සෙක්ස් සම්බන්ධයෙන් ලෝකේ ගොඩක් අය විශ්වාස කරගෙන ඉන්න බොරු කතන්දර – දෙවෙනි කොටස

හරි, අපි ඉස්සරවෙලාත් කතා කරලා තියෙනවා සෙක්ස් සම්බන්ධයෙන් ලෝකේ ගොඩක් අය විශ්වාස කරගෙන ඉන්න බොරු කතන්දර ගැන. විශේෂයෙන්ම ඔය දැනඋගත් කියලා සැලකෙන උදවිය පවා මේ සමහර සෙක්ස් ගැන තියෙන බොරු කතන්දර විශ්වාස කරනවා. ආන්න ඒ නිසාම තමයි අපිට ඕන කරන්නේ මිනිස්සුන්ට මේ සෙක්ස් ගැන තියෙන මිත්‍යා මත ඇත්තටම බොරු කතන්දර මිසක් සත්‍යය නෙවෙයි කියලා පෙන්නලා දෙන්න. අඩු තරමින්, එතකොට සෙක්ස් ගැන හොඳ අධ්‍යාපනයක් තියෙන, සෙක්ස් සම්බන්ධයෙන් මිත්‍යා විශ්වාස වල හිරවෙලා ඉන්න නිසා සෙක්ස් ලයිෆ් එක අවුල් කර නොගන්න පරම්පරාවක් බිහි වෙයිනේ.

 

දැන් ඔය කලිනුත් අපි කියලා තියෙනවා, සෙක්ස් කරන්න කොල්ලෙක්ට ලොකු ලිංගයක් තියෙන්න ඕනය, මංගල දිනේදී කෙල්ල කන්‍යාවක් නං අනිවා ලේ ගලන්න ඕන වගේ ගොන් ජෝක්ස් ගැන. අද කියන්න යන්නේ ඔය කලින් කියපු ඒවාට අමතරව තවත් ලෝකේ තියෙන අටපට්ටං සෙක්ස් මිත්‍යාවන් ගැන තමයි.

 

1. හස්ත මෛථූනය කළොත් අල්ලෙ කෙස් එයි!

මේක ඇත්තටම ඉස්සර පොඩි කාලේ කොල්ලො කොල්ලො අතර තිබුණ මිත්‍යා විශ්වාසයක් වුනාට, සමහර වෙලාවට හස්ත මෛථූනය නොකරන්න කියලා ළමයින්ට උපදෙස් දෙන අවස්ථාවලදී වුනත් හේතුවක් විදියට මේ කතන්දරේ කියනවා අපි දැකලා තියෙනවා. හරි, හස්ත මෛථූනය කළහම අතේ ශුක්‍රාණු ගැවෙනවා තමයි. හැබැයි කොහොමද ශුක්‍රාණු හින්දා රෝම කූප වත් නැති අල්ල වගේ තැනක අමුතුවෙන් රෝම එන්නේ? අමු විකාර කතාවක් නේද? ආන්න ඒක නිසා තමයි කියන්නේ ඕක මිත්‍යාවක් කියලා.

 

අපි කලිනුත් කියලා තියෙන විදියට, හස්ත මෛථූනයේ ප්‍රශ්නය වෙන්නේ ඒක ඇබ්බැහියක් වෙනවා නම්. ජීවිතේ මොන දෙයක් වුනත් ඇබ්බැහියක් වෙන එක අප්සට්නේ. ඒ ඇරෙන්න ඔය අල්ලේ කෙස් එනවා වගේ විකාර නං වෙන්නෙ නෑ.

 

2. ගිල්ලොත් ප්‍රෙග්නන්ට්!

මේක ඔය කාලෙකට කලින් පත්තරේක වෛද්‍ය තීරුවෙත් තිබිලා හාස්‍යයට ලක් වුණු කතන්දරයක්. හැබැයි කණගාටුවට කාරණාව කියන්නේ, තවමත් මේවා විශ්වාස කරන ගෑණු ළමයි ඉන්න එක. ඒ කියන්නේ, දැන් ඔය මුඛ සංසර්ගය තියෙනවනේ. සමහර වෙලාවට මුඛ සංසර්ගයේදී ශුක්‍රාණු තමන්ගේ කට ඇතුළට යන්න පුළුවන් නේ. දැන් සමහර ගෑණු ළමයි ඉන්නවා මළාට මුඛ සංසර්ගයට කැමති වෙන්නෙ නෑ. හේතුව, මුඛ සංසර්ගයෙන් බැරි වෙලාවත් ශුක්‍රාණු ගිලුනොත්, එව්වා බඩට ගිහින් තමන් ප්‍රෙග්නන්ට් වෙයි කියලා බය වීම. පිස්සු නේ!

 

3. පූල් එකේ නෑවොත් ඒත් ප්‍රෙග්නන්ට්!

ඔව්. දැන් ඔය වැඩි වියට පත් වුණු දූලා ඉන්න අම්මලා සමහරු තමන්ගේ දුවලට විහිළුවකටවත් ස්විමින් පූල් එකකට බහින්න දෙන්නෙ නෑ. ඇයි? පූල් එකට බැහැපු නෝටි කොල්ලෙක් පූල් එකේ ස්වයං වින්දනය කරලා එහෙම තිබුණොත්, පූල් එකේ ශුක්‍රාණු තිබිලා, එව්වා ගෑණු ළමයගේ ඇඟ ඇතුළට ගිහිල්ලා, ගෑණු ළමයා ප්‍රෙග්නන්ට් වෙයි කියලා හිතලා! පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. හරි, කොල්ලෙක් පූල් එකේ ස්වයං වින්දනය කළා කියමුකෝ. ඒත් ඉතින් පූල් එකේ වතුරත් එක්ක මිශ්‍ර වුණු ශුක්‍ර තරලයෙන්, ශුක්‍රාණු පීනගෙන ගෑණු ළමයගේ ඇඟට යන එක වෙන්න පුළුවන්ද? ශුක්‍රාණු වලට හොඳට පීනන්න පුළුවන් තමයි. හැබැයි ඒ ඇඟ ඇතුලෙදී. ඇඟෙන් එලියට ආවට පස්සේ ඒ සෙල්ලං ඉවරයි. ඒ නිසා මේක බොරු බයක්.

 

ඒ විතරක් නෙවෙයි, සමහර අම්මලා ඉන්නවා, කොල්ලෝ එක්ක ඔය ගඟක එහෙමවත් නාන්න යන්න ගෑණු ළමයින්ට දෙන්නෙ නෑ, උඩු ගං ඉන්න කොල්ලෙක් හස්ත මෛථූනය කරලා ශුක්‍රාණු ගඟට පහ කළොත්, ඒ ශුක්‍රාණු ගඟේ පහළ ඉන්න ගෑණු ළමයෙක්ගේ ඇඟට ගිහින් ප්‍රෙග්නන්ට් වෙයි කියලා. ඔව්වා මිත්‍යා මත විතරයි.

 

4. එයා කන්‍යාවක් නං, මට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වැළඳෙන්නෙ නෑ

මේක නරක විදියේ මිත්‍යා විශ්වාසයක්. ඇයි නරකයි කියන්නේ? මේ මිත්‍යා විශ්වාසය නිසා කෙනෙක් අනාරක්ෂිතව ලිංගිකව හැසිරිලා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් හදාගන්න හොඳ ඉඩක් තියෙන නිසා. දැන් කාන්තාවකගේ කන්‍යාභාවය නැති වෙන්න නම් සෘජු ලිංගික සංසර්ගයකට යන්න ඕනනේ. හැබැයි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වැළඳෙන්න ඉඩ තියෙන්නේ යෝනි මාර්ගික සංසර්ගයකට ගියොත් විතරද? නෑ පිංවතුනි. එහෙම නොවෙන වෙන ඕන තරම් ක්‍රම තියෙනවා, අනාරක්ෂිත ලිංගික එකතුවීමකින් පස්සේ හෝ වෙනත් තරල හුවමාරුවකින් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් වැළඳෙන්න. දැන් ඒ රෝග වාහකයා කන්‍යාවක් වුනා කියලා, එයත් එක්ක ලිංගිකව එකතු වෙන ඔබට ඒ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගය නොවැළදී තියෙන්නේ නෑ. එච්චරයි කතන්දරේ.

 

5. කොන්ඩම් එකක් බැරි නම් දෙකක්!

සමහරු ඉන්නවා ඔය ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් කියන එක සෑහෙන්න දුරකට ගෙනියනවා. ඒ කියන්නේ එක කොන්ඩම් එකක් වෙනුවට, වැඩි ආරක්ෂාවට කොන්ඩම් දෙකක් දැම්මොත් හොඳයි කියලා හිතනවා. ආන්න ඒක මිත්‍යාවක්. මිත්‍යාව වෙන්නේ ඇත්තටම කොන්ඩම් දෙකක් දැම්මහම වැඩි ආරක්ෂාවක් ලැබෙනවා කියන එක නෙවෙයි, කොන්ඩම් දෙකක් දාලා සෙක්ස් කරන්න පුළුවන් කියන එක. කොන්ඩම් දෙකක් දැම්මහම කොන්ඩම් එක ඉරෙන එක, ලිස්සන එක තමයි සිද්ධ වෙන්නේ!

 

ඊලඟට කොන්ඩම් සම්බන්ධ මිත්‍යාව තමයි, කොන්ඩම් වෙනුවට ඒ වගේ ආදේශක පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන එක. රබර් බැලුන්? ලන්ච් ෂීට්? එව්වා එකක් වත් ආරක්ෂිත ලිංගික එක්වීමකට උදවුවක් වෙන්නෙ නෑ කියන එක විතරක් කියන්නම්. කොන්ඩම් එකෙන් සැලසෙන ආරක්ෂාවට දාන්න ඕන කොන්ඩම් එකක්ම තමයි.

 

6. ඕර්ගැස්ම් එකට ඇතුලේ කරන්නම ඕන!

මේක ඇත්තටම මිත්‍යා විශ්වාසයක් කියලා අපි කියන්නේ, ඕර්ගැස්ම් එකක් නැතිනම් සුරතාන්තයක් කියන එක පුද්ගලයාගෙ පුද්ගලයාට වෙනස් වෙන දෙයක් නිසා තමයි. කොටින්ම කියනවා නම්, සමහර වෙලාවට කාන්තාවෝ ඉන්න පුලුවන් යෝනිමාර්ගික සංසර්ගය නැතිනම් සුරතාන්තයක් ලබන්න බැරි. හැබැයි සමහර වෙලාවට එහෙම වෙන්න හේතුවත්, යෝනිමාර්ගික සංසර්ගය නැතිනම් සුරතාන්තයක් ලබන්න බැහැයි කියලා හිතේ මුල් බැහැගෙන තියෙන හැඟීම වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එයා ස්වභාවයෙන්ම ඒ විදියේ වෙන්න පුළුවන්.

 

හැබැයි හැම කාත්නාවකටම යෝනිමාර්ගික සංසර්ගය නැතිනම් සුරතාන්තයක් ලබන්න බැහැයි කියලා ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ඉවසීම සහ හොඳ පළපුරුද්දක් තියෙනවා නම්, කාන්තාවක් එක්ක යෝනි සංසර්ගයක් නැතුව වෙනත් ක්‍රම වලින් ඇයව සුරතාන්තයට පත් කරන්න බොහොම ලේසියෙන් පුළුවන්. සුරතාන්තය ලබාගැනීම කියන කාරණාව එක් එක් කෙනාගෙන් එක් එක් කෙනාට වෙනස් වෙනවා කියන එක විතරයි තේරුම් අරගෙන ඉන්න ඕන.

 

7. මැච් එකට කලින් දවසේ සෙක්ස් බෑ!

මේක ඇත්තටම ඔය ක්‍රීඩා පුහුණුකරුවෝ එහෙම කාලෙකට කලින් ක්‍රීඩකයින්ට උපදෙස් දීපු කතන්දරයක්. ඒ කියන්නේ අපි කියමු ඔන්න ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා. මැච් එකට කලින් දවසේ ටිකක් කලින් නිදාගන්න, අනුමත වෙන්න යන්න එපා කියලා එහෙම කියන ඒවා අපිට තේරුම් ගන්න පුළුවනිනේ. හැබැයි කෝච් කිවුවොත් මැච් එකට කලින් දවසේ සෙක්ස් කරන්න එපා, සෙක්ස් කළොත් ඇඟේ ෆිට් එක බහී කියලා? ගොඩක් අය ඒක ඒ විදියටම පිළිගන්නවා. හේතුව, සෙක්ස් කරනකොට ඒකට ශක්තිය වැයවෙනවා, කැලරි දහනය වෙනවා කියලා අපි දන්නවනේ. අන්න ඒ හේතුව නිසා. හැබැයි ඇත්ත කතාව මේකයි. එහෙම මැච් එකකට, ස්පෝට් මීට් එකකට කලින් දවසේ සෙක්ස් කළා කියලා, තනියෙන් කළා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ආයෙ ඇඟ දුර්වල වෙන්නෙ වත්, ඒ වගේ වෙන කිසිම ආබාධයක් ඇතිවෙන්නෙ වත් නෑ!

 

දැන් තේරෙනවනේ අපි මෙච්චර කාලයක් ඇත්ත කියලා හිතාගෙන මොන තරම් සෙක්ස් සම්බන්ධ මිත්‍යා විශ්වාස කරපින්නගෙන ඇවිත්ද කියලා! ඒ නිසා අපි ඉස්සරහා පරම්පරා වලටවත් සෙක්ස් සම්බන්ධයෙන් හරි දේවල් කියලා දෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *