හෝටන් තැන්නේ ගිහින් හොඳම සංචාරක අත්දැකීමක් ගන්න නම් මේ උපදෙස් වටීවි

අපි අතර ජනප්‍රිය වෙලා තියෙන එක සිරාම ට්‍රිප් එකක් තමයි හෝටන් තැන්න ගමන. ඒත් හෝටන් තැන්නේ ගිහින් මොකද්ද බලන්නේ කියලා සමහර අයට ලොකු ගැටළුවක් තියෙනවා. හැමදාම හෝටන් තැන්න වටේ ගිහින් ලෝකාන්ත දෙක බලලා එනවාට වඩා වැඩිපුර යමක් ඔයාලට කියල දෙන්න තමයි ලයිෆි අපි හිතුවේ. 

 

1. අපි හෝටන් තැන්නට යන වෙලාව 

ගොඩක් වෙලාවට අපේ අය හෝටන් තැන්නට යන්නේ ගිනි දවාලේ. ඉන්න තැන්වලින් පිටත් වෙලා දවල් එකො​ළහ දො​ළහ වෙනකොට තමයි හෝටන් තැන්න ඇතු​ළට යන්න සෙට් වෙන්නෙ ලංකාවේ අය. ඒත් සුදු ජාතිකයෝ නම් පාන්දර 6ට හෝටන් තැන්නේ ගේට්ටුව අරිනකොටම තැන්න ඇතු​ළට යනවා. ඒකේ වාසි කිහිපයක්ම තියෙනවා. සතුන් වගේම සොබා සෞන්දර්යයත් උදෑසනදි හරිම ලස්සනයි. පාන්දරම ගියාම ගෝන්නු, වඳුරෝ වගේ සතුනුත් පාර දෙපැත්තේම දකින්නට අවස්ථාව වැඩියි. මේ කඳුකර වන පරිසරයේ තියෙන එක දෙයක් තමයි සීතල. ලංකාව හිම මිදෙන රටක් නෙමෙයි. ඒත් ජනවාරි දෙසැම්බර් සීතල වැඩිම කාලයට උදේම  හෝටන් තැන්නට ගියොත් හෝටන් තැන්නේ ගහ කොළ උඩ ලාවට තුහින පතිත වෙලා තියනවා දකින්න පුළුවන්. ඊට අමතරව උදේ ගියාම රස්නය අඩුයි. ගිනිගහන අවුව සොබාදහම බලන්න තියා වෙන වැඩකටවත් සුදුසු වෙලාවක් නෙමෙයි. උදේම ගියොත් මොන පාරෙන් ගියත් ඉර අව්ව සැඩ වෙන්න කලියෙන් ආයෙම එන්න පුළුවන්. 

 

2. කිරිගල්පොත්ත කන්ද 

කිරිගල්පොත්ත කියන්නේ ලංකාවේ උස අතින් දෙවැනි තැන ගන්න කන්ද. පිදුරුතලාගල නම් කන්ද මුදුනුට වාහනයකින් වුනත් යන්න පුළුවන්. ඒ අතින් ගත්තාම කිරිගල්පොත්ත කියන්නේ පයින් තරණය ක​ළ යුතු ලංකාවේ උසම කන්ද කියලත් සලකන්න පුළුවන්. මේ කිරිගල්පොත්ත නගින්න තියෙන්නෙත් හෝටන් තැන්නේ ටිකට් බලන කවුන්ටරය ලඟින්මයි. මේක ටිකක් අමාරු ගමනක්. ආච්චිලා සීයලා ස​හ ඊයෙ පෙරයිද ඉපදුන පොඩ්ඩෝත් එක්කනම් කිරිගල්පොත්ත නගින්න අමාරු වෙයි. පැය හතර පහකින් නැගල බහින්න පුළුවන් මේ කිරිගල්පොත්ත කන්ද හවස 3න් පස්සේ නගින්න දෙන්​නෙ නැහැ. ඒ වගේම තනි පුද්ගලයින්ටත් කිරිගල්පොත්ත නගින්න අවසර දෙන්නෙ නැහැ. 

 

3. ගෝන්නු බැලීම 

සත්තු වත්තේ සත්තු උන්නාට උන් හරි අලසයි. හෝටන් තැන්නෙදි බිම ත​ණ කකා අපි දිහා ඈතට වෙලා බලාගෙන ඉන්න ගෝන්නු යන එන පාර දෙපැත්තේත් වෙලාවකට පේන්න ඉන්නවා. මේ ලොකු සතුන් මිනිස්සුන්ට බය නිසා සාමාන්‍යයෙන් වෙනත් පරිසර වලදි දකින්න අමාරුයි. ඒත් හෝටන් තැන්​නේ ආරක්ෂාව සහතික නිසා මේ ගෝන්නු දැන් මනුස්සයින් ඉන්න දිහාවටත් බයක් නැතුව එනවා. 

 

4. දිවියා සහ දුර්ලභ සතුන් 

යාල වනෝද්‍යානයේ වගේ හෝටන් තැන්නේ දිවියන් සුලභ නැහැ. ඒත් හොඳ ඇස්දෙකක් තියෙන ​ඇතැම් ගයිඩ්වරුන්ට ඈත ගහක වහලා නැට්ට පාතට දාගෙ​න ඉන්න දිවියන් පේනවා. ඒ වගේම කලාතුරකින් දිවියන් පාර මාරුවෙනවා එහෙමත් දැකපු අය ඉන්නවා. මේ දිවියන් මනුස්සයින්ට නම් හානියක් කරපු බවක් දැනට වාර්තා වෙලා නැහැ. දිවියන්ට අමතරව විවිධ අන්දමේ පක්ෂීන්, උරගයින් සහ කටුස්සන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් මේ හෝටන් තැන්න පුරා ජීවත් වෙනවා. 

 

5. ලෝකාන්ත 

හෝටන් තැන්නේ මූලික වශයෙන් බලන්න වටින තැන් දෙකක් තමයි පුංචි සහ ලොකු ලෝකාන්තය. මේ ලෝකාන්ත දෙකෙන් ලොකු එකට ඉස්සර කාලේ පහ​ළ නග්‍රාක් බංගලාව පැත්තෙන් බෙලිහුල්ඔය හරහා එන්න පුළුවන් කම තිබුනා. ඒත් දැන් ඒ පාරවල් වහලා. ඒ පාරේ යන එකෙත් තද අවදානමක් තියෙනවා. ඒ පාරේ ඇතැම් තැනකදී කඳු මායිම දාරයේ සුළ​ං තදින් හමන තැන්වලින්ද ගමන් කරන්නට වෙනවා. ලෝකාන්තයෙන් පැනලා වගේම වැටිලා විවිධ අනතුරු කරගත්ත අය ගැන විටින් විට වාර්තා වෙනවා. සෙල්ෆි ගැනීම, පොටෝ පිස්සුව වැඩිම කාලයක් වෙන මේ කාලේ ඇතැම් අය ඉන්න වටපිටාව ගැන කිසිම වගක් නැතුව පොටෝ ගැහීම් කරනවා. තැනේ සුන්දරත්වය කැමරාව අස්සට දාගන්නවා වගේම තමුන්ගේ ජීවිතය ගැනත් ටිකක් හිතන්න ඕනි මේ වගේ අනතුරුදායක තැන් බලද්දි. 

 

6. කෑම බීම සහ පහසුකම් 

හෝටන් තැන්න බලන්න කණ්ඩායමක් යනවා නම් කෑමබීම ආදිය ටිකක් දාගෙන යන්න ඕනි. මොකද ඒ හෝටන් තැන්න පිවිසුමේ තියෙන කැන්ටිමේ කෑම මෙලෝම රහක් නැහැ. ඊට එහා ආයේ කන්න කඩයක් තියෙන්නේ කිලෝමීටර 11ක්ඈත ඔහියෙ හෝ පට්ටිපොල. ඒ නිසා කෑම බීම ජාති ඔක්කොම අරගෙන යන්න පුළුවන් නම් හො​ඳයි.

 

7. වනෝද්‍යානය බැලීම 

ලංකාව කොළපාට රටක්. ඉතින් මේ තැන තැන පඳුරු වැවිලා වනාන්තරය වෙලා තියෙන මේ පතන පරිසරය අපේ සමහර පළාත්වල අයට නම් ලොකු විනෝදයක් දෙන්​නෙ නැහැ. කොහොමත් එයාල මේ වගේ පරිසර ගෙදර ඉ​ඳන් වටපිට බැලුවත් දකිනවා. ඒත් නෙදර්ලන්තය වගේ රටක් ගත්තොත් ඒ රටට කඳු නැහැ. ඒ නිසා ඒ රටවල අයට මේ වගේ සුන්දර පරිසරයක් කියන්නේ මහ මෙරක්. අපේ වුනත් හුදෙක් තැන්නයි වනාන්තරයයි තියන තැනක් විතරක් නෙමෙයි මේ හෝටන් තැන්න. හෝටන් තැන්න තු​ළ ජීවින් ගොඩක් ඉන්නවා. පොඩි කුරුමිණි සතුන්ගේ ඉ​ඳලා ගෝන්නු දක්වා විශාල පරාසයක ජීවින්ට මේ හෝටන් තැන්න පරිසරය නවාතැනක් වෙනවා. 

 

8. සුරැකීම 

හෝටන් තැන්නට කොහොමත් සිලි සිලි මලු, ප්ලාස්ටික් රැගෙන යන්න බැහැ. ඒවා ගේට්ටුවෙන් දැඩිව පරික්ෂා කරලා තමයි ඇතු​ළට යවන්නේ. හැමෝටම තමුන් කැමති ආකාරයට චාරිකා කටයුතු කරන්නට නිදහස තියෙනවා. ඒත් මහ සද්ද තියෙන ස්පීකර් දාගෙන කෑ කෝ ගහගෙන පරිසරය බලනකොට අනික් අයට ඒක බාධාවක් වෙනවා. හෝටන් තැන්නේ සිල් ගත්තා වගේ කතා නොකර යන්න උවමනා නැහැ. ඒත් සද්දේ දාගෙන සිංදු කියාගෙන, සද්දෙට සින්දු දමාගෙන යන්න හෝටන් තැන්න තවත් එක පාර්ටි ලෝකේශන් එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න එක වටිනවා. 

 

හෝටන් තැන්න හැමෝම බලන්න වටින ලංකාවට තියෙන සම්පතක්. කඳුකර වන පරිසර, පතන බිම් අතර හෝටන් තැන්නට විශේෂ වටිනාකමක් තියෙනවා. ඉතින් මේ පරිසරය සාවධානව දැකබලාගෙන ඊල​ඟ පරපුරටත් ඉතිරිකරගන්න එක අපි හැමෝගෙම වගකීමක් වෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *