ඉතාමත් කණගාටුදායක විදිහට මේ ලිපි පෙළේ තුන්වැනි කොටසකුත් අපිට ලියන්න වෙලා තියෙනවා. මේ වෙද්දී රට විවෘත වෙලා. එන්නත්කරණයෙනුත් ලංකාව විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. හැබැයි අපි ඔබට නැවත නැවතත් මතක් කරන්නේ එන්නත ලබා ගත්තා කියලා සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අමතක කරන්න එපා කියන එකයි. මොකද මේ වසංගතයෙන් සම්පූර්ණයෙන් අපිවත්, ලෝකයවත් මිදිලා නැහැ.
1. දංගොල්ලේ මධුභාණි හිමිපාණන් වහන්සේ
නා උයනේ අරියධම්ම අනු නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පස්සේ ලංකාව තුළ මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කියන්න පුළුවන් එකම එක භික්ෂුන් වහන්සේ නමක් පමණයි වැඩ හිටියේ. උන්වහන්සේ තමයි දංගොල්ලේ මධුභාණී හිමිපාණන් වහන්සේ. දේවාලලෙන ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උන්වහන්සේ පිළිබඳව බොහෝ බෞද්ධයන් දැන සිටියේ නැහැ. ඒ උන්වහන්සේ ප්‍රසිද්ධියට ප්‍රිය නොකළ, ආරණ්‍යගත වැඩ වාසය කරමින් තමන්ගේ ධර්ම මාර්ගය සකසා ගැනීමට උත්සාහ කළ භික්ෂූන් වහන්සේ නමක් වීම නිසායි. උන්වහන්සේත් කොරෝනා රෝගය නිසා පසුගිය මාසයේ අගභාගයේදී අපවත් වී වදාළේ ලංකාවේ සම්බුද්ධ ශාසනයේ පිරවිය නොහැකි හිස් තැනක් ඇති කරමින්.
2. පුලියද්දේ සුධම්ම හාමුදුරුවෝ
ජාතික සංවිධාන වල සහ ජාතික සටන්වල ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරපු පුලියද්දේ සුධම්ම ස්වාමීන් වහන්සේ මෑත කාලයේ සිංහල ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වගේම උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක් විදිහටත් ප්‍රසිද්ධියක් ඉසිලුවා. උන්වහන්සේගේ අපවත්වීම ලංකාවේ ජාතික ව්‍යාපාරයට දැරිය නොහැකි පාඩුවක්.
3. රත්මලානේ පඤ්ඤාජීව හාමුදුරුවෝ
තමන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කාලයක් මහාබෝධි සමාගම හරහා ඉන්දියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වෙන් කළ උන්වහන්සේ අපවත් වන විට පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනේ වැඩ වාසය කරමින් පසු වුණා. උන්වහන්සේට කොරෝනා රෝගය වැළඳී තිබෙන්නේ ගුරු හිමි නමකගේ ආදාහන උත්සවය සඳහා බොහෝදෙනාගේ විරෝධය මධ්‍යයේ වැඩම කිරීමෙන් අනතුරුවයි. එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ තමන් වහන්සේ එහි වැඩම කළ යුතුම බවයි. එම ආදාහන උත්සවයේ වැඩි වැඩ කොටසක් කළ උන්වහන්සේ අවසානයේදී අනුශාසනාවක් පවා පවත්වා තිබෙනවා.
5. ඌරුවරිගේ හීන්මැණිකා
වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ වූ ඌරුවරිගේ හීන්මැණිකා මාතාවත් කොරෝනා රෝගය සමඟ සටනින් පරාජයට පත්වුණා. සිය සැමියාට මෙන්ම වැදි ප්‍රජාවටද මවක් වූ ඇයගේ සමුගැනීම බොහෝ දෙනෙක්ව කම්පාවට ලක් කළ සිදුවීමක් වුණා. වැදි සම්ප්‍රදාය අනුව ඇගේ දේහය මිහිදන් කිරීම සිදු කළ යුතු වුණත්, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඇයව ආදාහනය කිරීමට ඌරුවරිගේ වන්නිලා ඇත්තන් තීරණය කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
6. සයිඩ් රෆයිඩීන්
රටේ කෝවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය අනතුරුදායක ලෙස ඉහළ යෑමත් සමඟම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් කැපී පෙනෙන ලෙස දකින්නට ලැබුණා. මේ නිසා විශ්‍රාම ගෙන තිබූ ඇතැම් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල නැවතත් සේවයට වාර්තා කළේ ජාතික අවශ්‍යතාවයක් ඉෂ්ට කරමින්. 62 හැවිරිදි වෛද්‍ය සයිඩ් රෆයිඩීන් මහතාද මෙසේ කටුගස්තොට රෝහලේ සේවයට එක් වූ අයෙක්. එහිදී එතුමාට රෝගය වැළඳුණු අතර එතුමා මිය ගියේ මනුස්සකම සහ පරිත්‍යාගශීලීත්වය ඉදිරියේ ජාති, ආගම් යනු හිස් වචන පමණක් බව ලොවට පෙන්වමින්.
7. එලියන්ත වයිට්
මෙතුමාගේ මියයෑම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වන්නට පටන් ගත්තා. ඇතැම් පාර්ශව ලංකාවේ කොරෝනා තත්ත්වය මෙතරම් බරපතළ වීමට ඍජුවම මොහු වග කිව යුතු බවටද ප්‍රකාශ කරනු ලැබුවා. විශේෂයෙන්ම කොරෝනා රැල්ල ආරම්භ වූ පළමු අවධියේදී තමන් විසින් කොරෝනා සුව කළ බවට ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශද දැඩි ලෙස විවේචනයට ලක් වුණා. එසේම ඔහුගේ නියමය පරිදි එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු දේශපාලනඥයින් ගණනාවක් මුට්ටි කීපයක් ගංගා වලට අත්හැරීම ගැන ද සංසාරණය වූ හාස්‍යජනක කතා නැවතත් කරළියට ආවා. කොහොම නමුත් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග තමන්ගේ පාදයේ ආබාධය සුව කිරීම පිළිබඳව ඔහුට ස්තුතිය පළ කරමින් එලියන්ත වයිට්ගේ සමුගැනීම පිළිබඳව සටහනක් එක් කර තිබුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply