ඇත්තටම දේශපාලකයෙක්ගේ රැකියාවෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් මොනවද?

දැන් කවුද ඔය දේශපාලකයෝ නැතිනම් පොලිටීෂියන්ස්ලා කියන්නේ? දේශපාලකයෙක් කියන්නේ වෘත්තිමය වශයෙන් දේශපාලනයට සම්බන්ධ වෙලා, ජනතා ඡන්දයෙන් තේරී පත් වෙලා රජයේ යම් කිසි තනතුරක කටයුතු කරන කෙනෙක්. ඒ කියන්නේ ජනතා නියෝජිතයෙක් විදියට මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කිරීමේ ඉඳලා ඇමති ධූර සහ වෙනත් රජයේ තනතුරු වෙනකල් ඕනම එකක මේ දේශපාලකයෝ ඉන්න පුලුවන්.

 

එතකොට දැන් ඔය ජනතා ඡන්දයෙන් පත් වෙලා, ජනතා නියෝජිතයෝ වෙලා යන දේශපාලකයොන්ගේ ජොබ් එක මොකක්ද? දැන් ඔය දේශපාලක ගොල්ලොම කියන විදියට ඒ අයගෙ ජොබ් එක වෙන්නේ ජනතාවට සේවය කිරීම. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒ අය ඇත්තටම කරන්නේ තමන්ට සහ තමන්ගේ නෑසිය හිතමිතුරන්ට සේවයක් කරගන්න එක තමයි. ඒකනේ අපි අද දවසේ මුහුණ දීලා තියෙන තිත්ත ඇත්ත. හැබැයි එහෙම වුණත්, අද ඇවිත් රටේ තියෙන සම්පත් වලින් කොටසක් විනාස කරලා, තවත් කොටසක් තමන්ගේ පරම්පරාව පෝසත් කරන්න යොදාගන්න ගොඩක් දේශපාලකයොන්ව, ඊළඟ ඡන්දෙදිත් ජනතාව පත් කරලා යවන්නෙ ඇයි? ප්‍රධාන වශයෙන්ම ජනතාවට අදහසක් නෑ, මේ දේශපාලයොන්ගෙ ජොබ් රෝල් එක, එහෙම නැතිනම් තනතුරේ කාර්ය භාරය මොකක්ද කියලා. ඒ නිසානේ කවුරුහරි දේශපාලකයෙක් බජට් එකේ ගමට වැඩක් කරන්න වෙන් වෙලා තියෙන මුදලෙන් පාරක් කොන්ක්‍රීට් කළහම, ඒ පාර පටන් ගන්න තැන ඒ දේශපාලකයටයි, උන්දැගෙ නායකයාටයි, ඊටත් උඩින් ඉන්න නායකයාටයි, අන්තිමට ජනාධිපතිටයි ඔක්කොටම පිං දීලා, ඒ අයගේ මූණු දාලා තඩි බෝඩ් එකක් ගහන්නේ. ජනතාවට අදහසක් නෑ ඒක ඒ අයගේ රාජකාරියේ කොටසක් කියන එක!

 

ආන්න ඒ නිසා අපි හිතුවා, දේශපාලකයෙක්ගේ, පොදුවේ ගත්තොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ ජොබ් රෝල් එක මොකක්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න!!

 

01. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනගැනීම

දැන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කීයෙන් කී දෙනෙක් ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියෝලා ඇතිද? අන්න කතන්දරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දිව්රුම් දෙනකොටම පොරොන්දු වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපදිනවාය, ආරක්ෂා කරනවාය, එතකොට රාජ්‍යයේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමේ වගකීමට උරදෙනවාය කියලා. ඉතින් මන්ත්‍රී කෙනෙක් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න නං, මුලින් ඒක කියෝලා ඉන්න එපැයි. ඇත්තටම අපි හිතනවා මන්ත්‍රීවරයෙක්ගේ කාර්ය භාරයේ අංක එක වෙන්න ඕන කරන්නේ ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කාලෙන් කාලෙට ආපු ව්‍යවස්ථා සංශෝධන වගේ කරුණු කාරණා හොඳින් අධ්‍යයනය කරලා, රටේ දේශපාලනය ගැන විෂයක් විදියට දැනුවත් වෙන එක කියලා. දැන් පුටුවක් හදන්න වඩුවෙක් වෙන්නම ඕන නෑ. අවශ්‍ය ආම්පන්න තියේ නං අපිට වුණත් ගහක් කපලා පුටුවක් හදන්න පුලුවන්. හැබැයි කොලිටි පුටුවක්, කැඩිලා වාඩි වෙන එකාව බිම වැටෙන්නෙ නැති වෙන්න, කල් පවතින්න හදන්න නම්, ඒකට වඩුවෙක්ගේ ප්‍රවීණතාවය අවශ්‍යයි. අන්න ඒ නිසා,  මන්ත්‍රී කෙනෙක් විදියට තමන්ගේ ජොබ් එක කරන්නත්, ඒ ගැන අධ්‍යයනයක් සහ ප්‍රවීණතාවක් තිබීම අවශ්‍යයි.

 

02. පොදු සම්පත් භාවිතය

දැන් ඔය පොදු සම්පත් කිව්වහම මොනවද අයිති වෙන්නේ? සරලයි. මන්ත්‍රීවරයෙක් තමන්ගේ පුද්ගලික වැරවෑයමෙන්, පුද්ගලික උරුමයෙන් ලබාගත් හෝ උපයා ගත් සම්පත් හෝ ධනයට අයිති නොවෙන, තමන්ගේ තනතුර නිසා තමන්ට ලැබෙන සහ පුරවැසියෙක් විදියට තමන්ට පරිභෝජනය කරන්න ලැබෙන හැම දෙයක්ම පොදු සම්පත් තමයි. පැහැදිලි නැද්ද? දැන් අපි බස් ස්ටෑන්ඩ් එකක ඉන්නව නං, අපිට පුලුවන්ද බස් ස්ටෑන්ඩ් එකේ යකඩ බාර් එකක් ගලෝගෙන ගෙදර ගේන්න? බෑ. ඒක පොදු සම්පතක්. ඒ වගේම තමයි මන්ත්‍රී කෙනෙක්ට බෑ තමන්ට රජයෙන් ලබාදෙන යම් කිසි කාර්යාලයක් හරි වාහනයක් හරි පුද්ගලික වැඩ වලට යොදවන්න. තමන්ගේ නිල රථය වයිෆ්ට පොළේ යන්න ඩ්‍රයිවර් එක්කම පාවිච්චි කරන්න කියනව නං ඒක පොදු සම්පත් අවභාවිතා කිරීමක්!

 

03. සංවර්ධන කටයුතු

දැන් සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ කොට්ඨාසයට වැඩ කරන්න වෙන් කෙරුණු ප්‍රතිපාදන ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රතිපාදන එන්නෙ කොහොමද? ජනතා බදු මුදල් සහ වෙනත් ක්‍රම වලින්. කොටින්ම කියනවා නම් ඒ රටේ සල්ලි, ජනතාවගේ සල්ලි. දැන් ඔය ප්‍රතිපාදන වලින් මන්ත්‍රීවරයෙක් තමන්ගේ කොට්ඨාසයේ යම් යම් සංවර්ධන කටයුතු සිද්ධ කරනවා කියමු. පාරවල් නිසි විදියට පිළිසකර කරලා, තාර දාලා, කොන්ක්‍රීට් දාලා හදන එක එතකොට විදුලිය, ජලය වගේ පහසුකම් ඇති කරන එක. රැකියා අවස්ථා උත්පාදනය, ස්වයං රැකියා සඳහා පහසුකම් සැපයීම. සහ තවත් ඔය වගේ නොයෙක් දේවල් සංවර්ධනය විදියට ගත්තහම තියෙනවා. දැන් ඔය සංවර්ධන කටයුතු කරන එක මන්ත්‍රීවරයා ජනතාවට කරන අනුග්‍රහයක්ද? නෑ. ඒක තමයි රාජකාරිය. ඒක තමයි මන්ත්‍රීවරයාගේ ජොබ් එක. ඒ ජොබ් එකට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ ජනතා මුදලින්. එතකොට ඒ ජොබ් එක කරනවට මන්ත්‍රීවරයට පඩියක් ගෙවලා තවත් පහසුකම් සලසලා දෙන්නෙත් ජනතා මුදලින්. ඉතින් එහෙනං මොකටද ඕයි පාරක් කොන්ක්‍රීට් කළහම මන්ත්‍රීට පිං දීලා බෝඩ් එකක් ගහන්නේ? ඒක එයාගෙ ජොබ් එක. ඒක කරන්න තමයි එයාව ඒ ජොබ් එකට යවල තියෙන්නෙ. ඒ ජොබ් එක කරන්න බැරි නං ඉතින් අයින් වෙන්න ඕන.

 

04. ජාතියේ යහපත සහ ජනතාවගේ යහපත

දැන් ඔය මන්ත්‍රී කෙනෙක් වුණහම, තමන්ගේ තනතුරට අදාළ බලතල ක්‍රියාත්මක කිරීමේදී, තමන්ගේ කාර්ය සහ කර්තව්‍යයන් ඉටු කිරීමේදී පොදුවේ ජාතියේ යහපත සහ විශේෂයෙන්ම ඡන්ද දායකයින්ගේ යහපත පිණිස ක්‍රියා කරන්න ඕන කියලා මන්ත්‍රී කෙනෙක් දිව්රුම් දෙනකොට දෙන ප්‍රතිඥාවේම කියනවා. එතනදී මන්ත්‍රී කෙනෙක් තීන්දු තීරණ ගන්නකොට, එහෙම නැතිනම් යම් යම් තීන්දු තීරණ වලට තමන්ගේ තනතුරෙන් ලැබෙන ඡන්ද බලය පාවිච්චි කරනකොට හිතන්න ඕන පක්ෂේ ලැදියාවන් මොනවද කියලවත්, තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන මොනවද කියලවත්, තමන්ට කොක්ක ගහගන්න පුලුවන් කාටද කියන එකවත් නෙවෙයි. හරි විදියට ගත්තොත් ඒ ගන්න තීන්දු තීරණ හෝ තමන් මනාපය පළ කරන තීන්දු තීරණ ජනතාවගේ සහ රටේ යහපත වෙනුවෙන් වෙන්න ඕන. වෙන විදියකට කිව්වොත්, මොකක් හරි ලොකු කොමිස් එකකට රටේ සම්පතක් කුණු කොල්ලෙට බහුජාතික සමාගමකට ලියලා දෙන්න පාර්ලිමේන්තු මත විමසුමක් තිබ්බහම, ඒකට නිකම්ම අත උස්සලා, පස්සෙ කියන්න බෑ ‘අනේ මම ඒ ගිවිසුම කියෙව්වෙවත් නෑනේ, ලොක්ක මනාපෙ දෙන්න කිව්වා ඒකට, ඉතින් දුන්නා’ කියලා. එතකොට එයා ජාතියේ සහ ජනතාවගේ යහපත අනතුරේ හෙළලා කියලා තමයි කියන්න වෙන්නේ!

 

05. පුද්ගලික ලැදියාවන් බෑ

දැන් සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් වුණහම, එයාට කාර්ය මණ්ඩලයක් ඉන්නවනේ. එතකොට 99%ක් ම වගේ වෙලාවට සිද්ධ වෙන්නේ, තමන්ගේ වයිෆ්, හස්බන්ඩ්, ළමයි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ වගේ අයව ඒ කාර්ය මණ්ඩලේට දාගෙන, ඒ අයට පඩියකුත් ගෙවන එකනේ. එතකොට ඒ ඒ අයගෙන් හරියට තමන්ගේ රාජකාරිය ඉෂ්ට වෙනවද කියලා හොයලා බැලුවොත්, සමහර විට ඒ සමහරු ඔෆිස් එක තියෙන්නෙ කොහෙද කියලවත් නොදැන ඉන්න ඉඩ තියෙනවා. හැබැයි මන්ත්‍රී කෙනෙක්ට තියෙන චර්යා සංග්‍රහයේ පැහැදිලිවම සඳහන් වෙනවා, තමන් වැඩ කරන්න ඕන ජනතාවට මිසක් පවුලේ අයට, නෑදෑයන්ට, හිතමිතුරන්ට නෙවෙයි කියලා. ඒ අයට තමන්ගේ තනතුරේ පිහිටෙන් කිසිම මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබාදෙන්න බැහැයි කියලත්, පෞද්ගලික ප්‍රතිලාභ ඒ ඔස්සේ ලබාගන්න බැහැයි කියලත් ඒ චර්යා සංග්‍රහයේ කියනවා. ඒ කියන්නේ ඉතින් තමන්ගේ ගජ මිත්‍රයන්ට රජයේ ටෙන්ඩර් අත යටින් පාස් කරන එකත් කරන්න බෑ කියන එක තමයි. එතකොට තමන්ගේ පුංචි අම්මගෙ පුතාව කිසිම සුදුසුකමක් නැතුව අමාත්‍යාංශයේ තනතුරකට දාල දෙන්නත් බෑ කියන එක තමයි!

 

06. පාර්ලිමේන්තු කටයුතු වලට දායක වීම

දැන් පාර්ලිමේන්තුවෙන් මොනවද කරන්නේ? පාර්ලිමේන්තුව කියන්නේ ශ්‍රී ලංකාවේ නම් මන්ත්‍රීවරුන් 225 කගෙන් සැදුණු ව්‍යවස්ථාදායකය කියන්න පුලුවන්. ඒ කියන්නේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් කාර්යයන් තුනක් අඳුනගන්න පුලුවන්. එකක් තමයි ජනතාව නියෝජනය කිරීම. ඒ කියන්නේ ජනතාවගේ සහ රටේ සුබසිද්ධියට, අභිවෘද්ධියට අවශ්‍ය කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත්, රටේ අධ්‍යාපනයේ කොලිටිය ඉහළ නංවන්න තීන්දු තීරණ ගැනීම. දෙක තමයි ව්‍යවස්ථා සම්පාදනය සහ නීති පැනවීම. ඒකෙන් සිද්ධ වෙන්නෙත් රටට සහ ජනතාවට යහපතක් වෙන, ගැටළු අවම වෙන විදියට අවශ්‍ය ව්‍යවස්ථාවන් නිර්මාණය කිරීම. ඒ ඇරෙන්න විභාග කිරීම් සහ පරීක්ෂණත් පාර්ලිමේන්තුවෙන් වෙනවා. උදාහරණයක් විදියට, කවුරුහරි බැඳුම්කර වංචාවක් කරලා බිලියන ගණන් සල්ලි හොරකම් කලොත්, බදු වංචාවක් කරලා සීනි ගෙන්නලා බිලියන ගණන් වංචා කළොත්, එතකොට ලොකු ලොකු කොමිස් මුදල් වලට රටට වැඩක් නැති ව්‍යාපෘති පාස් කරගෙන තමන්ගේ මඩිය තර කරගත්තොත්, ආන්න ඒවා ගැන පරීක්ෂණ කරලා, ඒ වරදකරුවන් හොයාගෙන අවශ්‍ය කටයුතු කරන එකත් පාර්ලිමේන්තුවේම කාර්යයක්. දැන් එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ රාජකාරියේ කොටසක් තමයි මෙන්න මේ පාර්ලිමේන්තු කටයුතු වලට සක්‍රියව දායක වීම. ඒ කියන්නේ අවම දින ගාන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්න එක වත්, පාර්ලිමේන්තුවේ නිදා ගෙන ඉඳලා කැන්ටිමෙන් සුපිරි කෑම එකක් කාලා ගෙදර එන එකවත් නෙවෙයි, උඩ කියපු කාර්යයන් වලට සක්‍රියව සහභාගී වීම.

 

07. වගකීම් සහගත වීම

මෙන්න මේක දේශපාලඥයෙක්ගේ අතිශයින්ම බැරෑරුම් වගකීමක්. ඒ කියන්නේ, තමන් කරන කියන දේට, තමන් නියෝජනය කරන පාර්ශවයන්ට වගකීම් සහගත වීම. අපි මේක සරල උදාහරණ කීපයකින් තේරුම් ගමු. දැන් ඔන්න රටේ ආර්ථික වර්ධනය ගැන දේශපාලකයෙක් මාධ්‍යයට අදහසක් ප්‍රකාශ කරනවා. එයා කියනවා “මේ වෙනකොට රටේ උද්ධමනය මන්දගාමී වෙලා තියෙන්නේ, අපිට ඊළඟ මාසේ වෙනකොට මෙච්චරක් ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්” කියලා. හැබැයි අපි හිතමු රටේ සංඛ්‍යාලේඛන වලින් කියන්නේ අපි ඊලඟ මාසේ වෙනකොට අධි උද්ධමනයකට ඇතුළු වෙන්න නියමිතයි, ඊළඟ මාසේ වෙනකොටත් ආර්ථික වර්ධනය සෘණම තමයි කියලා. එතකොට මෙතන හිරිකිතයක් නැතුව රටට බොරු කියනවා කියන කාරණයට අමතරව, මේ මන්ත්‍රීවරයා වගකීම් පැහැර හැරීමකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ ජොබ් එක පැහැර හැරීමක් කියන්නත් පුලුවන්. ඉතින් ඒ නිසා, වගකීම් සහගත වීමත් මන්ත්‍රීවරයෙක්ගේ ජොබ් රෝල් එකට ඇතුළත්.

 

දැන් පැහැදිලියි නේද ජනතා ඡන්දයෙන් පත් වෙලා, ජනතාවගේ නියෝජිතයෝ විදියට පාර්ලිමේන්තුවට යන දේශපාලකයොන්ගෙන් ඇත්තටම සිද්ධ වෙන්න ඕන රාජකාරිය, කාර්ය භාරය මොකක්ද කියලා? ආන්න ඒ නිසා, ඊළඟ පාර ඡන්දෙ දීලා දේශපාලකයෙක්ව පත් කරගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න, මීට කලින් ඒ උන්දෑ ඇත්තටම තමන්ගේ වගකීම, රාජකාරිය හරියටම ඉෂ්‍ට කරලද තියෙන්නේ කියලා!

Leave a Reply

Your email address will not be published.