විසි අවුරුදු විරාමයකට පසු නැවත ගිනිගත් ඇෆ්ඝනිස්තානය

 ඇෆ්ඝනිස්තානය කියන්නේ කවදාවත් සාමකාමී රටක් නෙමෙයි. සෝවියට් කඩා වැදීම්, බ්‍රිතාන්‍ය ආක්‍රමණ ආදී අතීත යුධමය තත්ත්වයන් වලට පසුව 2002 දී ඇමරිකානු හමුදව ඇෆ්ඝනිස්තාන තලේබාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන්ට ප්‍රහාර එල්ල කළා. ඒත් දැන් වසර 20ක් අවසානයේ නැවතත් තලේබාන් පාලනය ඇෆ්ඝනිස්තානයෙන් 70%කට වඩා පෙදෙසක් අත්පත් කරගෙන තියෙනවා. විශාල මුදලක් වියදම් කරලා හමුදා බලය යෙදෙව්වත් එයින් ත්‍රස්ත නායකයින් ඝාතනය වුණා හැර ඇෆ්ඝන් වැසියන්ට සෙතක් ශාන්තියක් වුණාද යන වග අද ලෝක මාධ්‍යවලින් දැඩිව ප්‍රශ්න කරනවා.

 

1. බයිඩන්ගේ කතාව

ජෝ බයිඩන් ජනපතිතුමා කියපු විදිහට 2001 දී පටන් ගත් ඇෆ්ඝනිස්තාන යුද්ධය ඇමරිකානු ජනාධිපතිවරු 4 දෙනෙකුට උරුම වුණා. ඒත් ඔහු තවදුරටත් යුද්ධය ඊළඟ ජනාධිපතිවරයෙකුට උරුම කරන්නේ නැහැ. මේ ගැන පළවූ මත නම් බයිඩන්ට සුබවාදී නැහැ. මොකද 2002දී ඇමරිකාව ඇෆ්ඝනිස්තානයට ගහනකොට බයිඩන් ඇවිල්ලා ප්‍රබල සෙනට් සභිකයෙක්. පසුව ඔබාමා පාලනය ඇෆ්ඝනිස්තානයට පහර දෙනකොට ජෝ බයිඩන් උප ජනාධිපති වෙලත් හිටියා. ඒ අනුව ප්‍රබල තැනක සිට, කොටින්ම ඇෆ්ඝනිස්තාන දේශපාලනය සමග සෘජු ගනුදෙනු කරන මට්ටමක සිටි අතීතයක් හිමි කෙනෙක් විදිහට බයිඩන් කෙලින්ම ඉක්මනින් ඇෆ්ඝනිස්තානයෙන් අමරිකානු හමුදා ඉවත් කරගැනීමේ වැඩපිළිවෙළ විවේචනයට ලක් වුණා.

 

2. යුද්ධයේ ඇමරිකානු පිරිවැය

ඇමරිකානු සෙබළුන් විදෙස් යුදබිම් වලදී ජීවිතක්ෂයට පත් වීම නූතන ඇමරිකාවට දැඩි ලෙස සංවේදී තත්ත්වයක්. සිය රටට එන සතුරු කරදරයකදී ඒ සඳහා හමුදා මැදිහත්වීමට මහජනතාවගේ සහාය ලැබෙනවා. ඒත් සිය දේශයෙන් බොහෝ දුර ඈත රටක ජනයා වෙනුවෙන් ඉස්ලාමීය සටන්කාමීන් සමග සටන් කිරීම ඇමරිකානු ජනතාව බහුතරයකට රුචි දෙයක් නෙමෙයි. මේ යුධ කටයුතු වලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට වඩා වියදමක් මේ 2001-2021 කාලයේදී වියදම් වෙලා තියෙනවා. ඒ වගේම මේ 2001 දී පටන් ගත් ඉරාක සහ ඇෆ්ඝන් යුධ කටයුතු වලදී ඇමරිකාව සිය හමුදා සෙබළු 7,000කගේ ජීවිත අහිමි කරගෙන තියෙනවා.

 

3. ඇමරිකාව පිට වූ පසු ඇෆ්ඝනිස්තානය

යුද්ධයක් කියන්නේ වෙඩි තියන එකම නෙමෙයි. යුද්ධයට සෑහෙන වියදමක් යනවා. ඒ වියදම මෙතෙක් කල් ඇමරිකාව දිනුවා. ඒ වගේම යුධ කටයුතු වලට සෑහෙන තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. මෙතෙක් ඇමරිකානු සෙබළු තලේබාන් ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කළා. තලේබාන් ත්‍රස්තවාදීන්ට තිබුණ ලොකුම බාධකයක් තමයි ගුවන් ප්‍රහාර. ඇෆ්ඝන් ගුවන් හමුදාවක් හදලා යානාවන් දීලා ගියත් ඒ යානා නඩත්තු කරගැනීම මේ වෙද්දි ඇෆ්ඝනිස්තානයට ප්‍රශ්නයක් වෙලා.

 

4. තලේබාන් ගැටළු ඉවර නොවුණේ ඇයි?

ඇමරිකානු හමුදා ගොඩබැහැපු ඉරාකය, පැරණි වියට්නාමය වගේ රටවල ඇමරිකානු හමුදාවලට මහජන සහයෝගය ලැබුණේ අඩුවෙන්. ඒ රටවල තිබුණ දේශපාලන ප්‍රශ්න වලට වඩා ඇමරිකානු හමුදා සිය අවි කෙරේ විශ්වාසය තැබුවා. ඉතින් තලේබාන්වරුන්ට තවමත් ඇෆ්ඝනිස්තානයේ දුෂ්කර පළාත්වල ජනතාවගේ සහයෝගය ලැබෙනවා. 2002න් පස්සේ ඇෆ්ඝනිස්තානයේ ඉලක්ක වෙතට බෝම්බ වැටෙද්දි පාකිස්තානයේ අහුමුළු වල තලේබාන් සහ අල්ක්වයිදා සාමාජිකයින්, නායකයින් සැඟවුණා.

 

5. පාකිස්තාන සහ ඉරාන මැදිහත්වීම්

ඇෆ්ඝනිස්තානයට මායිම්ව ඉරානය සහ පාකිස්තානය තියෙනවා. ඇෆ්ඝනිස්තානයට දැඩි ගුවන් ප්‍රහාර ඇවිත් ත්‍රස්තවාදීන් කොටසක් මිය යද්දී ඉතිරි කොටස පාකිස්තානය තුළට ඇතුළු වුණා. ඔවුන් පාකිස්තානයෙන් ඉවත් කරන්න ඉස්ලාමීය රටක් විදිහට ඇමරිකානු හමුදාවලට පාකිස්තාන සහාය සෘජුව ලැබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඉන්දියාව පාකිස්තානයට විරුද්ධ පැත්තේ සිටගෙන මෑතකදිත් ඇෆ්ඝනිස්තාන ආණ්ඩුවට සහාය දුන්නා. ඉරානයත් ඉන්නේ ඇමරිකාවට විරුද්ධ පාර්ශවයේ. ඒ එක්ක තත්ත්වය එන්න එන්නම සංකීර්ණ වුණා.

 

6. අල්ක්වයිදා නායකයින් ඝාතනය

පාකිස්තානයට ගොස් සැඟවී සිටි ඔසාමා බින් ලාඩන් ඇමරිකානු මෙහෙයුම් මගින් ඝාතනය වුණා. ඒ එක්ක කලින් සිටි තලේබාන් ව්‍යාපාරයේ සැළකිය යුතු පිරිසක් මිය ගියා. ඒත් නැවත තලේබාන් සහ ඉස්ලාමීය සටන් කණ්ඩායම් ඇෆ්ඝනිස්තානයේ හිස එසෙව්වා. මේ හිස එසවීම හුදෙක් ඇෆ්ඝනිස්තාන ඇතුළේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනටත් ඇෆ්ඝනිස්තානයේ සටන් කටයුතු වලට චීනයේ සහාය ලැබෙන බවට ඇමරිකාව සෘජුව චෝදනා කරනවා.

 

7. ඇෆ්ඝන් ජන ජීවිතය

කාබුල් සහ නගර කිහිපයක් පමණයි දැනට ඇෆ්ඝනිස්තානයට අයිති වෙන්නේ. මේ විසි අවුරුදු කාලසීමාව තුළ ලංකාවට දැනෙන වෙනසක් වුණා නම් ඒ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම තමයි. ඇෆ්ඝනිස්තානයට ක්‍රිකට් ක්‍රීඩාව එන්න වගේම කාන්තාවන්ට නිසි තැන ලැබෙන්නත් අධ්‍යාපන කටයුතු දියුණු වෙන්නත් ඇමරිකානු මැදිහත් වීම හේතු වුණා. ඒත් ඒක පවත්වාගන්න එක දැන් ලොකු ගැටළුවක්. තලේබාන් නීති යටතේ සම්පූර්ණ හිස සිට පාදාන්තය තෙක් වහගෙන ගමන් කරන ගැහැනු අය වෙනුවට දැන් කාබුල් නුවර නිදහසේ ඔළුව පර්දාවකින් වසා සිටින යුවතියන් හමු වෙනවා. ඇතැම් ලාබාල යුවතියන් කලින් ඇෆ්ඝන් ඉතිහාසය අත්දැක නැහැ. නැවත තලේබාන් පාලනයට සම්පූර්ණ ඇෆ්ඝනිස්තානය යට වුණොත් ෂරියා නීතිය මගින් කාන්තාවන්ට තැන නැතිවේවි. ඒ වගේම ජනතාවගේ මානව හිමිකම් දැඩි අවදානමට ලක් වේවි.

 

විදෙස් රටවල් වල බලපෑම් ඇෆ්ඝනිස්තානයට නැති වුණ කාලයක එය සාමකාමී රටක් වෙයි. එක් පසෙකින් මුදල් සහ ආයුද ත්‍රස්ත ඉස්ලාමීය කණ්ඩායම් වලට සපයන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම සමාජ අර්බුද නිසා ඒ ඉස්ලාමීය සටන්කාමීන්ට සෙබළු හොයාගන්නත් ඇෆ්ඝනිස්තානයේදී අපහසු නැහැ. ඉතින් මේ ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්න ඇෆ්ඝනිස්තාන රටේ පිරිසකට ඇමරිකාව එහි සිටි විසි අවුරුදු කාලය යම් සැනසීමක් ගෙනාවා. ඒත් ඒ සුළු පිරිසගේ තත්ත්වයත් ඉස්සරහට මොනා වෙයිද කියලා දන්නේ ඔවුන්ගේ අල්ලා දෙවියන් වහන්සේම පමණයි.