වයසට යන්න යන්න යාළුකම් සෑහෙන සංකීර්ණ වෙනවා. මොන්ටිසෝරි කාලේ එක කෑම පෙට්ටියෙන් කාපු අය කාලෙක දී කලිසම ඔළුවෙන්ම ගලවලා යනකන් කවුරුත් දන්නේ නෑ. මෙහෙම ඉතින් වයසට යාමත් එක්ක යාළුවෝ ගාණ හරිම සීමිත වෙනවා. සමහරවිට කට ඇරලා මේ මගේ යාළුවා කියන්න පුළුවන් වෙන්නේ එකම එක්කෙනාටයි. අන්න එයා ඔයාගේ හොඳම යෙහෙළිය. ඔය යාළුකමේ වටිනාකම වැඩි වෙන්නෙත් ඉන්න තරමක් මිනිස්සු ඔයාව දාලා යද්දී තමයි. ඕනි දේකට එවරෙඩි ඉන්න ඒ ආදරණීය යෙහෙළියට ආදර සම්බන්ධයක දී වගේම හිත් කොනක නොකී කතන්දර ගොඩක් තියෙනවා.
1. ඔබ ඇයට කොතරම් ආදරේ ද බව

Image Source – stocksy.com
මගේ හොඳම මිතුරිය මෙයා ය. මං එයාට ආදරේය වගේ ඒවා කිසි අවුලක් නැතුව කිව්වේ චූටි කාලේ. ඒවත් ඔය රචනා අරවා මේවා ලියද්දී. ඕක කවදාවත් මූණට කියන්නේ නැහැ. හැබැයි ආදරේ තියෙනවා උතුරන්න. ඇයි ඉතින් හැමදේට ම ඉන්නේ එයා. ඔය අප්‍රකාශිත ප්‍රේමේ ප්‍රකාශ වුනොතින් එහෙම දෙන්නම හෙන අපහසුතාවෙට පත් වෙනවා. හෙන ආතල් යාළුකමක් නම් මොන කෝලම් ද යකෝ මේ කියලා අනික් පැත්තෙන් උත්තරේ එන්න පුළුවන්. හැබැයි මේ දේ කටින් කියන්නේ නැතුව පෙන්වන්න පුළුවන්. සෝෂල් මීඩියා පැත්තේ හෑෂ්ටැග් දාලා කියුටීස් බෙස්ටීස් කියන යාළුකමට නම් මේක අදාළ වෙන්නේ නැහැ. මහපොළවේ ඇත්තම ඇත්ත ආදර කතාවක් තරමටම ඇයට තියෙන ආදරේ මෙච්චරයි කියලා කවදාවත් කියන්න පුළුවන් වෙන එකක් නැහැ.
2. හිත් රිදවීම්

Image Source – medium.com
මේකේ දෙපැත්තක් තියනවා. එයාගෙන් ඔයාට වුණ දේවල් සහ ඔයාගෙන් එයාට වුණ දේවල්. මේ දෙකේදීම සමාව ගැනීම සහ දීම හොඳම යෙහෙළියෝ වචනයෙන් කරන්නේ නැහැ. වරදක් වුණ සැනින් අනික් අතට කොහොමත් සමාව දීලා ඉවරයි. ආය ඉතින් සොරි සොරි ගගා පස්සෙන් යන්න දෙයක් නැහැ. හැබැයි මෙහෙම දෙයක දී දෙපාර්ශ්වයම සෑහෙන දුකට පත් වෙනවා. ඒක දෙන්නම දන්නවා. එහෙම වෙලා තිබිලත් සොරි කියන්න පෙළඹෙන්නේ නැත්තේ හීනමානේ නිසා නෙවෙයි, ඒක දෙන්නට ම අමුතු දෙයක් නිසා. හොඳම මිතුරියන් දෙන්නෙක් කියන්නේ එතන ඔය ගරුකටයුතු වැඩවලට ඉඩක් තියෙන තැනක් නෙවෙයි.
3. ඇය කොතරම් ලස්සන ද බව

Image Source – stocksy.com
ආයේ අයෙත් කියනවා මේක මේ බොක්කේ ෆිට්වලට විතරක් අදාළ වෙන දෙයක්. එහෙම එකක දී කියන්නේ අනික් එකීගේ තියන කැත ගැන විතරයි. මොන තරම් ලස්සන වුණත් කියන්නේ අඩුපාඩුවක් විතරයි. ඒත් ඔයා දන්නවා එයා තරම් ලස්සන කෙල්ලෙක් ගම් හතකවත් නැහැ කියලා. ඕක කියන්නේ නැහැ ගුරුත්වෙට එහා ගිහින් එයා උඩින් යාවිය කියලා. හැබැයි ඒ පාර්ශ්වෙන් දන්නවා ඔයා තරම් ඇයව අගය කරන්නියක් කොහෙවත් නැති බව.
4. ඇයගේ ඇසුරෙහි ඇති දැඩි කැමැත්ත

Image Source – stocksy.com
එයාට හොඳම කෙනා කියලා කියන්නේ හේතුවක් ඇතුවයි. හොඳම කෙනෙක් ළඟ මිස වෙන කා ගාවද අපි ඉන්න කැමති? එහෙටත් නැති මෙහෙටත් නැති වල්පල් කියව කියවා ඉන්න ඒ සුළු මොහොතට ඔයා පුදුමාකාර විදියට ආදරෙයි. හැබැයි කියන්න යන්නේ නැහැ. ඕක කිව්වොතින් ඒක මොන තරම් ‘awkward situation’ එකක් වේවි ද කියලා හිතලා බලන්නකෝ. මේවා නොකිව්වට මේ දේවල් ගැන එයා දන්නවා. එයා එක්ක ඉන්නකොට ඔයාගේ ඇස් දිලිසෙන දිලිසිල්ලට ඔය නොකියන ඔක්කොම කතා කියවෙනවා.
5. ඇය කොතරම් විහිළුසහගත ද යන වග

Image Source – lifehacker.com
හාස්‍යය සම්බන්ධයෙන් හැඟීමක් දැනීමක් නැති කෙනෙක් නම් හොඳම යෙහෙළිය විදියට තියාගෙන ඉන්නේ, ඒක ලොකුම ලොකු අපරාධයක්. හොඳම යෙහෙළියට ඉන්න ඕනි අන්දරේ වගේ කෙනෙක්. හැමතිස්සේම හිනා වෙවී වටේ පිටේ ඉන්න දෙනෝදාහක් අයට ඇද කර කර ඉන්න එකත් රහක්. එයාගේ කතන්දරවල හොඳම රසිකයා තමයි ඔයා. මොන තරම් හිනා යන විහිළුවකට වුණත් ඔයා එයාට කියන්නේ ඒක මෙලෝ රහක් නැති විහිළුවක් කියලයි. හැබැයි ඒක තමයි රහම. ඒක හිනා වෙලාම කඳුළු පනින්න ඔන්න මෙන්න තියන ඔයාගේ මූණෙන් එයා තේරුම් ගන්නවා.
6. ඇය මොන තරම් හොඳ යාළුවෙක් ද බව

Image Source – thoughtcatalog.com
ඇත්තටම ඔයා එයා එක්ක ඉන්නෙත් මේ හේතුව නිසාමයි. යාළුවෙක් විදියට හැම අතින්ම එයා හරිම හොඳයි. ඔය හොඳේ කවදාවත්ම එයාට කියන්න යන්නෑ හැබැයි. කරදරයක් තිබ්බත් නැතත් හයියකට ඉන්නේ එයා. කවදාවත් තනිකමක් දැනෙන්න ඉඩ හරින්නේ නැහැ. ඔයා වෙනුවෙන් අනික් අයත් එක්ක හරි හරියට ඔට්ටු වෙන්නේ මේ හොඳ යාළුකම නිසයි. එයා ඉන්නකන් කවුරුත් ඔයාට වචනයක්වත් කියන්න එන්නේ නැහැ.
7. ඔබ ඇය වෙනුවෙන් ඕනිම දෙයක් කරන බව

Image Source – images.hellogiggles.com
ඇත්තටම මේ දේ කරන්න හැකියාවක් නැත්නම් ඔයා එයාගේ හොඳම මිතුරිය ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රායෝගිකව මේ දේ ඔයා අතින් සිද්ධ වෙනවා. හැබැයි ලව් කරද්දී කියන බොළඳ කතා වගේ මේ දේවල් මූණට කියන්නේ නැහැ. කියන්නත් බැහැ. කිව්ව සැනින් අමු කොමිකල් එකක් බවට පත් වෙන නිසා.
Leave a Reply