මේ ලෝකේ තියෙන සමහර දේවල් අපි හරියටම පාවිච්චි කරනවාද? එහෙම ඔබ නොදත් කරුණු කීපයක් මෙන්න!

අපිට එදිනෙදා ජීවිතේදී මුණගැහෙන සමහර දේවල් තියෙනවා, අපි එක්කෝ හිතෙන විදියට පාවිච්චි කරනවා, ඒත් පාවිච්චි කරන හරිම විදිය දන්නෙ නෑ. ඒ වගේම තවත් සමහර දේවල් තියෙනවා, ඒ දේවල් වල වැදගත්කමක් හෝ පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද කියලා අපි දන්නෙ නෑ, ඒ නිසා අපි පාවිච්චි කරන්නෙත් නෑ. ඉතින් මේ කියන්න යන්නේ ආන්න ඒ විදියේ දේවල් කීපයක් ගැන.

 

1. හරියට පඩිපෙළක් පාවිච්චි කරන විදිය

සාමාන්‍යයෙන් අපි පඩිපෙළක යන්නේ එක්කෝ ගාල කඩා ගත්තු හරකෙක් වගේ, එහෙම නැතිනම් සංවරව හෙමින් සැරේ. හැබැයි ඒ කොහොම ගියත් පඩිපෙළක අපි දකුණු පැත්තට බර වෙලා යනවා කියලා හිතිලා නැද්ද? ඇත්තටම ඒක එහෙම තමයි. හේතුව, අපි පාරේ වුනත් යන්න හුරු වෙලා තියෙන්නේ දකුණු පැත්තෙන්. ආන්න ඒ නිසා පඩිපෙලක යන්න ඕන නියම ක්‍රමය තමයි දකුණු පැත්තෙන්. එතකොට ඒ පඩිපෙළින් බහින අයට අපේ වම් පැත්තෙන් බහින්න පුළුවන්. ඒ අයට ඒක දකුණු පැත්ත. එතකොට පඩිපෙලේ මැද්ද තියෙන්නේ වඩා හෙමිහිට යන කෙනෙක්ට ඕවර්ටේක් කරන්න හරි, හදිසියෙන් යන කෙනෙක්ට යන්න හරි තමයි.

 

2. හරියට ස්ටෙප්ලර් කටුවක් ගලවන විදිය

අපි ස්ටෙප්ලර් කටු කොයි තරම් ගහනවා ඇතිද? ඒ වගේම අපිට ස්ටෙප්ලර් කටු කොයි තරම් ගලවන්න වෙනවා ඇතිද? සාමාන්‍යයෙන් ස්ටෙප්ලර් කටුවක් ගලවන්න කන්න වෙන කට්ට ඕන කෙනෙක් දන්නවා. එක්කෝ මොකක් හරි තලයක් හෝ තුඩක් හොයාගන්න ඕන. එහෙම නැතිනම් ඇඟිලි වල උඩ හම හිල් වෙනකල් ඇඟිල්ලෙන්ම ස්ටෙප්ලර් කට්ට ගලවන්න ට්‍රයි එකක් දෙන්න ඕන. හැබැයි මතක තියාගන්න, ලඟපාත ස්ටෙප්ලර් එකම තියෙනවා නම්, ඒකේ තියෙනවා ගහපු ස්ටෙප්ලර් කටු ගලවන්නත් පොඩි ගැජමැටික් එකක්. අර ස්ටෙප්ලර් මැෂින් එකේ පිටිපස්සේ තියෙන්නේ තලයක් වගේ නෙරපු කෑල්ලක්. ආන්න ඒක හදලා තියෙන්නේ ඉතාම පහසුවෙන් ගහපු ස්ටෙප්ලර් කටුවක් ගලවගන්න.

 

3. හරියට ජූස් බොක්ස් එක මිරිකන්නේ නැතුව අල්ලගන්න විදිය

ඇත්තටම මේ ප්‍රශ්නය වැඩිහිටි අයට මතුවෙන්නේ නෑ. මොකද ඒ අය ඔය ජූස් බොක්ස් නැතිනම් කාර්ටූන් නැතිනම් ටෙට්‍රා පැක් කියන එක පාවිච්චි කරන්න දන්නවා හරි විදියට. ඒත් පොඩි දරුවෝ ඉන්න දෙමාපියෝ මේ කාරණාව දැනගන්න එක වැදගත්. දැන් පොඩි ළමයෙක් අතට ජූස් බොක්ස් එකක් දුන්නහම වෙන්න පුළුවන් දෙයක් නේද, දරුවා නොදැනුවත්වම ජූස් බොක්ස් එක දරුවගේ අතේ මිරිකෙන එක. මොකද ඇත්තටම ජූස් බොක්ස් එකක් මිරිකෙන සුළුයි. ඒත් වැඩිහිටි අපිට අදහසක් තියෙනවා ජූස් බොක්ස් එක නොමිරිකෙන්න යොදවන්න ඕන පීඩනයේ ප්‍රමාණය ගැන. ඒ දැනුම පොඩි අයට නෑ. අන්න ඒ නිසා ඊලඟට පොඩි කෙනෙක් අතට ජූස් බොක්ස් එකක් දෙනකොට ඒකේ දෙපැත්තේ තියෙන පියන් වගේ කෑලි දෙක දෙපැත්තට දිග ඇරලා දෙන්න. එතකොට පොඩි කෙනාට ජූස් බොක්ස් එකේ බඳෙන් අල්ලගන්නේ නැතුව, දිග ඇරපු පියන් කෑලි දෙකෙන් අල්ලගෙන ජූස් හරි කිරි හරි බොන්න පුලුවන්!

 

4. හරියට වයින් ග්ලාස් එකක් අල්ලගන්න විදිය

ඔය වයින් ග්ලාස් වල දැකලා ඇති නේද හීනි නටුවක් තියෙනවා. ගොඩක් අය එකක් දන්නෙ නෑ ඇයි ඔහොම නටුවක් එක්ක වයින් ග්ලාස් හදලා තියෙන්නේ කියලා. ඒ එක්කම සමහරු දන්නෙ නෑ හරියට වයින් ග්ලාස් එකක් අල්ලගන්න ඕන කොහොමද කියලා. වයින් ග්ලාස් එකක් අල්ල ගන්න ඕන නටුවේ උඩ හරියෙන්. ඒකට ප්‍රධානතම හේතුව තමයි, වයින් වර්ග -විශේෂයෙන්ම මිලෙන් අධික වයින් වර්ග- වල රස හරියටම තියෙන නියමිත උෂ්ණත්වයක් තිබීම. ඔය වයින් සෙලර් එකක වුනත් වයින් තැන්පත් කරන්න හරියටම උෂ්ණත්වය පාලනය කරන්නේ ඒකයි. දැන් අපි වයින් වීදුරුව නටුවෙන් නැතුව කෙලින්ම බල්බ් එකෙන් අල්ලගන්නවා කියන්නේ අපේ අතේ උෂ්ණත්වය නිසා වයින් වල උෂ්ණත්වයත් වැඩි වෙන එක. ඒක වයින් වල නියම රහට හොඳ නෑ. අනික නටුවේ ඉහළින් අල්ලා ගත්තහම වීදුරුවේ තියෙන වයින් හලාගන්නේ නැතුව කරකවන්නත් ලේසියි.

 

5. හරියට බෙහෙත් ටියුබ් එකක් හිල් කරන විදිය

බෙහෙත් ටියුබ් එකක් අලුතෙන්ම කඩෙන් ගත්තට පස්සේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද බෙහෙත් එන සිදුර සීල් කරලා තියෙන ෂීට් එක හිල් කරගන්නේ කියලා. සමහරු හැට්ට කට්ටකින් හිල් කරනවා, තව කෙනෙක් පෑන් තුඩකින් හිල් කරනවා. හැබැයි ඔය එක දේකටත් වඩා ලේසියෙන් බෙහෙත් ටියුබ් එකක් හිල් කරගන්න පුළුවන් විදියක් තියෙනවා. දැන් ඇරපු බෙහෙත් ටියුබ් එකේ පියන ගන්න. දැන් ඒක අනික් පැත්ත හරවන්න. පේනවා නේද ඒකේ ඔලුව ඇතුළට විවරයක් විදියට නෙරලා, ඒක ඇතුළේ උලක් තියෙනවා කියලා. මේක පියනේ ඔලුව ඇතුළේ තියෙන නිසා කොහේවත් ඇනෙන්නේ නෑ. හැබැයි අපිට බෙහෙත් ටියුබ් එකේ සීල් කරපු මතුපිට මේ ඔලුව ඇතුළට තෙරපන්නයි තියෙන්නේ. එතකොට ගාණට බෙහෙත් ටියුබ් එක හිල් වෙනවා!

 

6. හරියට ෆොයිල් රෝලක් පාවිච්චි කරන විදිය

ෆොයිල් කියන්නේ අපි කුස්සියේදී පාවිච්චි කරන දෙයක්. මොනවා හරි කෑමක් රස්නේ පිටින් තියෙන්න ඕන නම් අපිට තියෙන්නේ ෆොයිල් එකකින් ඒ භාජනයේ කට තදින් ආවරණය කරන්න. ඒ විතරක් නෙවෙයි, කුස්සියේ තව සෑහෙන වැඩකටයුතු වලට ෆොයිල් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ඔය ෆොයිල් එන්නේ රෝල් විදියටනේ. ඉතින් සමහරු කරන්නේ පෙට්ටිය ගලවලා රෝලම එලියට අරගෙන කඩලා ගන්න එක. මේ ක්‍රමේදී ෆොයිල් රෝලේ කොටසක් නාස්ති වෙන්නත් පුළුවන්. හැබැයි ෆොයිල් රෝල සම්පූර්ණයෙන්ම පෙට්ටියෙන් එළියට ගන්නේ නැතුව, මුලින් කරන්න තියෙන්නේ ෆොයිල් රෝල තියෙන පෙට්ටියේ දිගට ලකුණු කරලා තියෙන කඩ ඉරි දිගේ ගලවන එක. ඉන් පස්සේ පෙට්ටිය දෙපැත්තේ ඇඟිලි වලින් හිල් කරන්න පුළුවන් විදියට කඩ ඉරි වලින් ලකුණු කරලා තියෙන කොටස හිල් කරන්නයි තියෙන්නේ. දැන් අර ටොයිලට් පේපර්ස් රෝලක් එල්ලනවා වගේ ෆොයිල් රෝල පහසුවෙන්ම එල්ලලා, අවශ්‍ය කොටස් විතරක් ඇදලා අරගෙන ගාණට කඩාගන්න පුළුවන්.

 

7. හරියට යූඑස්බී/හෙඩ්ෆෝන් කේබල් එකක් ඔතන විදිය

මෙන්න මේක නම් ගොඩක් දෙනෙක්ට පුදුමාකාර හිසරදයක්. මොකද සමහරුන්ගේ බෑග් එකෙන් හෙඩ්සෙට් එක ගත්තට පස්සේ, ඒකේ වැටිලා තියෙන ගැට ගලවන්න සක්කරමුත්තට වත් බැහැ. අනික මේ නියම විදියකට නැතුව කේබල් ඔතන එකෙන් කේබල් එකට, කේබල් එක ගැජට් එකට සම්බන්ධ වෙන තැන්වලට පහසුවෙන්ම හානි සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කියමු කේබල් එක අපි තදින් ඔතලා, ඒක පෝට් එකේ ඔළුවට හරි ඉයර්බඩ් වල ඔළුවට හරි සම්බන්ධ වෙන තැන නැවෙනවා කියලා. එහෙම ටික දවසක් යනකොට දන්නෙම නැතුව එතනින් කැඩිලා යනවා. ආන්න ඒ නිසා මේ කේබල් ඔතනකොට අර රෝඩී රැප් (roadie wrap) කියන ක්‍රමයට, ඒ කියන්නේ රවුමට ඔතලා, මොකකින් හරි ගැටගහන්න පුළුවන්. එහෙම නැතුව දිග අතට ඔතනවා නම් කේබල් එකේ මුල සහ අග තියෙන කනෙක්ටර් වල ගෙල හරිය නැවෙන්නේ නැති වෙන්න සීරු මාරු කරලා ඔතන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *