අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 13 කොට​ස

මේ ලිපි පෙළ ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැති හින්දා අපි වැඩිය කතාබහක් නැතුව අපේ කලා ලෝකයේ අප්‍රකට කතා කීපයක් ගැන දැන කියා ගමු… 

 

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 10 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 11 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 12 කොට​ස

 

1. පුණ්‍යා හීන්දෙණියගේ සටහන

පුණ්‍යා හීන්දෙණිය මහත්මියගේ ආදරණීය සැමියා වන මිල්රෝයි නානායක්කාර මහතා මියගිය පුවත බොහෝ කලා රසිකයන්ටත් ශෝක දායක පුවතක් වුණා. ඔවුන් දෙදෙනා අතිශය සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ යුවළක් බව ප්‍රකට කාරණයක්. පසුගිය අප්‍රේල් 28 වැනි දා පුණ්‍යා හීන්දෙණිය මහත්මිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ තුන්වෙනි ගුණානුස්මරණය යෙදෙන දින ෆේස්බුක් හි ඉංග්‍රීසි බසින් සටහනක් තබා තිබුණා. ඉන් කියවුණේ “ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමනි, මට ඔබතුමා කෙරෙහි තිබෙන ගෞරවය සහ කෘතඥතාවය පිළිබඳව මගේ මිල්රෝයිම ඔබතුමාට ඇවිත් කියාවි” කියලා. ඇය මේ සටහන අවසන් කරලා තිබ්බේ මිල්රෝයි නානායක්කාර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින්.

 

2. ජයදාරීගේ අම්මලා දෙන්නා 

ගුණවතී ගුණවර්ධන සහ සැන්ටින් ගුණවර්ධන කියන්නේ අපේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අමතක නොවන නම් දෙකක්. ඔවුන් දෙදෙනාම වේදිකාවේ බොහෝ දුර යන්නේ හෙන්රි ජයසේන මහතාගේ නාට්‍ය කණ්ඩායමත් එක්ක. මේ නිසාම ගුණවර්ධන යුවළ ජයසේන පවුලේ සමීප හිතවතුන් බවට පත්වෙලා හිටියා. දවසක් ගුණවතී ගුණවර්ධනගෙන් ඇගේ දියණිය වන ජයදාරී අමුතුම ප්‍රශ්නයක් අහනවා. ඒ “අම්මා මට අම්මල දෙන්නෙක් ඉන්නව නේද” කියලා. මේ ප්‍රශ්නෙන් පුදුමයට පත් වෙන ගුණවතී ගුණවර්ධන “කවුද අනිත් අම්මා?” කියලා අහනවා. “ඇයි අම්මේ මානෙල් අම්මා” කියලා ජයදාරී උත්තර දෙනවා. මානෙල් ජයසේන මහත්මිය තමන්ගේ පවුලේ සාමාජිකයන්ව අම්මා කෙනෙක් වගේ බලා ගත්ත විදිහ ගැන ගුණවතී ගුණවර්ධන මහත්මිය අදටත් මතක් කරන්නේ කඳුළු පිරුණු දෑසින් යුක්තවයි.

 

3. අහස්ගව්ව

අමරසිරි කලංසූරිය නිතරම කියන දෙයක් තමයි “අහස්ගව්ව” චිත්‍රපටයේ තිබ්බෙ එයාගෙම ජීවිත කතාව කියන එක. මේ නිසාම ඔහුට එම චිත්‍රපටයේ රඟපාන්න තරම් දෙයක් තිබ්බෙ නෑ, ඔහුට තිබ්බේ චිත්‍රපටයේ  ජීවත් වෙන්න. එක්තරා සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය තමන්ට ලැබෙන අවස්ථාවේදී තමන් වේදිකාවට ගොඩ වුණේ දෙතුන් පාරක් හිතල කියලා එතුමා පවසලා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ අනිත් නළු නිළියන් ඉහළම මට්ටමේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්දැද්දි කලංසූරිය ඇඳන් ඇවිල්ල තියෙන්නේ තමන් හැමදාම අඳින කලිසම සහ ෂර්ට් එක.

 

 

4. දිනිති වල්ගමව කෑ මදුරුවා 

ජනප්‍රිය නිවේදිකාවක සහ නිළියක වන දිනිති වල්ගම මෑත කාලයේදී යූ ටියුබ් නාලිකාවක් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. එහිදී ඇය පළ කළ අදහසක් සමග තවත් වැඩසටහනකදී  ඇගේ අවසරයකින් තොරව පෙන්වන ලද ඇය මදුරුවෙකුට බය වී කෑ ගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන් පසුව සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වුණා. නමුත් ඇය ඒ පිළිබඳව ඊට පෙර  පැහැදිළි කිරීමක් කර තිබුණා. එම සිදුවීම ඥාති නිවසකදී සිදුවුණු සිද්ධියක් බවත් එය රූගත කොට ප්‍රසිද්ධ මාධ්‍ය වලට මුදා හැරීම ගැන තමන් කණගාටුවට පත්වන බවත් ඉන් කියැවුණා.

 

5. මා මළ පසු සොහොන් කොතේ 

සිරිල් වික්‍රමගේ “සිහින ලොවක්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දි මහගමසේකර ලවා ගීතයක් රචනා කරගන්න ඔහුට ඕන කමක් තිබ්බා. ඔහුව හමුවෙන්න ගම්පහ නිවසට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය ගැන කිව්වම සේකර කිව්වේ එහෙම හදිසියට සින්දු ලියන්න බෑ. ඕන්නං කුරුටු ගාපු සින්දු කීපයක් ඩයරි එකේ ඇති ඒකෙන් එකක් තෝරගන්න කියලා. සේකර කුරුටු ගෑ ඒ ඩයරිය පෙරළපු සිරිල් වික්‍රමගේ හිතට වැදිච්ච පදපෙළක් තිබ්බ පිටුවක් කඩාගෙන සංගීත අධ්‍යක්ෂක සෝමදාස ඇල්විටිගල හම්බවෙන්න ගියා. ඇල්විටිගල මේ ගීතය අමරදේව ලවා ගායනා කළා. ඒ ගීතය තමයි මා “මළ පසු සොහොන් කොතේ.” 

 

6. අතින් අතට ගි​ය “දම් පාටින් ලා සඳ බැස යනවා” 

ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල විසින් ගායනා කරන අතිශය ජනප්‍රිය ගීතයක් වන “දම් පාටින් ලා සඳ බැස යනවා” ගීතය ලූෂන් බුලත්සිංහල විසින් මුල් වරට රචනා කරන්නේ ඔස්ටින් මුණසිංහ සහ අනුලා මෙන්ඩිස් වෙනුවෙන්. ඒ වෙනකොට ලූෂන් සහ අනුලා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගිලා තිබ්බේ නැහැ. ලූෂන් මේ ගීතයට පාදක කරගත්තේ තමන්ගේ ප්‍රථම ප්‍රේමයේ විරහව. නමුත් අවාසනාවකට වගේ ඔස්ටින් සහ අනුලා කියන ගීතය ගුවන් විදුලියේ නිරීක්ෂක මණ්ඩලය මගින් අනුමත වෙන්නේ නැහැ. මේ ගීතය අහගෙන ඉන්න ගුණදාස කපුගේ මේ ගීතය තමන්ට ගායනා කරන්න දෙන්න කියලා ඉල්ලනවා. ඒ අනුව තමයි  කැපිච්ච ගීතයක් ලංකාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන්නේ.

 

 

7. වික්ටර්ගේ තහනම් වුණ ගීතය

අපේ කලින් සඳහන් කළා වගේම ගුවන් විදුලියේ නිරීක්ෂක මණ්ඩලයක් විසින් වික්ටර් රත්නායකගෙ ගීතයකුත් තහනම් කළා කියලා ඔබ විශ්වාස කරනවද? ඒ ගීතය තමයි “සිනා දොළක් වන් සිනාමලී” ගීතය. මේ ගීතයෙන් කියවෙන්නේ දැරියක  වැඩිවියට පත්වීම ගැන කියන පදනම මත තමයි මේ ගීතය තහනම් වෙන්නේ. වික්ටර් රත්නායක කියන විදිහට ඒ සඳහා මූලිකත්වය කරන්නේ අපේ රටේ හිටිය විශිෂ්ට ගණයේ පඬිරුවනක් වන විමල් අභයසුන්දර මහත්තයා. කරුමෙකට හරි අද ඇහෙන සින්දු ඔය නිරීක්ෂණ මණ්ඩලයට ගියානම් මොනවා වෙයිද?

 

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *