ඇන්ටාක්ටිකාව ගැන තොරතුරු දැන ගමු

මුළු ලෝකයේම ජනතාවගේ අඩුම දැනුමක් සහිත මහද්වීපය මොකක්ද කියලා හොයලා බැලුවොත් උත්තරේ විදිහට ලැබෙන්නේ ඇන්ටාක්ටිකා මහද්වීපය කියන එක. බොහෝ දෙනෙක් ඇන්ටාක්ටිකාව කියන්නේ මහද්වීපයක් කියන එක වත් දන්නේ නැහැ. ඇතැම් අය ඇන්ටාක්ටිකාව වෙනුවට භාවිතා කරන්නේ දක්ෂිණ ධ්‍රැවය කියන නම. මේ නිසා අපි හිතුවා ඇන්ටාක්ටිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෙටි සටහනක් මෙන්න මේ විදිහට ඔබට ගෙන එන්න.

 

1. ලෝකයේ වියළිතම මහද්වීපය

අයිස් වලින් වැහිලා තිබුණට ඇන්ටාක්ටිකාව සැළකෙන්නේ ලෝකයේ වියළිතම ස්ථානයක් විදිහට බව කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මෙහි ඇතැම් ප්‍රදේශවලට අවුරුදු 1000 කින් පමණ වැසි ඇද හැලී නැහැ. එම නිසා මෙහි ඇතැම් ප්‍රදේශ වල පරිසරය අඟහරු ලෝකයේ පරිසරයට සමාන කමක් දක්වන බව කියවෙනවා. මේ නිසාම අනාගත අඟහරු ගවේෂණවල ප්‍රගතිය මත එහි ජනාවාස සැලසුම් කරද්දී එහි ජීවත් වෙන පිරිස් ඇන්ටාක්ටිකාවේ පදිංචිකොට එම පරිසරයට පුහුණු කළ යුතු බවට මතයක් ද ගොඩනැගී තිබෙනවා.

 

2. ඇන්ටාක්ටිකාවේ ජනගහණය

දැනට ලැබී තිබෙන වාර්තාවලට අනුව ඇන්ටාක්ටිකාවේ ජනගහණය 200 ඉක්මවා යන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල එම අගය 150ක් පමණ වන බව කියවෙනවා. ඇන්ටාක්ටිකාවේ විවිධ පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන් කණ්ඩායම්වලින් මෙම තාවකාලික ජනගහණය සමන්විත වෙනවා. කෙසේ නමුත් අවස්ථා කීපයක දී ඇන්ටාක්ටිකා වල දරු උපත් ද වාර්තා වී තිබෙනවා. නෝර්වේ, චිලී සහ ආජන්ටිනා දෙමව්පියන් මේ ආකාරයට තම දරුවන් බිහිකිරීමට ඇන්ටාක්ටිකාව තෝරාගෙන තිබෙන අතර ඔවුන්ගේ නම් සඳහා ඉහළ ප්‍රවෘත්ති වටිනාකම් හිමිව තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් කාලවලදී ඇන්ටාක්ටිකාවේ සංචාරය කරන පිරිස් ප්‍රමාණය හතළිස් දහසක් දක්වා ඉහළ අගයක් ගන්නා අතර එම කාලය තුළ ඇන්ටාක්ටිකාවේ සේවය කරන විද්‍යාඥයන් ප්‍රමාණය දහදාහක් දක්වා ඉහළ යන බව සඳහන් වනවා

 

 

3. ඇන්ටාක්ටිකාවේ අයිතිය

රටවල් ගණනාවක නියෝජිතයන් අතර ඇතිකරගත් එකඟතාවයක් අනුව ඇන්ටාක්ටිකාවට අයිතිවාසිකම් කීමට කිසිම රටකට අයිතියක් නැහැ. ඇන්ටාක්ටිකාව සම්පූර්ණයෙන්ම යුද මුක්ත කලාපයක් වන අතර එහි සිදු කළ හැක්කේ පර්යේෂණාත්මක මෙහෙයුම් පමණයි. ඒ සඳහා අවසර ගැනීමට එක් එක් රටවල් වල නියෝජිතයන් සම්බන්ධ කර ගැනීම අනිවාර්ය සාධකයක් වනවා. එසේම මෙහි මෙහෙයුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ද මෙම ආකාරයටම අවසර ගැනීම කළ යුතුයි.

 

4. ඇන්ටාක්ටිකාවේ පදිංචිකරුවෝ

අපි ඇන්ටාක්ටිකාවේ ජනගහණයේ ඇති සීමාකම් පිළිබඳව කතා කළත් ඇන්ටාක්ටිකාව නිවහන කරගෙන විශාල සත්ව ප්‍රජාවක් ජීවත් වනවා. පෙන්ගුයින්, මත්ස්‍යයින්, තල්මසුන් වැනි ජලජ ජීවීන් මෙම මහද්වීපය ආශ්‍රිත කලාපය තම වාසභූමිය කොට ගෙන තිබෙනවා. කෙසේ නමුත් ලෝකයෙහි කූඹින් වාසය නොකරන එකම මහද්වීපය වීමේ වාර්තාවටද ඇන්ටාක්ටිකාව හිමිකම් කියනවා.

 

5. ළඟදී දැනගත්ත ඇන්ටාක්ටිකාව

දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව මෙවැනි විශාල මහද්වීපයක් පවතින බවට මුලින්ම මත පළ කළේ ග්‍රීකයන් විසිනුයි. නමුත් මෙම ප්‍රදේශ දැක ගැනීමට හෝ එය සිතියම් ගත කිරීමට පුරාතන යුගයේ දී හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසාම මෙම ප්‍රදේශයේ නිවැරදි සිතියමක් නිර්මාණය කිරීම සඳහා හැකියාව ලැබුණේ චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවත් සමගයි. මෙම නිසා ඇන්ටාක්ටිකාවේ නිවැරදි සිතියමක කාලය අවුරුදු සියයකට එහා යන්නේ නැහැ. කෙසේ නමුත් ඇතැම් පුරාණ ලියවිලිවල ඇන්ටාක්ටිකාවේ සිතියම් හමුවුණු බවක් කියවුනත් එය බොහෝ පාර්ශ්ව පිළිගන්නේ නැහැ.

 

6. ඕසෝන් වියනේ සිදුර

එක්දහස් නවසිය අසූ පහේදී පමණ ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව ඕසෝන් වියනේ සිදුර නිරීක්ෂණය කිරීමත් සමග ලෝකය කැලඹීමට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මොන්ට්‍රියල් සම්මුතිය ඇති කර ගැනුණු අතර ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම එහි අරමුණ වනවා. ඉදිරි වසර සීයක පමණ කාලය තුළදී ඕසෝන් වියන සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා.

 

7. ඇන්ටාක්ටිකාව දිය වුවහොත්?

ලෝකයෙ පිරිසිදු ජලයෙන් සියයට හැත්තෑවක්ම ඇන්ටාක්ටිකාව තුළ අයිස් ලෙස පවතින බවට ගණන් බලා තිබෙනවා. යම් කිසි දිනක ඇන්ටාක්ටිකාව දියවීමට පටන් ගත්තොත් මුහුදු ජලය අවම වශයෙන් අඩි දහසයක් උඩට යනු ඇතැයි විශ්වාස කෙරෙනවා

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *