ලෝකේ සැර අධිකම මිරිස් වර්ග ගැන දැනගමුද?

ලයිෆි අපි අද ගෙනාවෙ ලෝකයේ තියෙන සැරම මිරිස් වර්ග කීපයක් ගැන තොරතුරු. ලංකාව ගැන විතරක් නෙමෙයි මුළු ලෝකෙම කෑම ගැන දැනුවත් වීම හරිම වටිනවනෙ. කොහොමත් කටට සැරට කාලා පුරුදු ලංකාවෙ අපිට මේ මිරිස් වර්ග ගැන දැනගන්න එකේ වටිනාකමක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට ලෝකෙ සැර අධිකම මිරිස් වර්ග ගැන පොඩ්ඩක් කියලා දෙන්නයි මේ හදන්නෙ. මේ මිරිස් වර්ග වල සැර ගැන එක එක තැන් වල විවිධ කාල වලදි එක එක විදියට සඳහන් වෙනවා. ඉතින් පුළුවන් තරම් අලුත්ම වාර්තා වල සඳහන් විස්තර ටිකක් තමයි අපි හොයන් ආවෙ. 

 

1. Carolina Reaper

මේ දවස්වල කැරොලිනා ගැන කතා කරනවා වැඩියි. හැබැයි මේ කියන්නෙ ඒ කැරොලිනා නෙමෙයි. ලෝකෙ මෙතෙක් සැර වැඩියි කියලා හොයාගෙන තියෙන මිරිස් වර්ගය ගැනයි. 

මිරිස් වල සැර ඒ කියන්නෙ හොට්නස් එක මනින ඒකකය Scoville Heat Unit එහෙමත් නැතිනම් SHU කියලයි කියන්නෙ. මේ Carolina Reaper කියන මිරිස් වර්ගයේ උපරිම සැර SHU 2,200,000කුත් සාමාන්‍ය අගය SHU 1,570,000ක අගයකුත් ගන්නවා. ඉතින් හිතාගන්නකො සැර කොහොමද කියලා. හැබැයි කාපු අය නම් කියන්නෙ සැර වගේම රසත් ගොඩක් වැඩී කියලා. ඇත්තටම මේක කනකොට මැරෙන තරම් හැඟීමක් ආවට කෑව කියල මැරෙන්නෙ නම් නෑ. අපේ භාෂාවෙන් කියනවනම් බඩ පපුව දාලා යනවා. එච්චර සැර කන එක නම් ඇඟට ඒ තරම් හොඳ නෑ. මේක නිපදවලා තියෙන්නෙ එඩ් කූරි කියන පර්යේෂක වගාකරුවා විසින්. 

 

2. Trinidad Moruga Scorpion

ගෝනුස්සගෙ වල්ගෙ වගේ පෙනුම නිසයි මේ මිරිස් වලට මේ නම ලැබිලා තියෙන්නෙ. සැර වැඩිම මිරිස් ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්වෙන මේකෙ ස්කොවිල් (SHU) අගයත් මිලියන 1.2ත් මිලියන 2ත් අතර අගයක් ගන්නවා. මේ ගැන ගොඩක් පරීක්ෂණ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ චිලී ආයතනයෙන් සිදු කරලා තියනවා. මේ මිරිස් වර්ගය හඳුන්වලා දීලා තියෙන්නෙ ජිමී ඩෆී කියන වගාකරුවා. 

මේ මිරිස් වල සැර හරිම භයානකයි කියලයි සමහරු කියන්නෙ. සැර කොච්චරද කියනවනම් මේ අස්වනු නෙලන්න ග්ලවුස් 4ක්වත් දාන්න ඕනෙ. නැත්තම් ග්ලවුස් හරලා අත්වලට සැර වදිනවා. ප්‍රමාණයෙන් පොඩි මේ මිරිස් වර්ගය ගොල්ෆ් බෝලයක හැඩය ගන්නවා. මේ මිරිස් කපනකොට මැද කොටසෙ තමා සැර අධික තෙල් තැන්පත් වෙලා තියෙන්නෙ. යූටියුබ් වීඩියෝස් ඕනතරම් තියනවා මේකෙ සැර ගැන එක්ස්පෙරිමන්ට් කරපු. 

 

3. 7 Pot Douglah 

ස්කොවිල් අගයෙන් මිලියන 1.8 ඉක්මවා යන මේ මිරිස් වර්ගය උඩින් කිව්ව දෙවර්ගය හැර තුන්වෙනියට සැරම මිරිස් වර්ගය. සැර අධික උනත් රතු පාටින් දිස් වෙන්නෙ නැති එකම මිරිස් වර්ගය. මේක කුඩා කාලයේ කොළ පාට උනත් ලොකු වෙනකොට තද දම්පාටට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. ඒ වගේම ගෙඩියෙ මතුපිට ගැටිති වගේ දකින්න පුළුවන්. මේ මිරිස් අඟල් 2ක් වගේ දිගින් යුක්තයි. මේක Chocolate 7 Pod යන නමින්ද හඳුන්වනවා. මේ මිරිස් දෙකට පලනකොට මැද සැර වැඩිම තෙල් සහිත කොටස දකින්න පුළුවන්. සෑහෙන්න රස වගේම ගුණ මිරිස් වගයක් කියලයි ආරංචිය.

 

4. 7 Pot Primo

පෙනුමෙන් මහත ඒත් පහළ පොඩි වල්ගයක් වගේ ස්වරූපයක් ගන්න මේ මිරිස් වර්ගය ටිකක් දුර්ලභයි. මේ මිරිස් වර්ගය නිර්මාණය කළේ උද්‍යාන විද්‍යාඥ ට්‍රෝයි ප්‍රීම්ක්ස් විසිනි. මේක බැලූ බැල්මට නම් කැරොලිනා රීපර් වර්ගයට සමානකමක් දක්වනවා. මේ මිරිස් එක ස්කොවිල් මිලියන 1.4කට එහා අගයක් ගන්නවා. මේ මිරිස් කරලක් අඟල්1 1/2ක් වගේ දිගට වැවෙනවා. ඒ වගේම මතුපිට රැළි සහිත ස්වභාවයක් ගන්නවා. මේ එක මිරිස් කරලකින් හොදි වර්ග 7ක් පිසගන්න පුළුවන් කියලාත් සඳහන් වෙනවා. 

 

5. Trinidad Scorpion Butch T

පෙනුමෙන් හරිම ලස්සන හැඩයක් ගන්න මේ මිරිස් වර්ගය නිර්මාණය කලේ බුච් ටෙලර් නිසාත් නටුව ගෝනුස්සගෙ හැඩය ගන්න නිසාත් මේ විදියට නම් කරලා තියනවා. සැරම මිරිස් ලැයිස්තුවේ පහළින් හිටියත් එසේ මෙසේ මිරිස් කරලක් නෙමෙයි මේ. 2011 මාර්තු ඉඳලා 2013 අගෝස්තු වෙනකල් මේ මිරිස් වර්ගය කැරොලිනා පරදලා ලොව සැර අධිකම මිරිස් වර්ගය ලෙස නම් කෙරුණා. බුචර්, ඔහුගේ ට්‍රිනිඩෑඩ් ස්කෝපියන් මිරිස් වල ප්‍රභේදයකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. බුචර් කියන විදියට මේ මිරිස් කනකොට දැනෙන හැඟීම දැවෙන ගල් අඟුරු ගිලිනව වගේලු. මේකෙ ස්කොවිල් අගය මිලියන 1.4ට වඩා ඉහළ අගයක් ගන්නවා. පැළේකින් ඵලදාව එන්න දවස් 90-120ත් අතර කාලයක් ගන්නවා. 

 

6. Dragon’s Breath 

පොත් වලට අනුව සැර වැඩිම මිරිස් වර්ගය කැරොලිනා උනත් මේ ඩ්‍රැගන් බ්‍රෙත් වර්ගයේ උපරිම ස්කොවිල් අගය 2.48ක් වගේ වෙනවා. එතකොට සැර වැඩිම මේකද කියලත් අපිට හිතෙන්න පුළුවන්. පිළිගත් වාර්තා අනුව නම් කැරොලිනා රීපර් තමා 2021 වෙනකොට ඉදිරියෙන් ඉන්නෙ. හැබැයි ඊට නොදෙවනි සැරක් මේකෙත් තියනවා. ඒකයි අපි කලින්ම කිව්වෙ මේ මිරිස් වල සැර ගැන එක එක තැන් වල විවිධ කතා තියෙනව කියල. පිළිගන්න පුළුවන් වාර්තා අනුව තමා අපි මේ ලිපිය පෙළගස්වල තියෙන්නෙ. මේ මිරිස් වර්ගය ගොඩක් ව්‍යාප්තිය තියෙන්නෙ එංගලන්තයේ. ප්‍රමාණයෙන් ඉතා කුඩා මිරිස් වර්ගයක් උනත් සැර නම් පොඩි නෑ. මේ ගැන පරීක්ෂණ කරන පර්යේෂකයන් කියන්නෙ මේ මිරිස් වල තියන තෙල් වර්ගය සමේ නිර්වින්දකයක් විදියටත් යොදා ගන්න පුළුවන් කියලායි. මේක ගොඩක්ම වගා කෙරෙන්නෙ වේල්සයේ. ඇත්තටම පෙනුමෙන් හරිම ලස්සන පැලෑටියක්. වේල්සයේ මෙය වගා කරන ගොවීන් වේල්සයේ මකරා පදනම් කරගෙන තමයි මේකට නම දාලා තියෙන්නෙ. 

 

7. Red Savina Habanero

ස්කොවිල් අගයෙන් ලක්ෂ 5ක් වගේ වෙන මේ මිරිස් වර්ගය දැනට අවුරුදු කිහිපයකට කලින් මිරිස් ලෝකේ කිරුළු දරල හිටියා. ඒ 1994-2006 දක්වා වසර 12ක කාලය පුරාවට ලොව දරුණුම මිරිස් වර්ගය වුණේ මේක නිසා. මේ මිරිස් වර්ගය තමා වැඩිම කාලයක් ලොව සැර වැඩිම මිරිස් වර්ගය විදියට නම් වෙලා තිබ්බෙ. මෙතනින් පස්සෙ තමයි තවත් මිරිස් ප්‍රභේද වගා කිරීම ඇරඹිලා තියෙන්නෙ. කැලිෆෝනියාවේ ෆ්‍රෑන්ක් ගාෂියා තමයි මේකෙ නිෂ්පාදකයා. සාමාන්‍යයෙන් අඟල් 1. 5ක වගේ දිගින් යුත් මේ මිරිස් කරල රැළි සහිතයි. නිල නොවන වාර්තා අනුව නම් ස්කොවිල් අගය ලක්ෂ 5කට එහා අගයක් උනත් හරිම රස මිරිස් වර්ගයක් කියලයි අපිට ආරංචි උනේ.

 

ඉතින් ඔන්න දැනගත්තනෙ ලෝකෙ සැරම මිරිස් වර්ග ගැන. පොතේ පතේ තියෙන හැටියට නම් ඉතිහාසයේ ඉඳන් හුඟක්ම මිරිස් වර්ග ලෝකෙ ව්‍යාප්ත වෙලා තියෙන්නෙ ඇමරිකානු මහද්වීපයෙන්. මේ මිරිස් වර්ග වල ප්‍රභේදයන් අපේ ලංකාවෙත් ඇති. 

 

ඔයාලා කාලා තියෙන සැරම මිරිස් වර්ගය ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ඔන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *