්න අය. ආන්න ඒ නිසාම ගොඩක් වෙලාවට තරුණ නායකයන්ට ලැබුණු ජනවරමෙන් තමන්ගේ දරුවන්ට සහ හත්මුතු පරම්පරාවකට හම්බු කරන්න වගේ අවශ්‍යතා නැහැ. තමන්ට වුනත් හම්බුකරගන්න, ගසා කන්න, දූෂණයට අනුබල දෙන්න වගේ අවශ්‍යතා නැති තරම්. අන්න ඒ නිසා රටකට තරුණ පාලනයක් ලැබෙනවා නම්, ඔය දූෂණය සහ බලය අවභාවිතාව වගේ දේවල් අඩු කරගන්නත් පුලුවන් වේවි.

 

7. රට වෙනුවෙන් තරුණ අදහස්

සාමාන්‍යයෙන් ඔය කීමටත් කියන්නේ අපි තරුණ කාලේ මිනිස්සුන්ට රටක් වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් දේවල් කරන්න ලොකු ඇම්මක් තියෙනවා කියලා. ඒක ඇත්ත. මිනිස්සු වයස්ගත වෙනකොට ඔය රට වෙනුවෙන් වැඩ කිරීම වගේ මානව හිතවාදී අදහස් යටපත් වෙලා, එක්කෝ පවුල නඩත්තු කිරීම නැතිනම් ඔහේ ජීවත් වීම වගේ තැනකට වැටෙනවා. හැබැයි තරුණ නායකත්වයක් ඉස්සරහට එන්නේම ඔය රට හදන්න, මිනිස්සු වෙනුවෙන් දේවල් කරන්න තියෙන ඇම්මත් එක්ක. ආන්න ඒ උනන්දුව ඉතාම වැදගත් රටක් සංවර්ධනය කරන්න, රටක් නඟා සිටුවන්න නම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *