අවුරුදු කාලේ නෑදෑ හිතමිතුරු පස්න පත්තරේට ලෙසට උත්තර දෙමුද ?

Awurudu questions 101

වෙනස් විදියට හිතන මිතුරකුගේ නිවසට මෙවර ගිය විට, මිතුරා නිවසේ ඉදිරිපස පදාසයේ අමුතු අවලස්සන ආකාරයකට තීන්ත ගාමින් සිටිනු දක්නට ලැබුණි. ඔහුගෙන් “මචං මොකද මේ අවුරුද්ද කිට්ටු වෙලා තීන්ත අවුලෙන් ගාලා? මේක කැතයි නේ බං?” යැයි ඇසීමි. “ආන්න බලහං… ඒක ඇතිනේ බං… ඒක තමයි මට වෙන්ඩ ඕනා…” යාළුවා පිළිතුරු දුනි. “දැන් බලහං උඹට මතක් වුනාද මට කෙල්ලෙක් නෑ කියලා. අපේ අක්කට එක ළමේක් ඉන්නවා තව කෙනෙක් නැත්තේ මොකෝ කියලා? මගේ රස්සාව ස්ථිර නැත්තේ මොකෝ කියලා? නෑනේ? එකපාර දැක්ක ගමන් ගෙදර බිත්තියේ අවුල් තීන්ත වලට නේ පස්නේ ගියේ…”

 

Awurudu questions 101

Source – nammapaints.com

“ආන්න එහෙමයි මචං අවුරුද්දට ලෑස්ති වෙන්නේ…” හෙහේ හෙහ් හෙහ්. මා සිනාසුනෙමි. “යකෝ දැන් ඔන්න බලහං නෑයෝ ආවම… මේ ඉතිං තීන්ත ගාල තියෙන විදියෙනුත් පේන්නේ ඉතිං මේ ළමයගේ අපිළිවෙල නේ.. ඒම ගෑණු ළමයෙක් උන්න නම් කවදාවත් මේම වෙන් නෑනේ…” කියා හූල්ලාවි යැයි මා උත්තර දුනිමි. යාළුවා “ඒකත් ඇත්ත බං.” යැයි නිශ්ශබ්ධ වුනි.

 

1. ඇයි මෙහෙම අහන්නේ?

Awurudu questions 101

Source – disney.wikia.com

ඉන්දියානු ටෙලිනාට්‍ය වල ලාබ ආදර කතාවල තිබෙන පරිදි නෑයෝ යනු සෑමවිටම අපිට වින කටින්නට බලා සිටින මාර දූත පිරිසක් නොවේ. ඔවුන්ට අවශ්‍ය අපගේ පුද්ගලික ජීවිතය ගැන යම් අදහසක් ලබාගැනීමට සහ ඉන් පසු ඒ සඳහා පිහිට වීමට වේ. යම් උපේක්ෂා සහගත දෘෂ්ඨි කෝණයකින් බැලූ කල දරුවන්ගේ ජීවිත සාර්ථක කිරීම දෙමාපියන්ගේ මෙන්ම නෑදෑයින්ගේ ද වගකීමක් ලෙස අප රට නෑයෝ සළකති. ඔවුන්ට ජීවිත සාර්ථක වීම ගැන ඇත්තේ පටු දැක්මකි. එය ඔවුන්ගේම වරදක් නොවේ. නූතන පරම්පරාව තුළ වුවද නෑයින්ගේ ප්‍රශ්න ගැන තරහින් කතා කලද බොහෝ දෙනා තුළ ඇත්තේ කසාදයක් බැඳගෙන, පවුලක් වෙලා, ළමයෙක් දෙන්නෙක් හදාගෙන, කාර් එකක් කාරිය අරගෙන, හොඳ රස්සාවක් හොයාගෙන… ආදී වූ ඉලක්ක වේ. ඒවා ගැන විමසා දැනගැනීම සහ ඒවාට දරුවන් උනන්දු කිරීම වැඩිහිටියන්ගේ අරමුණ වේ.

එහෙත් මෙය තරුණයින්ගේ පසෙන් ගතහොත් මහත් කන්දොස්කිරියාවකි. කොතරම් ඉගෙන ගත්තේ වුවද, ඇප්ලිකේශන් කීයක් හතර වටේ යැව්වේ වුවද හරිහමන් රැකියාවක් නැතිව යාන්තම් සුළු රැකියාවක් කරන අයෙකුගෙන් “ආපෝයි පුතා තාම එතනද?” ආදී අසුබවාදී පස්න ඇසූ කල සැබැවින්ම ඒ අදාළ අයට තරහ ඒ. එහෙත් නෑයාගේ විශ්වාසය ඒ තුළින් අප තවත් උනන්දු වී හොඳ රක්ෂාවක් සොයාගන්නට උනන්දු විය හැකි බවය.

 

2. අහන පස්න

Awurudu questions 101

Source – imarriages.com

කසාද බඳින මගුල් සොයන වයසේ සිටීනම්… මොකද තාම නැත්තේ? එක්කෙනක් නැද්ද වැඩකරන තැනකවත්? හුම්…හැමදේටම කාලේ එන්න ඕනි නේ… නරකද හඳහන් වත් බැලුවොත්? ආදී ලෙස යෝජනා සහ ප්‍රශ්න රැසකට මුහුණ දීමට තනිකඩයාට සිදුවනු ඇත. ඒ සෑම විටම ඒවා ප්‍රතික්ශේප කර අලුත් අවුරුද්දේ සිත් බිඳුවා ගන්නවාට වඩා, “ඒකත් ඇත්ත තමයි. ඔව්. බලන්න ඕනි මේ අවුරුද්දේ වත්” ආදී ලෙස කෙටි පිළිතුරු දීම වඩාත් සුදුසුය. ඇතැම්විට එසේ අනුන්ගේ මගුල් සොයා නෑදෑ නිවෙස්හි සරනා අයගේ ෆයිල් සතුව ඔබට හිමි ඔබේ ප්‍රියයා සැඟවී සිටින්නටද හැකිය. එවිට එතැන මංගල කිංකිණි වලට රු. 1,000ක් ලබා නොදීමෙන්ම මංගල ප්‍රස්ථාවක් සෙට් කරගැනීමේ අවස්ථාව තනිකඩයාට උදා වේ.

 

3. පුද්ගලික ගැටළු

Awurudu questions 101

Source – sheknows.com

බැඳලා නම් දරුවන් නැත්තේ ඇයි? තනි දරුවා නම් දෙක නැත්තේ ඇයි? අලුත් නිවසකට නොයන්නේ ඇයි ආදී විශාල පරාසයක පවුල් පස්න නෑයින්ට දැනගැනීමට අවශ්‍ය වේ. සැබැවින්ම දරුවන් නොමැති දෙදෙනකුට අවුරුද්ද ගතකිරීම වේදනාබර අත්දැකීමකි. අනෙක් නිවෙස්හි දරු මුණුබුරන් සුරතල් කරමින් අවුරුදු සමරන අයුරු ඇතැම්විට එවැනි යුවලවල් විසින් බලා සිටින්නේ දුක්මුසු හැඟීමෙන් විය හැකිය. එවැනි අතිශය පුද්ගලික හේතු මත අපිට ඇතිවන පස්න අපේ පරම්පරාවෙන් හෝ අවම කරගැනීමට අප උත්සාහ කල යුතුය. අපේ පෙර පරම්පරාව දරුවන් නැති ගෙයක් දුටුවිට ගිය වනම “තාම සුබාරංචියක් නැත්තේ මොකෝ?” යැයි අසුවද අප හෝ මින් පසුව එවැනි පුද්ගලික දේ ගැන පස්න කිරිම නවතා හැමෝම කැමති රනිල්, මහින්ද, මෛත්‍රී, රට සහ දේශපාලනය, බඩු මිල, බදු වැනි මාතෘකාවක් ගැන වචන ටිකක් කතා කිරීම සියල්ලන්ගේම සිත් සන්තෝෂ කිරීමට හේතු වනු ඇත.

 

4. නෑ හිතමිතුරන්ට ම බෝලය පාස් කිරීම

Awurudu questions 101

Source – huffingtonpost.com

බාප්පා සහ පුංචි නිවසට ආ කල, තනිකඩ රැකියා සොයන දියණියගෙන්…

“තාම එකෙනෙක් නෑ නේද?” යැයි ඇසූ විට… “කෝ ඉතිං පුංචිලා හිටියට කෙනෙක් හොයා දෙන්නෙවත් නෑනේ…” යැයි නැවත ඇසිය හැකිය. එසේම රැකියා ගැන කියන විට “බාප්පල ඉන්නේ හැමදාම අපිට රස්සා තියෙද කියලා මාක් කරගෙන යන්න නේ? එකක් සොයාදෙන් නෑනේ” ආදී ලෙසින් බෝල පාස් කිරීමද අවුරුදු කාලේ නෑයන්ගෙන් එන අමිහිරි ගැටළු වලට හොඳ විසඳුමකි. එහෙත් පවුල් හි වෙඩින් සියල්ලම හමාර වී පුතා පමණක් ඉතුරු වූ කල. “දැන් ඉතිං ඕ දරුවා තමයි ඉන්නේ” යැයි මහළු ආච්චි හෝ සීයා කියන විට, “ඔව් ඉතිං දැන් ආච්චිත් වයසයි නේ ? ආච්චි තමයි ඊළඟට ඉන්නේ” යැයි කීම එතරම් නොගැළපේ.

කෙසේ වුවද අපට යම්කිසි අවුලක් ඇති වුවද මෙසේ පවුල් විස්තර ඇසීම කතාවකට මුල පිරීමේ අවස්ථාවකි. එය ලංකාවේ දෙබසක් ඇති වීමේ මූලික අවධියකි. එයින් ලැබෙන උත්තර ගැන එතරම් වැඩි සැළකිල්ලක් දක්වෙන අවස්ථාද අඩුය. එබැවින් අවුරුදු සමයේ නෑයින්ගේ පස්න කලිං හිතාගෙන ඒවාට අමුතුම උත්තර දෙමින් නෑයින් පුදුම කල හැකි අවුරුද්දක් ඔයාල හැමෝටම ලැබේවා කියලා අපේ ලයිෆී කණ්ඩායම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් නෑදෑ බෝල වලට හයේ ඒවා ගහන්න ලැබෙන සුබම සුබ අවුරුද්දක් ඔයාලට. ලයිෆි වෙතින්. !!!

 
Cover Image Source – graystudio.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *