බිත්තර එකතු කරලා හදන්න පුළුවන් කරි වර්ග 7​කට රෙසිපි

අපි සාමාන්‍යයෙන් උයන කරි එකකට බිත්තර දාලා ඒකෙ රස වැඩි කරගන්න පුළුවන්. හැබැයි උයන හැම කරි එකකටම බිත්තර දාන්නත් බෑ. අද අපි ගෙනාවෙ එහෙම බිත්තර එකතු කරලා රස වැඩි කරගන්න පුළුවන් රෙසිපි එකතුවක්. කියවලා බලලා හදන්න ඔන්න. 

 

1. මාළු මිරිස් බිත්තර සමග තෙල් දැමීම

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මිරිස් කරල් 4 ක් පමණ
  2. කහ කුඩු ස්වල්පයක් 
  3. පොල් කිරි ස්වල්පයක් 
  4. ලුණු කුඩු ස්වල්පයක්
  5. උම්බලකඩ ස්වල්පයක් 
  6. කෑලි මිරිස් ස්වල්පයක් 
  7. රතුළූණු ගෙඩි 3 ක්
  8. සුදුළූණු බික් 2
  9. රම්පා හා කරපිංචා 
  10. කුරුඳු පොතු කැබැල්ලක් 
  11. බිත්තර 2
  12. තෙල් ස්වල්පයක් 

 

  • මාළු මිරිස් හොඳින් සෝදල ඒවා මැදින් පලා ගන්න. භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපා ගත් සුදුළූණු, ළූණු, රම්පා, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. 
  • මේක හොඳින් තෙම්පරාදු වුණාට පස්සෙ කෑලි මිරිස්, කහ හා කුරුඳු පොතු ටික දාන්න. ඊළඟට මාළු මිරිස් කරල් එක් කර එහා මෙහා කරමින් ටිකක් බැදගන්න. 
  • පසුව පොල් කිරි ටිකක් එකතු කරන්න. අවශ්‍ය තරම් ලුණු කුඩු හා උම්බලකඩ එක් කර පියනකින් වසා එය පිසගන්න. 
  • මාළු මිරිස් මදක් තැම්බී කරිය උතුරනකොට පියන ඇරලා උයා ගන්න. 
  • පොල් කිරි හිඳීගෙන එද්දි ඒකට බිත්තර දාන්න. විනාඩියක් විතර හොඳට කලවම් කරලා හොඳින් බැදුණු පසු ලිපෙන් බාගන්න. 

 

2. බිම්මල් සමග බිත්තර 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හතු පැකට් 1
  2. කහකුඩු ස්වල්පයක් 
  3. සුදුළූණු බික් 2 -3
  4. ළූණු ගෙඩි 2 
  5. අමුමිරිස් කරල් 3
  6. කරපිංචා 
  7. ලුණු ස්වල්පයක් 
  8. තක්කාලි ගෙඩි 1
  9. බිත්තර 2
  10. ඔයිල් 

 

  • බිම්මල් තීරු කඩා ඒකට කහකුඩු, ලුණු කුඩු ටිකක් දලා නටන උණු වතුර දමා ටික වේලාවක් තියලා වතුර මිරිකලා ගන්න. 
  • තාච්චියකට තෙල් ටිකක් දාලා එය රත් වුණාම බිම්මල් ටික දලා රන්වන් පැහැවන තුරු හැන්දෙන් එහා මෙහා කරමින් තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට මේකටම තලාගත් සුදුළූණු, ළූණු, අමුමිරිස්, කරපිංචා හා ලුණු කුඩු, තක්කාලි හා බිත්තර දාලා හොඳින් කූරු ගාන්න. විනාඩි 2ක් විතර තියලා ලිපෙන් බාගන්න. 

 

3. බෝංචි සමග බිත්තර 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බෝංචි කරල් 8-10
  2. බිත්තර 2
  3. ලුණු කුඩු ස්වල්පයක් 
  4. ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
  5. දෙහි යුෂ 
  6. තෙල් ස්වල්පයක්
  7. අමුමිරිස් කරල් 3ක්

 

  • භාජනයකට තෙල් ටිකක් දාලා කපාගත් බෝංචි, දෙහි යුෂ, කපාගත් අමුමිරිස් ටිකක් දාලා මද ගින්නෙන් පිසගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • විනාඩි 5කින් විතර බිත්තර කඩලා එක් කරගෙන කලවම් කරන්න. බිත්තර හොඳින් පිසුණට පස්සෙ ලිපෙන් බාගන්න. 

 

4. ගෝවා මල් සමග බිත්තර 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගෝවා මල් කෝප්ප 2
  2. බිත්තර 2
  3. කහකුඩු ස්වල්පයක් 
  4. තුනපහ කුඩු ස්වල්පයක් 
  5. මිරිස් කුඩු 
  6. කුරුඳු පොතු කැබැල්ලක් 
  7. තෙල් ස්වල්පයක් 
  8. ළූණු ගෙඩි 2
  9. සුදුළූණු බික් 2 
  10. අමුමිරිස් කරල් 3
  11. තක්කාලි ගෙඩි 1 
  12. කරපිංචා 
  13. ලුණු හා ගම්මිරිස්කුඩු 
  14. මිටිකිරි කෝප්ප 1 

 

  • ගෝවාමල් අරන් ඒව හොඳින් සෝදලා පොඩි කෑලි වලට කඩලා ලුණු වතුරෙන් සෝදා හරින්න. ඊළඟට ඒකට කහ කුඩු, තුනපහ කුඩු, මිරිස් කුඩු, කුරුඳු පොතු ටික දාලා අත ගාලා එය අඩු ගින්නෙන් පිසගන්න. 
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා කපාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, තක්කාලි, කරපිංචා, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු දාන්න. 
  • ඒ ටික තෙම්පරාදු වෙනකොට කලින් පිස ගත් ගෝවා මල් දාලා පොල් කිරි ටික එක් කරන්න. අවසානයේ බිත්තර එක් කරන්න. බිත්තර දාලා විනාඩියක් වගේ හැඳිගාන්න. 
  • කිරි උතුරනකොට ලිපෙන් බාගන්න. කැමතිනම් කිරි ටික හිඳෙන්න අරින්න. 

 

5. බිත්තර සමග කංකුං තෙලට 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කංකුං මිටි 1
  2. බිත්තර 2 
  3. කරාබු නැටි 1
  4. රම්පේ හා කරපිංචා
  5. වියළි මිරිස් කරල් 2 
  6. සුදුළූණු බික් 3
  7. ලියාගත් ළූණු ගෙඩි 1
  8. කෑලි මිරිස් තේ හැඳි 1
  9. කහ කුඩු තේ හැඳි 1/4
  10. ලුණු ස්වල්පයක් 
  11. තෙල් ස්වල්පයක් 

 

  • කංකුං සුද්ද කරලා සෝදගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියන්න. මේකට කරාබු නැටි, කරපිංචා, රම්පා, කපා ගත් වියළි මිරිස්, සුදුළූණු දාලා හොඳට බැදෙන්න අරින්න. 
  • ඒකට ළූණු ටික දාන්න. හොඳින් තෙම්පරාදු වෙන්න දෙන්න. ඊළඟට කෑලි මිරිස් හා කහ කුඩු දාලා නැවත හොඳින් කලවම් කරන්න. 
  • දැන් මේකට කංකුං ටික දාලා රස අනුව ලුණු දාලා හොඳින් කලවම් කරන්න. කංකුං ටික මැලවේගෙන එනකොටම බිත්තර දාලා හොඳින් පිසුනම ලිපෙන් බාගන්න. 

 

6. කඩල සමග බිත්තර 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩල 150g
  2. බිත්තර 1
  3. බේකින් පවුඩර් තේ හැඳි 1
  4. සිහින්ව කපා ගත් කැරට් අල 1 
  5. සිහින්ව කපා ගත් ළූණු ගෙඩි 1
  6. සිහින්ව කපා ගත් ලීක්ස් අල 1
  7. ලුණු කුඩු ස්වල්පයක් 
  8. කෑලි මිරිස් ස්වල්පයක් 
  9. සිහින්ව කපා ගත් පොල් කෑලි 
  10. තෙල් ස්වල්පයක් 

 

  • කඩල පැයක් පෙඟෙන්න තියන්න. ඊළඟට කඩල ටික බේකින් පවුඩර් දාලා පැයක් විතර තම්බා ගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියන්න. එයටම සිහින්ව කපා ගත් ළූණු, කැරට්, ලීක්ස් එක් කරන්න. 
  • මේකටම බිත්තරය ද එකතු කරන්න. ඒකට ලුණු කුඩු හා කෑලි මිරිස් එක් කර හොඳින් තෙම්පරාදු කරගන්න. සිහින්ව කපා ගත් පොල් කෑලි හා කඩල ටික දාලා තව ටිකක් කලවම් කරගන්න. 

 

7. කතුරුමුරුංගා සමග බිත්තර 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කතුරුමුරුංගා මිටියක්
  2. බිත්තර 2 
  3. ළූණු ගෙඩි 2 
  4. බිත්තර 2 
  5. අමුමිරිස් කරල් 3
  6. ලුණු කුඩු ස්වල්පයක් 
  7. කහ කුඩු 
  8. කෑලි මිරිස් 
  9. තෙල් ස්වල්පයක් 

 

  • කතුරුමුරුංගා කොළ ටික සූරා හොඳින් සෝදා පිරිසිදු කර වතුර බේරෙන්න තියන්න. 
  • ළූණු හා අමුමිරිස් සිහින්ව කපා ගන්න. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. 
  • දැන් මේකට කපාගත් ළූණු හා අමුමිරිස් දාන්න. ලුණු, කහ කුඩු හා කෑලි මිරිස් එක් කරන්න. ඒවා හොඳින් තෙම්පරාදු වෙන්න තියන්න. ඊළඟට බිත්තර එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. 
  • අවසානයේ දී කතුරුමුරුංගා කොළ ටික ඒකට එක් කරන්න. රස අනුව ලුණු දාලා කලවම් කරලා කොළ ටික මැලවේගෙන එනකොට ලිපෙන් බාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *