අනපේක්ෂිත නිවාඩුවක් අපිට ලැබුනා කියන්නේ මාර චාන්ස් එකක්. ඒ වගේ වෙලාවක විනෝද වෙන්න පුළුවන් තමයි. ඒත් විනෝද වෙනවා වගේම තව මොනාහරි අලුතින් ඉගෙනගන්නත් ඒ අනපේක්ෂිත නිවාඩු පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට එක්සෑම් එකක් කල් යෑම, අයහපත් කාලගුණය නිසා සැලසුම් කළ වැඩක් මග හැරීම, වසංගත තත්ත්වයක් ඇතිවීම වගේ ගොඩක් හේතු නිසා අපිට නිකං ගෙදර ඉන්න චාන්ස් වදිනවා. ඒ වගේ වෙලාවක දවසේම නිදාගෙන නැගිට්ටත් ආයෙත් නිදාගන්න හිතෙනවා. එහෙම නින්දෙන් අපිටත් අපේ ඇඟටත් ලැබෙන සෙතක් නැහැ. ඒ වගේ වෙලාවට අපිට ඔන්ලයින් ඉගෙනගන්න දේවල් ටිකක් බලමු.
1. කාර්මික වැඩ
කාර් එකක් තියෙනවා නම් කාර් එක වැඩකරන හැටි ඉගෙනගන්න පුළුවන්. බාස්ලට පාඩම් කියාදෙන මට්ටමට නැතත් කාර් එකේ පද්ධති වැඩ කරන ආකාරය,අපේ කාර් මොඩල් එකේ තාක්ෂණික විස්තර, ඒ ඒ කාර් වර්ගයට තියෙන පොදු දෝෂ ආදිය අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේම ඩීසල්, පෙට්‍රල් එන්ජින්, බ්‍රේක් පද්ධති, වායුසමන පද්ධති, ගියර් පද්ධති ආදිය ගැන කදිම වීඩියෝ සහ පාඩම් අන්තර්ජාලයේ තියෙනවා. ඔටෝ මෝබයිල් ගැන තියෙන හොඳ පාඩම් මාලාවනුත් යම් යම් මිල ගණන් වලට අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේ කාර්මික වැඩ වලට ආසාවක් තියෙන කෙනෙක්ට කිසිම අපහසුතාවයකින් තොරව ඒවා ඉගනගන්න හැකි වේවි.
2. ඉවුම් පිහුම්
කෝවිඩ්-19 නිවාඩු කාලේ ලංකාවේ අය නම් අපේ අම්මා යූ ටියුබ් චැනල් එකේ තියෙන ගොඩක් කෑම ජාති ගෙවල් වල අත්හදා බලලා තිබුනා. කෑම හදනවා කියන්නේ හොඳ විනෝදයක් ලැබෙන වැඩක්. කෑමක් සවුත්තු වුණාම ටිකක් දුක හිතුනාට, හොඳට හදලා ගෙදර අයත් ඒක රස කර කර කද්දි අපේ හිතට ලොකු ගැම්මක් එනවා. කෑම හදන්න වයිෆ් වෙන්නම ඕනි නැහැ. පිරිමි අයටත් ගෑස් ලිප තියෙනවා නම්, අවන් එක තියෙනවා නම් බඩුටික හදාගෙන, යූ ටියුබ් බලාගෙන කෑම හදන්නට පුළුවන්. කෑම හදන අය එකතු වෙලා කරන ගෲප්ස් ආදියත් අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේ තැන්වලින් අපිට අවශ්‍ය තවත් දැනුම ලබාගන්නත් පුළුවන්. කෑමක් බීමක් හදන්න දන්නේ නැහැ කියන එක සමහර අයට ආඩම්බරයට කාරණාවක්. ඒත් කෑම ටිකක් උයාපිහාගන්න ඉගෙනගත්තොත් අපිට කැමති රස කෑම හදලා, ගෙදර අයටත් ඒවා පිළිගන්වන්න වටිනා අවස්ථාවක් අපිට ලැබෙනවා.
3. වගා වැඩ
වගා කටයුතු පිළිවෙලට ඉගෙනගන්න තැන් අන්තර්ජාලයේ තියෙනවා. දැන් තියෙන ෆේස්බුක් සමූහ මගින් අපේ වගාවලට එන උවදුරු ආදියත් හඳුනාගන්නට පුළුවන්. මේ වගා වැඩ තැත් වරද ක්‍රමයට වගේම හොඳට පාඩම් විදිහට උගන්වන තැනුත් තියෙනවා. ඒ වායේදී වගා කටයුතු තාක්ෂණිකව දියුණු කරගන්නා හැටි කියාල දෙනවා. අපි සරලව හිතුවාට වගා කටයුතු කියන්නේ තාක්ෂණය යහමින් පාවිච්චි වෙන දෙයක්. වර්තමානයේ හරිතාගාර තුළ වගාකිරීම තුළින් කුඩා ඉඩකින් විශාල අස්වනු ගන්න දියුණු රටවල් ක්‍රියා කරනවා. ඒ වගේ කුඩා හරිතාගාරයක් හදාගන්න හැටි ඔන්ලයින් පාඩම් මාලවකින් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක පස්සේ කාලෙක අමතර ආදායම් මාර්ගයක් විදිහටත් පාවිච්චි කරන්නට පුළුවන්.
4. පයිතන් ප්‍රෝග්‍රෑමින්
අන්තර්ජාලයේ විවිධ ආකාරයේ පාඩම් මාලාවන්, ඩිප්ලෝමාවන්, සහතික පත් නිකුත් කරන පිළිගත් අධ්‍යාපනික ස්ථාන තියෙනවා. කෝසරා, එඩ් එක්ස් ආදී ඔන්ලයින් ඉගැන්වීම් වලටම ජනප්‍රිය තැන් තියෙනවා. ඒවා හරහා ලෝකයේ පතල විශ්ව විද්‍යාල වල සහතිකපත් අපිට ලබාගන්නට පුළුවන්. හොඳ අධ්‍යන කාර්යමණ්ඩල යටතේ විවිධ ඇගයීම් ක්‍රමයන් යටතේ මේ ඔන්ලයින් කෝස් වලදී සිසුන්ගේ තත්ත්වය මැන බලනවා. මේ කෝස් ලෝකේ ප්‍රකට විශ්ව විද්‍යාල වලින් එන නිසා ඒවායේ වටිනාකම තවත් වැඩියි. ඉගෙනගන්නා යුගයේ ඉන්න කෙනෙක්ට වගේම වෙනත් අයෙකුටත් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඉගෙනගන්න වටින දෙයක්. හොඳ යුනිවර්සිටි එකක සුපිරි ප්‍රෝග්‍රෑමින් පාඨමාලාවක් නිවාඩුවකදි කරන්න හොඳ ගේම් එකක් කරගන්නත් ඔයාලට පුළුවන්.
5. භාෂා
බ්‍රිටිශ් කවුන්සිල්, බී බී සී ලර්නින් ඉංග්ලිශ් වගේ සයිට් වලින් ඉංග්‍රීසි භාෂාව එදිනෙදා පුවත් සහ සිද්ධි ඇසුරෙන් ආකර්ෂණීය ලෙස උගන්වනවා. බබෙල් වගේ ඇප්ස් වලිනුත් ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවන් උගන්වනවා. භාෂාවන් ගත්තාම අපි භාෂාවක් ඉගෙනගැනීමෙන් අපේ මොළේ හැකියාවන් වර්ධනය වෙනවා වගේම තවත් පිරිසක් එක්ක හොඳට සන්නිවේදනය කරන්න අපිට හැකියාව ලැබෙනවා. භාෂාවන් කියන්නේ ඔන්ලයින් ඉගෙනගන්න තියෙන සුලභ දෙයක්. අලුතින් භාෂාවක් ඉගෙන ගන්න ඕනි කිය කිය හිත හිත ඉන්නෙ නැතුව පොඩි ඩොලර් ගාණක් වියදම් කරලා හරි ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කළොත් යම් ප්‍රමාණයක් ඒ හරහා අලුත් භාෂා දැනුමක් හදාගන්න ඔයාලට හැකි වේවි.
6. අලුත්ම දෙයක් ට්‍රයි කිරීම
ඔන්ලයින් ඉගැන්වීම් තියෙන තැන්වල පාඨමාලාවන් සිය ගාණක් තියෙනවා. ඒ අතර අපි කැමති, අපිට සමීප විෂයයන් වගේම එහෙම නැති දේවලුත් තියෙනවා. අපි සරලව හිතමු පුරාවිද්‍යාව. බොහෝ දෙනා හිතන්නේ පුරාවිද්‍යාව කීවම එය පොත පත එක්ක යන බෝරින් විෂයයක් කියලා. එහෙත් වර්තමානයේ පුරාවිද්‍යාව කියන්නේ ජීපීඑස්, කැමරා, ස්කෑනින්, ඩ්‍රෝන් තාක්ෂණය, විද්‍යාත්මක ගවේෂණ ආදී විශාල පරාසයක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගත් වැදගත් විෂයයක්. ඒ වගේ දෙයක් හරහාත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. සාමාන්‍යයෙන් සමාගම් වල තාක්ෂණික අංශ, ගිණුම් අංශ, මානව සම්පත් අංශ, මාකටින් අංශ අතර නිරන්තර තරගයක් තියෙනවා. ඒ එක් එක් කණ්ඩායම් අනික් අය කරන්නේ ලේසි වැඩක්ය, තමුන් කරන්නේ අමාරු වැඩක්ය කියලා හිතනවා. ටිකක් විවේක නිවාඩුවක් ලැබුනහම අපිට සමීප නැති අලුත් විෂයයක මූලික කොටස් හරි ඉගෙනගත්තොත් අපිට ඒ අනෙක් අය කරන දේවල් තේරුම් ගන්න වඩාත් පහසු වෙනවා.
7. පර්ෆෝමින් ආට්
ප්‍රාසාංගික කලාව කියන ටිකක් අමාරු වචන වලින් හඳුන්වන මේක ඔන්ලයින් ඉගෙනගන්න තියෙන වැදගත් විෂයයක්. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේදි කොච්චර දක්ෂයෙක් වුනත් අපිට ඒ දේ හරියට ආකර්ෂණීයව ඉදිරිපත් කරන්න බැරිවුනොත් අපි ෆේල් වෙනවා. ස්පීච් හෙවත් කතාවක් කිරීම වගේම ප්‍රසන්ටේශන් ඉදිරිපත් කිරීම, යම් අදහසක් දැක්වීම, ලේඛනයක් ලිවීම වගේ දෙයක් වුනත් ආකර්ෂණය ලැබෙන විදිහට කළොත් අපිට ඉක්මනින්ම ඉදිරියට යන්න පුළුවන් වෙනවා. පර්ෆෝමින් ආට් කිව්වහම විශාල පරාසයක් අයිති වුනත් නාට්‍ය හා රංග කලාව එහි මූලික කොටසක් වෙනවා. බොහෝ දෙනා රඟපෑම ඉගෙනගත යුතු දෙයක් විදිහට නොදැක්කත් ටික් ටොක් හරහා ජනප්‍රිය වූ අයෙක් දිහා බැලුවත් ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඔවුන්ට වැදගත් වෙලා කියලා අපිට පේනවා. යම් පණිවුඩයක් පිරිසකට දෙන්න තියෙද්දි ඒකට සුදුසුම ක්‍රමය හොයාගන්න අපට පර්ෆෝමින් ආට් වලින් ලොකු පිටුවහලක් ගන්නට පුළුවන්.
ඉගෙනගන්නවා කියන එක අපි මියයන තාක් කරන දෙයක්. ඒත් දෙයක් පිළිවෙලකට ඉගෙනගන්නවා කියන්නේ එදිනෙදා ජීවිතයේ දේවල් ඉගෙනගන්නවාට වඩා වෙනස්. සූප ශාස්ත්‍රය, වාහන තාක්ෂණය වුනත් යම් පිළිවෙලකට ඔන්ලයින් ඉගෙනගත්තොත් හුදෙක් කෑම හැදීම සහ වාහනයේ ලෙඩක් හඳුනාගැනීමෙන් එහාට එයින් වැඩක් ගන්නට අපිට හැකි වෙනවා. ෆෝන් එකෙන් ඔන්ලයින් ඉඳගෙන අනුන් කළ කී දෑ දිහා බලාගෙන ඉන්නවා වගේම අපිටත් දෙයක් කරන්නට හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් නිවාඩුවක් ලැබුනාම ඔන්ලයින් මොනාහරි ඉගෙනගන්න බලමු නේද?
Leave a Reply