ක්‍රිස්මස් නැති අපිටත් ක්‍රිස්මස් කාලෙට තියෙන ආතල් ටිකක් මෙන්න!

දැන් ඔය නත්තල් අසිරිය කියන එක අපිට හරියට දැනෙන්නේ නොවැම්බරේ ඉවර වෙනවාත් එක්කම තමයි. ඔන්න ඒ කාලේ වෙනකොට රාත්තිරිය හීතල වෙන්න පටන් ගන්නවා. උදේට නිකං හිම නොවැ‍ටුණත් මීදුම එහෙම බාලා හිම වැටෙන ගාණයි. එතකොට ඔය සුපර් මාර්කැට් වල එහෙම අක්කිලා අයියලා නත්තල් තොප්පි දාගෙන, ගෙජ්ජි එල්ලගෙන ‘ජිංගල් බෙල්ස්’ තාලෙට අපිට බඩු විකුණන්න පටන් ගන්නවා. හැම කඩ පිලේම සේල් සේල් කියලා බෝඩ් වැටෙනවා. ටවුමේ හැම අස්සක මුල්ලකම පාට පාට බලුප් වැල් පත්තු වෙන්න පටන් ගන්නවා. පොඩි පොඩි නත්තල් ගස්, නත්තල් සැරසිලි වල ඉඳලා අඩි දහයේ දොළහේ නත්තල් ගස් වෙනකල් ක්‍රිස්මස් ඩෙකරේෂන් පාරක් පාරක් ගාණේ, කඩයක් කඩයක් ගාණේ දිදුලන්න පටන් ගන්නවා.

දැන් ඔය නත්තල් අසිරිය විඳින්න අපිත් කැතලික් වෙන්න, එහෙම නැතිනම් අර අපේ සමහරු අහන විදියට “ක්‍රිස්මස්” වෙන්ඩ ඕනෑද ආයිබොවං? එහෙම නෑ. අතීත කාලේ ඉඳලම අපේ ක‍තෝලික සහෝදර සහෝදරියෝ නත්තල් සමරනකොට අපිටත් ඔටෝමැටික්ම නත්තල් තමයි. නිකං නෙවෙයි, දෙසැම්බර් මාසෙම නත්තල්!

ඉතින් මේ කියන්න යන්නේ ක‍තෝලික නොවෙන අපිට නත්තලේ තියෙන ආතල් එක ගැන තමයි.

 

1. ලාබායි, සේල්! සේල්!!

Image Source – yamu.lk

ක්‍රිස්මස් උදාවෙනවා කියන්නේ ඉතින් ගහක් ගලක් ගාණේ තියෙන හැම කඩපිළකම බඩු සේල් දාන එක තමයි. සමහරු නම් වෙනදා ගාණ දෙගුණයක් කරලා ප්‍රයිස් ටැග් එක ගහලා ඒකෙන් සියේට පණහක් දෙන්න ට්‍රයි කරනවා තමයි. හැබැයි ඉතින් අපි වගේ බඩු අරගෙන සීසන් වෙච්ච එවුවෝ එහෙම තම්බන්න බෑනේ. වෙනදා ගාණත් දන්නවා අපි ක්‍රිස්මස් ගාණත් දන්නවා. ආන්න ඒ නිසා මේ ක්‍රිස්මස් කාලේ තමයි කියාපු ඩිස්කවුන්ට් සමය. සෑහෙන්න බඩු බාහිරාදිය අඩු මිලකට ගන්න පුලුවන් කාලයක්!

 

2. කාඩ් එකෙත් ඩිස්කවුන්ට්!

Image Source – dealdeal.lk/couponicious.com.sg

මේක වෙනමම කියන්න හේතුවක් තියෙනවා. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් තියෙන උන්දැලටත් ස්වර්ණ සමයක් තමයි දෙසැම්බරේදී එළැඹෙන්නේ. ආයෙ සියේට පණහේ ඉඳන් අඩු වෙන පිළිවෙලට තමයි බඩු වලට, කෑම බීම වලට ඩිස්කවුන්ට් හම්බුවෙන්නේ. ආයෙ බොරු ගණන් දැමිලිත් නෑනේ ඔය ලොකු හෝටල් වල. අන්න ඒ නිසා ගෑල්ලමයත් එක්ක ගිහින් ලොකු හොටේල්ස් එකකින් ෆයින් ඩයිනින් පාරක් ලෙවල් එකට දාගෙන එන්න, ගෙදරට එහෙම ඕන ඉලෙක්ට්‍රොනික් බඩු හේම ගන්න මෙන්න කාලේ!

 

3. මෙපුර සිරි විසිතුරු බලනු මිතුර!

Image Source – en.wikipedia.org

දැන් දෙසැම්බර් මාසේ එළියට බැස්සහම හිතටත් අමුතු මෙව්වා එකක් දැනෙන්නේ නැද්ද නගර සිරි දකිනකොට? හැම තැනම කොයි විදියක හරි විසිතුරු වලින් සරසලා. බලන්න ලස්සනයි. සුපර් මාකට් එකකට ගියොත් එහෙම එළියේ නත්තල් පප්පෙක් හොහ් හොහ් හොහ් ගගා ඉන්නවා. ඇතුළට යනකොට නත්තල් ගහක් දිලිසෙනවා. හැම තැනම විසිතුරුයි, ඇස් වලටත් සනීපයි. ආයෙ රෑකට එහෙම එළියට බහින්න ඕන බලන්න. වෙසක්ම තමයි. මිනිස්සුන්ගේ මූණු වලත් හෙනම ක්‍රිස්මස් දීප්තියක් තියෙනවද මංදා. සමහර වෙලාවට මේ මාසේ අන්තිමට බෝනස් එහෙම වදින නිසා, දවස් දෙක තුනක නිවාඩුවක් හේම හම්බුවෙන නිසා වෙන්ටෑ.

 

4. නත්තල් කේක්, අර කේක්, මේ කේක්!

Image Source – schwartz.co.uk

මේ දවස් වල සුපර් මාකට් වල වෙනම මේසයක් දාලා තියෙනවා නත්තල් ඉස්පැෂල් කෑම බීම වලට. වෙනදා දකින්න නොලැබෙන විදියේ ඉස්පෙෂල් කේක් ජාති, රසකැවිලි ජාති එහෙම දිලිහි දිලිහී මේසේ උඩ තියෙනවා. සමහර වෙලාවට අර දිලිසෙන කොළ වලිනුත් ඔතලා. දැන් ඔයින් එකක් දෙකක් ගන්න අපිත් ‘ක්‍රිස්මස්” වෙන්න ඕනැද? නෑනේ. ආයෙ ඉතින් පැණි රස ලෝකයක් තමයි. ඇත්තටම කිවුවොත් මේ නත්තල් කේක් ඇතුළු ගොඩක් රසකැවිලි කරළියට එන්නේ දෙසැම්බර් මාසේ විතරයි. ආන්න ඒකත් අපි පිංවතුන් ක්‍රිස්මස් එකට ආස වෙන්න හේතුවක්!

 

5. නත්තල් දා!

Image Source – independent.co.uk

නත්තල් දවස අපේ ක‍තෝලික සහෝදර සහෝදරියන්ට විශේෂයි. හැබැයි අපි ක‍තෝලික නොවුණත් අපිටත් නත්තල් තියෙනවා වගේ දැනෙන්නෙ නැද්ද? විශේෂයෙන්ම නත්තල් තියෙන පවුලක් දෙකක් අහල පහල ඉන්නවා නම් ඔය නත්තල් හැඟීම අපිටත් හිතට දැනෙන්න පටන් ගන්නවා. කොහොමත් ටීවී එකෙනුත් ඔය නත්තල් හැඟීම ලබාදෙන්න ලොකු මෙහෙයක් කරනවා. ගීතිකා එහෙන් ඇහෙනවා. බොහොම සෞම්‍ය කාලගුණයත් හිතට සතුටක් ගේනවා. අපිත් නත්තලේ කොටස් කරුවෝ කියලා දැනෙනවා. හා නැද්ද?

 

6. රාත්තිරියට පල්ලියටත් ගිහිල්ලා…

Image Source – asianews.it

නත්තල් උදාවෙන මධ්‍යම රාත්‍රියේ ක‍තෝලික බැතිමත්තු පල්ලියට කාරිය යනවා කියලා දන්නවා ඇතිනේ. ආන්න එදාට තමයි නත්තල් නැති අපිත් පල්ලි යන දවස. ඇත්තටම මේක එක දවසකට හෝ අත්විඳලා බලන්න ඕන බොහෝම සුන්දර අත්දැකීමක්. හිතන්න මධ්‍යම රාත්තිරියට මිනිස්සු ජය පහට ඇඳ පැළඳගෙන පල්ලියට යනවා. හැමෝම සතුටෙන්. හැම තැනම හිනා මූණු. පල්ලියත් කොඩි වලින් සරසලා නත්තලට එන බැතිමතුන්ව පිළිගන්නම සැරසිලා ඉන්නේ. අපි ගිහින් යාලු මිත්තරයොත් එක්ක පල්ලියේ පිටිපස්සෙම කොණකට සෙට් වෙලා ඉන්නවා. එදාට නත්තල් සුරදූතියෝ වගේ සැරසිලා එන නංගි පැටික්කියෙක්ට පොඩ්ඩක් බැල්මක් දෙකකුත් දානවා. ඉන් පස්සේ යාඥා තේරුණේ නැතත් ඒවා අහගෙන ඉන්නවා. ගීතිකා කියන්න දන්නෙ නැති වුනත් ඒවා රසවිඳිනවා. ඉන්පස්සේ ආයෙමත් කෙල්ලෝ කොල්ලෝ එක්ක කදේ දාගෙන පයින්ම ගෙදර එනවා.

 

7. නත්තල් පාටි!

Image Source – twitter.com

මෙන්න නත්තල් නැති අපිට නත්තලේ තවත් වැදගත්ම අංගයක්. ක්‍රිස්මස් පාටි! දැන් සාමාන්‍යයෙන් නත්තල් තිබ්බා හෝ නැතා හෝ ඕනම ඔ‍ෆිස් එකක නත්තල් පාටියක් තියෙනවා. ඒ පාටිත් මරු. හොඳට කන්නත් තියෙනවා, හොඳට බොන්නත් තියෙනවා, හොඳට ෆන් එකක් ගන්නත් ඉඩ තියෙනවා.

හැබැයි ළමයි ඇත්තටම ක‍තෝලික ගෙදරක දෙන නත්තල් පාටියක අහලකින්වත් ඔ‍ෆිස් වල ක්‍රිස්මස් පාටි තියන්න බෑ! සාම්ප්‍රදායික ක‍තෝලික පවුලක් නම් මේ ආතල් එක ඩබල්. ඇයි යන්න කලින් පුසුඹෙන් කියන්න පුලුවන් තියෙන කෑම බීම ගැන. කෙලින්ම තැඹිලි වයින් එකෙන් පටන් ගත්තට පස්සේ ඉතින් කා තමයි. ආයෙ ඩයට් කිරිලි අනං මනං පැත්තකින් තියෙන දවස තමයි මේ. අනික ඔය මස් මාංස කන, රහමෙර බොන ඇත්තන්ට නම් ඉතින් මේක කෙලින්ම සුවර්ගේ තමයි! එහෙම කාලා බීලා නත්තල් සිංදුවක් කියලා, නත්තල් අසිරිය සාමූහිකව විඳින්න තමයි තියෙන්නේ.

“මාගේ නත්තල දුගියා බත් කන දවසයි”!

මේ පාර නත්තල් අසිරිය විඳින්න හිතන දුවලා පුතාලා මේ වාක්කිය අමතක කරන්නත් එපා ඕං!

 

Cover Image Source – paid.jncb.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *