චණ්ඩියෙක් විදියට පෙනී ඉන්න ඕනෙද? එහෙමනම් අද ඉඳලම වැඩ පටන් ගමු!

අපි ගොඩක් දෙනෙක් කැමතියි අපේ පාඩුවේ සාමකාමී විදියට ජීවත් වෙන්න. අපේ වැඩක් බලාගෙන, අපේ කථාවක් කරගෙන, අපේ දෙයක් උපයගෙන ජීවත් වෙන්න. හැබැයි ඉතින් මේ සමාජේ එක එක විදියේ මිනිස්සු ඉන්නවනේ. අපිත් මේ සමාජෙනේ ජීවත් වෙන්නේ. ආන්න ඒ නිසා ඒ විදියට ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කියමු අල්ලපු වැටේ ඉන්න මනුස්සයා අපිට හැමවෙලාවකම අරියාදුකම් කරනවා කියලා. කිසිම හේතුවක් නැතුව අපිට කරදර වෙන විදියේ දේවල් කරනවා, ඒවා ගැන අහන්න ගියොත් චණ්ඩි පාට් දානවා කියලා හිතමු. එහෙම නැතිනම් අපි කියමු හැමදාම යන එන පාරේ ගැන්සි බැහැලා ඉන්න අලුත් චණ්ඩි අරියාදු පාට් දානවා කියලා. දැන් ඔය විදියේ වෙලාවකට කෙනෙක්ට තෝරගන්න ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එක්කෝ නිසි බලධාරීන්ට දැනුම් දීලා, නීතියේ විදියට කටයුතු කරන්න ඕන. එහෙමත් නැතිනම් අපිත් චණ්ඩියෙක් වෙන්න ඕන. ඇත්තටම අපි නීතිගරුක පුරවැසියෝ විදියට රෙකමදාරු කරන්නේ පළමුවෙනි ක්‍රමය. ඒත් සමහර වෙලාවට දෙවෙනි ක්‍රමේට යන්න වෙනවා කියලත් අපිට තේරෙනවා. මේ කියන්න යන්නේ ආන්න ඒ දෙවෙනි ක්‍රමේදී චණ්ඩියෙක් විදියට පෙනී ඉන්නේ කොහොමද කියන එක ගැන පොඩි උපදෙස් මාලාවක්!

 

1. චණ්ඩියෙක් වගේ ඇඟ!

සාමාන්‍යයෙන් අපි චණ්ඩියෙක් කියලා කියනකොටම අපිට ඔලුවට එන්නේ හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන ඩයල් එකක්වනේ. අන්න ඒ නිසා පොඩ්ඩක් ඇඟ පත සරුවට තියෙන එක චණ්ඩියෙක් වගේ පෙනී ඉන්න වටිනවා. හැබැයි මේ කියන්නේ කඳ බඩ මහත නෙවෙයි. හොඳට මස්පිඬු ඇවිත් තියෙන ශක්තිමත් ශරීරයක්. එදිනෙදා ඇඟ මහන්සි කරලා වැඩ කරන හාදයෙක්ට ඕක ලොකු ගැටළුවක් නෙවෙයි. හැබැයි එහෙම නැත්නම් අදම හරි ජිම් එකකට යන්න පටන් ගන්න වෙනවා. කායවර්ධන සූරයෙක් වගේ වෙන්න ඕන නෑ. අත් වල කට්ස් ආපු, හොඳ ෆිට් ඇඟක් හදාගත්තා නම් ඇති.

 

2. ෂර්ට් එකේ අත් හිරට

සාමාන්‍යයෙන් වැඩි දෙනෙක්  ෂර්ට් එකක් අඳිනකොට අත් ලොකුවට තමයි ගන්නේ. අත් දිගට ගත්තත් වැලමිට ගාවට එනකල් හරි ඊට පහළට හරි තමයි අත් නවන්නේ. සමහරු නම් අත් කොට ෂර්ට් එකක් වුනත් අඳින්නේ වැලමිටෙනුත් පහළට එන තරම් ලොකුවට. ආන්න එතකොට කිසි චණ්ඩි ලුක් එකක් නෑ. ඒ නිසා අත් කොට ෂර්ට් එකක් ගන්නවා නම වැලමිටෙන් උඩට අත් තියෙන, අත් ටිකක් ෆිට් වුණු ෂර්ට් එකක් ගන්න ඕන. අත් දිග ෂර්ට් එකක් නම් වැලමිටටත් උඩට එන විදියට අත් නවන්න. ටී ෂර්ට් එකක් වුනත් අත් වලට හිර වෙන එකක් ගන්න. දැන් ජිම් එහෙමත් යන නිසා එතකොට අතේ කට්ස් වලට ෂර්ට් එකේ අත් හොඳට හිර වෙලා පේනවා. ජිම් යන්න පටන් ගත්තු ගමන් වුනත් ඒ විදියට ඇඳුම් ගත්තහම අත් වල නැති කට්ස් මතුවෙලා පේනවා.

 

3. ඇස්සටයි අස්සටයි හිනා වෙන්න යන්න එපා

සාමාන්‍යයෙන් අපි හිනාවක් මූණේ නැති එවුන්ට කැමති නැහැනේ. උදේට දැක්කහම කැඳත් නෑ කියලනේ අපි එහෙම හාදයොන්ට කියන්නේ. ඒ නිසා අමු බුම්මට්ටෝ වගේ ඉන්න ඕන නෑ. හැබැයි ඉතින් අර සමහරු ඉන්නේ පාරේ බල්ලෙක් දැක්කත් ඔලුව පාත් කරලා හිනා වෙන විදියේ. ආන්න එහෙම හාදයෙක් වෙන්න නම් එපා. මොකද ඒකෙන් චණ්ඩි ගතියක් කෙසේ වෙතත් සෑහෙන නෝංජල් ගතියක් තමයි එන්නේ. ඒ නිසා බැරෑරුම් පෙනුමට ඉන්න. හිනා විය යුතු කෙනෙක් මුණගැහුනම අව්‍යාජව හිනා වෙන්න. හැබැයි ඔලුව පහත් කරලා හිනා වෙන්න හදන්න එපා. 

 

4. මාගේ දෑස් දෙස බලනු

මෙන්න මේක චණ්ඩියෙක් වෙන්න හිතන නොහිතන ඕනම කෙනෙක්ට වටින දෙයක්. ඒ තමයි මනුස්සයෙක් දිහා ඇස් දෙක කෙලින් බලන්න පුරුදු වෙන එක. ඒකෙන් තමන්ට බොහොම හොඳ ප්‍රෞඩ ගතියක් එනවා වගේම, තවත් මනුස්සයෙක් අපි දිහා ගරුත්වයෙන් බලන්න පටන් ගන්නවා. ආන්න ඒ ගරුත්වය කියන එක චණ්ඩියෙක් වගේ පෙනී ඉන්න හිතන කෙනෙක්ට බොහොම වැදගත්. ඒ විතරක් නෙවෙයි, එහෙම අපි කෙනෙක්ගේ ඇස් දිහා එක එල්ලේ බලලා කථා කරනකොට අපිත් එක්ක ගේමෙන් ඉන්න ඇත්ත චණ්ඩියෙක් වුනත් පොඩ්ඩක් සලිත වෙනවා.

 

5. පොඩ්ඩක් එළියට පහළියට බැහැලා

දැන් කාලේ ගොඩක් පිරිමි ගැහැණු  දෙකොටසම ඉන්නේ ගෙවල් අස්සට වෙලා. එහෙම නෙවෙයි වෙන්න ඕන. නිවාඩු දවසකට විතරක් නෙවෙයි, වෙන දවසකට වුනත් පොඩ්ඩක් වත්තට පිටියට බහින්න ඕන. උදේකට වුනත් පොඩ්ඩක් කලින් හරි නැගිටලා තමන්ගේ වත්ත පිටිය වටේ රවුමක් දාන්න ඕන. එතකොට වටේ ඉන්න තරහකාරයොන්ට වුනත් තේරෙනවා මේ මිනිහා තමයි මේ මායිමේ බොසා කියලා. එතකොට ඔය වැට ඉණි ප්‍රශ්නයක් වුනත් ඇදගන්න කලින් කෙනෙක් දෙපාරක් හිතනවා.

 

6. මිනිස්සුත් එක්ක ආශ්‍රය කරලා

සාමාන්‍යයෙන් ඔය චණ්ඩි එන්නේ තනියමද? නැහැනේ, ගැන්සි එක්කනේ. එහෙම ගැන්සි පිටින් වලි වලට බහින්න අපි අමුතුවෙන් ගැන්සි හදාගන්න ඕන නෑ. හැබැයි අපි ඉන්න ගමේ වුනත්, තට්ටු නිවාසේ වුනත්, ලේන් එකේ වුනත් මිනිස්සුත් එක්ක සුහදව ජීවත් වෙන එක, මිනිස්සුන්ව හොඳින් දැන අඳුනගෙන ජීවත් වෙන එක වටිනවා. එතකොට ඔය ත්‍රීවිල් පාක් එකේ ඉන්න අයියලා, ගමේ කර දඬු උස්මහත් වෙච්ච කොල්ලෝ එහෙමත් එක්ක ෆිට් එකේ ඉන්න එක වටිනවා. එහෙම මිනිස්සුත් එක්ක ෆිට් එකේ ඉන්න ඩයල් එකකගෙන් ගේම ඉල්ලන්න මනුස්සයෙක් දෙපාරක් හිතනවා. මොකද මිනිහට ගමේ සත්තමක් දාන්න ආවොත්, ගමෙන්ම නැව් ගුටි ලැබෙන බව දන්න නිසා!

 

7. ආවුදයක් එහෙම ඕනැද?

ඇත්තටම දැන් කාලේ වැඩි හරියක් ඉන්නේ ආවුද අතට ගත්තු චණ්ඩි. අපි තරයේම කියා හිටිනවා ආයුද අතට අරගෙන චණ්ඩි වෙන එකේ කිසිම තේරුමක් නෑ. අනික ඔය සමහර කැපෙන ආවුද වුනත් තියෙනවා, අහු වුනොත් කෙලින්ම පොලිසියේ තමයි. ආන්න ඒ නිසා ආවුද ගැන අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන්ගේ අත පය හතර තමයි හොඳම ආවුද කියලා හිතේ තියාගන්න. ඕන නම් ඔය හොඳ මාෂල් ආට් ක්ලාස් එකකට එහෙම බැඳිලා ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙන ගත්තත් කමක් නෑ. ඒක අපතේ යන්නෙත් නෑ, ඇඟටත් හොඳයි. හැබැයි ඉතින් ඒකට හොර රහසේ ගිහිල්ලා චණ්ඩියෙක් විදියට පෙනී ඉන්න බෑ. මිනිස්සුත් දැනගන්න ඕන මේ මිනිහා මාෂල් ආට්ස් කරනවා කියලා. ඒ නිසා ඕන නම් නිවාඩු දවසක වත්තට බැහැලා ප්‍රැක්ටිස් පාරක් එහෙම දැම්මට අපි මොකුත් කියන්නෙ නෑ!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *