දැන් ඔය චේන් රෙස්‍ටුරන්ට් නැතිනම් දාම අවන්හල් කිවුවහම පොඩ්ඩක් කොයිල් වගේ උදවියට කියලා දෙනවා නම්, මේ කියන්නේ වෙන වෙන රටවල් වල ශාඛා සෑහෙන්න තියෙන අවන්හල් ගැන. ඒ කියන්නේ උදාහරණයක් විදියට KFC නැතිනම් මැක්ඩොනල්ඩ්ස්. දැන් මැක්ඩොනල්ඩ්ස් ලෝකේ රටවල් ගණනාවක ශාඛා සෑහෙන ප්‍රමාණයකින් තියෙනවා. ලංකාවේත් තියෙනවා. ඇත්තටම ඔය වගේ දාම අවන්හල් සෑහෙන්න ප්‍රමාණයක් අපි දන්නවා. උඩිනුත් කියපු KFC, මැක්ඩොනල්ඩ්ස් හැරුණු විට සබ්වේ, බර්ගර් කින්ග් වගේ ඒවත් වෙන රටවල ආරම්භ වෙලා ලෝකේ පුරාම පැතිරුණු දාම අවන්හල් තමයි. හැබැයි අපි කියන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න, ඒත් ලංකාවේ තියෙන ඉන්ටර්නැෂනල් රෙස්‍ටුරන්ට් වල ශාඛා කීපයක් ගැන. ඊළඟ වතාවේ කෝපි එකක් බොන්න, බර්ගර් එකක් කන්න, අයිස්ක්‍රීම් එකක් කන්න මේ තැන්වලින් එකක් එතකොට තෝරගන්න පුලුවන්.
1. BreadTalk
මේ වෙනකොට අවුරුදු 12 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා කියලා කියන බ්‍රෙඩ්ටෝක් එක ගැන කවුරුවත් නොදැන ඉන්න විදියක් නෑ. ලංකාවේ ගත්තත් මේ අයගේ ශාඛා දැන් පහක් හයක්ම තියෙනවා. ඇත්තටම බ්‍රෙඩ්ටෝක් කියන්නේ බේකරි කර්මාන්තයේ විශේෂඥයින් වුණු සිංගප්පූරු සමාගමක්. මේ අයගේ ශාඛා නවසීයකටත් වැඩියෙන් තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ලංකාවේ බ්‍රෙඩ්ටෝක් ගැන කතා කළොත් මෙහෙමයි. අනිවාර්යයෙන්ම ඉහළ මිල ගණන් වලට තමයි මේ අයගේ ඕනෑම අයිටම් එකක් අලෙවි වෙන්නේ. හැබැයි ඒවායේ රස සහ නිමාවත් එක්ක බැලුවහම ඒ ගණන් අසාධාරණයි කියන්නත් බෑ. අපේ අදහස තව චුට්ටක් ගණන් අඩු වුනානත් එලම කිරි කියලා තමයි. හැබැයි මේ අය කරන හැම එක්ස්පෙරිමන්ට් එකක්ම ගොඩයනවා කියලා කියන්නත් බෑ. මේ අයගේ සමහර අයිටම්ස් මරේ මරු. සමහර අයිටම්ස් ගෙවන ගාණට තේරුමක් නෑ.
2. Toby’s Estate
ගල්කිස්සේ තියෙන ටෝබිගේ වත්ත නැතිනම් ටෝබීස් එස්ටේට් එක කොළඹ තියෙන හොඳම කෝපි තියෙන තැනක් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම ටෝබීස් එස්ටේට් කියන්නේ ෆුල් රෙස්‍ටුරන්ට් එකක්. පිටතින් පේනවට වඩා ඇතුළේ සෑහෙන්න ඉඩ කඩ තියෙනවා. කෙනෙක්ට ගිහින් නිස්කලංකේ ඉන්නත් මෙතන මරු. මොකද වාඩි වෙන්න විවිධාකාරයේ අවකාශයන් කිහිපයක්ම මෙතන නිර්මාණය කරලා තියෙන නිසා. දැනගන්න ලැබෙන විදියට ටෝබීස් එස්ටේට් කියන්නේ බෘක්ලින්, නිව්යෝර්ක් පදනම් කරගෙන නිර්මාණය වෙලා පැතිරුණු කෝපි හල්/අවන්හල් ජාලයක්.
3. Dindigul Thalappakatti Restaurant
නම කිවුවහම ටිකක් අමුතුයි වගේ තේරුණත්, ඇත්තටම දින්දිගුල් තලප්පකට්ටි රෙස්‍ටුරන්ට් කියන්නේ ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ අවන්හල් ජාලයක්. විශේෂයෙන්ම බිරියානි වලට මේ අවන්හල් ජාලය ප්‍රසිද්ධයි. දැන් ඔන්න ශ්‍රී ලංකාවේත් මේ ප්‍රසිද්ධ දින්දිගුල් තලප්පකට්ටි රෙස්‍ටුරන්ට් එකේ ශාඛාවක් විවෘත කරලා තියෙනවා. උතුරු ඉන්දියාවේ වගේම දකුණු ඉන්දියාවේ කෑම බීම ලබාගන්න පුලුවන් මෙතන දින්දිගුල් තලප්පකට්ටි රෙස්‍ටුරන්ට් ජාලයට ආවේණික වුණු විශේෂ අයිටම්ස් එහෙමත් තියේවි කියලයි අහන්න ලැබෙන්නේ. හැබැයි ඉන්දියාවේ දින්දිගුල් තලප්පකට්ටි රෙස්‍ටුරන්ට් වල තියන සමහර මෙනු අයිටම්ස් නම් තාම ලංකාවට ඇවිත් නැති පාටයි.
4. Coffee Bean and Tea Leaf
සාමාන්‍යයෙන් කෝපි කියපුවහම ගොඩක් දෙනෙක්ගේ මතකයට එන නමක් තමයි කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් කියන්නේ. මෙතන කෑම නම් ඒ තරම් සුවිශේෂී නොවුනත්, කෝපි නම් මරු කියලා බය නැතුව කියන්න පුලුවන්. ඊටත් වඩා දෙන්නත් එක්ක ඇවිත් වුනත්, යාලුවොත් එක්ක ඇවිත් වුනත් හැන්ග් අවුට් වෙන්නත් මෙතන මරු. විශේෂයෙන්ම මේ අයගේ මෙට්ලන්ට් චන්ද්‍රවංකයේ තියෙන ප්‍රධානතම කොෆී ලෝන්ජ් එකේ හොඳට ඉඩ පහසුකම් තියෙනවා. ඊට අමතරව ලංකාවේ තව කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් ලෝන්ජ් පහක් තියෙනවා. හැබැයි මේ අයගේ මවු සමාගමේ ආරම්භය දකුණු කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් නුවර තමයි.
5. Baskin Robbins
බාස්කින් රොබින්ස් කියන්නේ ලෝකේ හැමෝම දන්න අයිස්ක්‍රීම් හලක් කිවුවොත් හරි. ඒකට හේතුව මේ ඇමරිකානු අයිස්ක්‍රීම් වෙළෙඳ ලකුණ මේ වෙනකොට ලෝකේ පුරාම පැතිරිලා තියෙන එක. ලංකාවේ ගත්තත් BR නැතිනම් බාස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් හල් කීපයක්ම තියෙනවා. මේ අයගේ අයිස්ක්‍රීම් හැබැයි රුපියල් සීයට දෙසීයට ගන්න නම් බෑ. ටිකක් ගණන්. හැබැයි රසත් බොහොම රිච්. හැබැයි මේ අයට ලංකාවේ නම් තවත් ඒ වගේම ප්‍රීමියම් අයිස්ක්‍රීම් ඉදිරිපත් කරන වෙළෙඳනාම කීපයක් එක්කම තරග කරන්න සිද්ධ වෙලා තියෙනවා.
6. TGI Friday’s
තෑන්ක් ගෝඩ් ඉට්ස් ෆ්‍රයිඩේ කියලා සුද්දා කියන විදියට අපි නොකිව්වට, ඇත්තටම සිකුරාදට අපිට දැනෙන්නෙත් ඔය විදියටම තමයිනේ. ඉතින් එහෙම ආතල් සිකුරාදා දවසක යාලුවොත් එක්ක හොඳට මස් රසට කෑම වේලක් කන්න යන්න තියෙන සුපිරි තැනක් තමයි TGI Friday’s කියන්නේ. ගණන් එහෙම නම් ඉතින් වැඩියි. මොකද මේක ඇමරිකානු අවන්හල් ජාලයක් වුනාට පොඩ්ඩක් විතර ෆයින් ඩයිනින් පැත්තට බර මෙනු අයිටම්ස් තමයි තියෙන්නේ. ඒත් ඉතින් මස් ස්ටේක් එකක් එහෙම රසට කන්න ඕන කෙනෙක්ට යන්න පුලුවන් තැනක් තමයි මේ. හැබැයි එකක්, සිකුරාදට එහෙම මෙතන කට කපලා සෙනඟ. ඒ නිසා කලින් බුකින් එකක් දාලා යන එක හොඳයි.
7. Takeout Lanka
බර්ගර් කියන්නේ ඇමරිකන් කෑමක්නේ. හැබැයි බන්ග්ලාදේශ් වල අයට ඇමරිකන් කාරයොන්ට වඩා හොඳට බර්ගර් හදන්න පුලුවන් වගෙයි පේන්නේ. අපි එහෙම කියන්නේ බන්ග්ලාදේශ් බර්ගර් රෙස්‍ටුරන්ට් චේන් එකක් වෙන “ටේක් අවුට්” කට්ටිය ලංකාවට ඇවිත් “ටේක් අවුට් ලංකා” කියලා වැඩ පටන් අරගෙන තියෙන නිසා. ඇත්තටම මැක්ඩොනල්ඩ්ස්, බර්ගර් කින්ග් වගේ තැන්වල බර්ගර්ස් වලට වඩා මෙතන බර්ගර්ස් බොහොම රසයි. ගාණ සාමාන්‍ය කොළඹ බර්ගර් එකකට වඩා ටිකක් වැඩි වුනත් අවුලක් වෙන තරම් වැඩි නෑ. හැබැයි මේ වෙනකොට මේ අය පටන් ගත්තු තැන නෑ. වෙනම අලුත් තැනකට යන්න සූදානමින් ඉන්න නිසා මේ දවස් වල ටේක් අවුට් ලංකා වහලා තියෙන්නේ. ඒත් මේ අයගේ වෙබ්සයිට් එක හරි ෆේස්බුක් පේජ් එක හරි එක්ක ටච් එකේ හිටියොත්, මේ අය ආයෙත් ඕපන් කරපු ගමන් රවුමක් දාලා එන්න පුලුවන් වෙයි.
එහෙමනම් මේ තැන් වලින් කාලා බැලුවට පස්සේ හරි, දැනටමත් කාලා තියෙනවා නම් දැන්ම හරි කමෙන්ට් එකක් දාලා අපිට කියන්න ඒ එක්ස්පීරියන්ස් එක ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලත්.
Cover Image Source – botanik.lk/ timeout.com
Leave a Reply