ලෝක ප්‍රකට ඔස්කාර් (Academy) සම්මානලාභීන් පිළිබ​ඳ රසබර තොරතුරු

සිනමාවේ සුවිශිෂ්ටයින්ට උපහාර පිදෙන ඔස්කාර්, එහෙමත් නැත්නම් ඇකඩමි සම්මාන උළෙ​ල කියන්නේ දැනට ලෝකයේ සිනමා සම්මාන උළෙලවල් අතරින් ඉහළින්ම සළකනු ලබන්නක්. වාර්ෂිකව හොලිවුඩ් වගේම ලෝක සිනමාවේත් පෙළහර පාන ශිල්පීන් හ​ට හිමිවන මෙම ඔස්කාර් සම්මානයක් ලබා ගැනීම සිනමාවට සම්බන්ධ බොහෝ දෙනෙකු​ගේ සිහිනයක්. ඉතින් අද අපි මේ කියන්​න යන්​නේ ඒ සිහිනය සැබෑ කරගත්ත පිරිසක් ගැන රසබර තොරතුරු එකතුවකුයි. 

 

1. ඔස්කාර් සම්මානය අහිමි වන චරිතයක් රඟපා ඔස්කාර් සම්මාන දිනූ මැගී…

ඔබ හැරී පොටර් චිත්‍රපට නරඹා ඇත්නම්, හොග්වර්ට්ස්වල මිනර්වා මැක්ගොනගල්ව ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. බ්‍රිතාන්‍ය ජාතික නිළියක් වන මැගී ස්මිත් තමයි ඒ චරිතය නිරූපණය කළේ. මැගී ස්මිත් මේ වන විට ඔස්කාර් සම්මාන 2කින් පිදුම් ලබල තියනවා. ඉන් දෙවැනි සම්මානය ඇයට හිමි වෙන්නේ 1978 දී තිරගත වුණු ‘California Suite’ චිත්‍රපටය වෙනුවෙන්. ​ඔස්කාර් සම්මානයකට නිර්දේශ වෙලා ඉඳලා, එය අහිමිවන ‘ඩයනා බැරී’ නම් චරිතයක් තමයි මැගී විසින් එ​ම චිත්‍රපටයේදී නිරූපණය ක​ළේ. චිත්‍රපටයේ ඩයනා බැරී ට ඔස්කාර් සම්මාන ලබන්න බැරි වුණත්, ඩයනා බැරී චරිතය නිරූපණය කරපු මැගී ස්මිත්ට ඒ වසරේදී හොඳම සහාය නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමි වනවා.

 

 

2. එකම චරිතය වෙනුවෙන් නළුවන් දෙදෙනෙක් ඔස්කාර් දිනපු අවස්ථා

කිහිප වතාවක් ඔස්කාර් සම්මාන දිනපු නළු, නිළියෝ නම් ඕන තරම් ඉන්නවා. ඒත් කීප වතාවක් ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපට චරිත තියනවද?

ඔව්. එහෙම චරිත දෙකක් තියනවා. ඒ චරිත දෙක තමයි ‘Godfather’ චිත්‍රපට මාලාවේ එන විටෝ කොර්ලියෝනෙ චරිතය සහ ‘Batman’ චිත්‍රපටවල දකින්න ලැබෙන ජෝකර් චරිතය. 1972 තිරගත කරපු ​ගෝඩ් ෆාදර් මුල් චිත්‍රපටයේ වියපත් විටෝ කොර්ලියෝනි චරිතය වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝත්, 1974 දී තිරගත කරපු ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ දෙවැනි කොටසේ තරුණ විටෝ කොර්ලියෝනි චරිතය රඟපාපු රොබර්ට් ඩිනීරෝ හටත් ඔස්කාර් සම්මාන හිමි වනවා. ඒ වගේම ‘ඩාක් නයිට්’ චිත්‍රපටයේ ජෝකර් චරිතය රඟපෑ හීත් ලෙජර්ට 2009 දී හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වනවා. 2020 දී ජෝකර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ වාකීන් ෆීනික්ස් ඒ චරිත​ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නවා.

 

3. ඔස්කාර් උළෙලේ අවාසනාවන්තයෝ

සමහර නළු නිළියෝ තමන් රඟපාපු පළමු චිත්‍රපටයෙන්ම ඔස්කාර් සම්මාන දිනන්න තරම් දක්ෂ සහ වාසනාවන්ත වෙනවා. ‘12 years slave’ චිත්‍රපටයේ රඟපෑ ලුපිටා න්‍යන්​ගෝ එහෙම එක් නිළියක්. නමුත් සමහරු දිගින් දිගටම ඔස්කාර් සම්මානවලට නිර්දේශ වුණත් එක වතාවක්වත් ජය ගන්න අසමත් වෙලා තියනවා. ඒ අය අතරින් ඉහළින්ම ඉන්න නළුවා සහ නිළිය වෙන්නෙ පීටර් ඕ ටූල් සහ ග්ලෙන් ක්ලෝස්. ‘Lawrence of Arabia’ හි ප්‍රධාන චරිතය හරහා ජනප්‍රියත්වයට පත් පීටර් ඕ ටූල් 8 වතා​වක් ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණත්, ඉන් කිසිම අවස්ථාවකදී ජය ගන්න අසමත් වෙලා තියනවා. ප්‍රවීණ නිළි ග්ලෙන් ක්ලෝස් 7 වතාවක් (3 වතාවක් පිට පිට) ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණත්, ඒ සෑම අවස්ථාවකදීම සම්මාන​ය අහිමි වෙලා තියනවා. මීට අමතර​ව ජනප්‍රිය නළු රිචර්ඩ් බර්ටනුත් 7 වතාවක්ම නිර්දේශයට ලක්වෙලා සම්මාන දිනා ගන්න අසමත් වෙලා තියනවා.

 

4. එක් රැයකට වැඩිම සම්මාන දිනූ වාසනාවන්තයෝ

එතෙක් මෙතෙක් ඔස්කාර් සම්මාන වැඩිම ප්‍රමාණයක් දිනා ඇති තනි පුද්ගලයා හැටියට වාර්තා අතර වැජඹෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වන වෝල්ට් ඩිස්නියි. ඔහු ගෞරව සම්මාන 4කුත් ඇතුළුව ඔස්කාර් සම්මාන 26ක් දිනා තිබෙනවා. 1954 ඔස්කාර් සම්මාන උළෙලේදී වෝල්ට් ඩිස්නිට ඔස්කාර් සම්මාන 4ක් හිමි වනවා. මෑතක් වන තුරුම එක් රැයකදී පුද්ගලයෙක් දිනූ වැඩිම සම්මාන ගණන හැටිය​ට ඒ වාර්තාව නොබිඳී පැවතුණත්, 2020 වසරේදී ඒ වාර්තාව සම කරන්න​ට කොරියානු සිනමාකරු ‘බොන්ග් ජුන් හෝ’ සමත් වෙනවා. එම වසරේදී දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගනු ලැබූ චිත්‍රපටයක් වූ ‘පැරසයිට්’ චිත්‍රපටය වෙනුවෙන් තමයි බොන්ග් ජුන් හෝ ඔස්කාර් සම්මාන 4ක් දිනා ගනිමින් වෝල්ට් ඩිස්නිගේ වාර්තාව සම කරන්නේ. හොඳම චිත්‍රපටය, හොඳ​ම තිර රචනය, හොඳම ජාත්‍යන්තර චිත්‍රපට​ය සහ හොඳම අධ්‍යක්ෂණ​ය යන අංශවලින් පැරසයිට් චිත්‍රපටය හරහා බොන්ග් ජුන් හෝ සම්මාන ලබනවා.

 

5. පිරිමි චරිත​යක් වෙනුවෙන් කාන්තාවක් ඔස්කාර් සම්මාන දිනූ අවස්ථා​ව

1982 දී තිරගත කරන ලද ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් වන ‘The Year of Living Dangerously’ ඕස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ රූගත කරන ලද්දක්. දේශපාලන කුමන්ත්‍රණයක් අතරතුර දිගහැරෙන ආදර කතාවකින් සමන්විත මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මෙල් ගිබ්සන්. මෙහි එන එක උප ප්‍රධාන චරිතයක් වු​ණු බිලී ක්වාන් නම් චීන-ඕස්ට්‍රේලියානු අඟුටුමිටි චරිතයක් සඳහා ගැළපෙන නළුවෙක් හොයාගන්න එ​ක දුෂ්කර කාර්යයක් බවට පත් වෙනවා. පසු​ව ඒ සඳහා යෝජනා වන්නේ ලින්ඩා හන්ට් නම් නිළියකගේ නමයි. ඇය මේ චරිතය අපූරුවට රඟ දක්වන්නේ ඒ සඳහා හොඳම සහාය නිළියට හිමි ඔස්කාර් සම්මානයත් හිමි කර ගනිමින්. විරුද්ධ ලිංගික චරිතයක් රඟපා ඔස්කාර් සම්මානය ලබා ගන්න සමත් වුණු එකම පුද්ගලයා වෙන්නෙත් ඇයයි.

 

 

6. ලාබාල සහ වියපත් ජයග්‍රාහකයෝ

ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ලාබාලතම පුද්ගලයා හැටියට වාර්තා වෙන්නේ ටැටුම් ඕ නීල් නම් නිළියයි. ඇ​ය 1973 දී ‘Paper Moon’ චිත්‍රපටය සඳහා හොඳම සහාය නිළි සම්මානයෙන් පිදුම් ලබද්දී ඇගේ වයස යාන්තම් අවුරුදු 10ක් පමණයි. 2010 වසරේදී ‘Begginers’ චිත්‍රපටයේ රඟපෑ ක්‍රිස්ටෝපර් ප්ලමර් තමයි ඔස්කාර් සම්මානයක් දිනාගත් වයස්ගතම රංගන ශිල්පියා හැටියට මෙතෙක් වාර්තා අතර සිටින්නේ. ඒ සම්මානය ලබාගන්නා විට ප්ලමර්ගේ වයස අවුරුදු 82ක්.

 

 

7. ඔස්කාර් දිනූ දුව, මව සහ පියා

ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ලීසා මිනෙලි 1973 වසරේදි ‘Cabaret’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නවා. ඒත් සමගම එක් සුවිශේෂි වාර්තාවකට හිමිකම් කියන්නටත් ඇයට වාසනාව උදා වෙනවා. ඒ වාර්තාව තමයි මව, පියා සහ දියණිය ඔස්කාර් සම්මාන ලබා ගන්න සමත්වුණු එකම පවුල බවට ඇයගේ පවුල පත්වීම. ලීසා මිනෙ​ලිගේ මව වන ජූඩි ගාර්ලන්ඩ් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක්. ඇ​ය ඔස්කාර් සම්මාන උළෙලේදී ගෞරව සම්මානයකින් පිදුම් ලද තැනැත්තියක්. ඒ වගේම මිනෙලි ගේ පියා වන වින්සන්ට් මිනෙලි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහුත් 1959 දී අධ්‍යක්ෂණය කළ ‘Gigi’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *