කාන්තාවන් වැඩිපුරම කරන්න කැමති මේ දේවල්ද?

අද කාලේ කාන්තාවන්ගේ විනෝදාංශ මොනවද කියලා කවුරුහරි ඇහුවොත් ඔවුන් බොහෝ විට දරුවන්ගේ වැඩ ටික කරගෙන මොනාහරි උයලා පිහලා ගන්න ඒ සන්තෝසේ තමයි අපේ විනෝදාංශේ කියලා කියනවා. ඒත් ඇත්ත විනෝදාංශ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම නැතත් කාන්තාවන්ට සමීප කෙනෙක්ට නම් මේ අපේ කාන්තාවන්ගේ සුලභ විනෝදාංශ ගැන හොඳ වැටහීමක් ඇති. ඉතින් අපි බලමු ඒ අපේ කාන්තාවන් අතර නිතර දකින්න පුළුවන් විනෝද වැඩ කිහිපයක් ගැන.

 

1. ටෙලි බැලීම

ටෙලි නාට්‍ය කිව්වම නෙට්ෆ්ලික්ස් වලින් යුරෝප් වල ටෙලි සීරීස් බැලුවා කියලත් ඒවා එෆ් බී වලදැම්මා කියලත් අමුතු පොෂ් බවක් ලැබෙන්නෙ නැහැ. එකම නිවසේ මව කෑදරකමින් දෙවනි ඉනිම බලද්දි දුවණිය කාමරේ ඉඳන් පාඩම් කරන ලීලාවෙන් බටහිර ටෙලි සීරීස් එකක එපියක් දෙකක් බාගෙන බලනවා. මේ ටෙලි බැලීම තුළින් ජීවිතය සකසා ගන්න පුළුවන්ය. අනෙක් මිනිස්සුන්ගේ ගතිගුණ අවබෝධ කරගන්න පුළුවන්ය කියලාත් කාන්තාවන් විශ්වාස කරනවා. සමහර අයට වෙනත් උවමනාවකට ඥාති ගෙදරක ගියත්, වෙනසක් ගන්න ට්‍රිප් එකක් ගියත් වෙනදා බලන ටෙලිය නම් මිස් කරගන්න සෑහෙන අමාරුයි.

 

2. ඕපදූප සහ අනුන්ව විනිශ්චය කිරීම්

ඕපදූප කිව්වම ඉතින් ගමේ ගොඩේ අයට නම් අවට ගෙවල්වල විස්තර, එක එක්කෙනා කසාද බැඳපු  විස්තර වගේ ඒවා සෙට් වෙනවා. ක්ලාස් එකක නම් ඒකේ ඉන්න අනෙක් කෙල්ලන්ගේ, කොල්ලන්ගේ සහ ඒ පවුල් විස්තර ආදිය තියෙනවා. කන්තෝරුවේ නම් කන්තෝරු අයගේ ගතිගුණ, හැඩරුව, වෙනස්කම් එයාලගේ හැටි ආදිය කියනවා. ඔය විදිහට ඕපදූප වලින් කාන්තාවන්ට අඩුපාඩුවක් වෙන්නේ ඉතාම කලාතුරකින්. ඉතින් ඕපදූප හරියටම හරියන්න ඕනි කියලා එකක් නැහැ. කෙහෙන් හරි ලැබෙන තොරතුරක් තවත් අතිනුත් දාලා වටේ යවලා ඒ ලබන සන්තෝසය එයාලට ආයේ වෙන විදිහකින් ලබාගන්න පුළුවන්ද කියලා සැකයි.

 

3. දරුවන්ට දේශන

කොවිඩ් කරදර දිනවල දරුවන් සිටින බොහෝ නිවෙස් වලින් මේ දරුවන්ට ලබාදෙන දේශනා සහ බැනුම් අසන්නට පුළුවන් වුණා. දරුවන් කරන බොහෝ වැරදි දේවල්වලට ගහමින්, බනිමින් සහ පීඩනය දෙමින් විසඳන්න යන එක මේ සමහරක් අයගේ සිරිත. ඇතැම්විට ඔවුන් කුඩාකලදී හැදුණේ ඒ විදිහට නිසා ඒ ආකාරයෙන්ම දරුවනුත් පීඩනයට ලක් කරනවා වෙන්නට පුළුවන්. පිරිමි දරුවන් දඟලනවා වැඩියි කියලාත්, ගෑණු දරුවන් සෙල්ලම තමයි ගෙදර වැඩක් කරන්නෙම නෑ කියලාත් බොහෝවිට අම්මලාගේ දෝෂාරෝපණයට ලක් වෙනවා. ගෙදර තවත් වැඩිහිටි ගෑණු අය ඉන්නවා නම් එයාලත් දරුවන්ගේ දකින දකින වැරැද්දක් ගාණේ මව්වරුන්ට, දරුවන්ට දේශනා පැවැත්වීමට උල්පන්දම් දෙනවා.

 

4. ආණ්ඩුවට සහ අනෙක් පිරිස් වලට දෙස්

බොහෝ සිදුවීම් වලදි කොටින්ම බස් එකේ යද්දි ඉතුරු රුපියල නොදෙන එකටත් බොහෝවිට කාන්තාවන්ගෙන් ආණ්ඩුව බැනුම් අහනවා. ඒ වගේම අපේ රටේ නම් කාලයක් පුරා පැවති ත්‍රස්තවාදී කළබලත් ඉන් පසුව තියෙන ජාති ආගම් සිද්ධිත් ගත්තාම බොහෝවිට ඒ අනෙකා නිතරම බැනුම් අහනවා. පිරිමින් සාමාන්‍යයෙන් ඡන්ද කාලෙට දේශපාලන කතා වැඩියි. ගෑණු අයගේ තියෙන්නේ දේශපාලන කතා වලටත් වඩා සෑම දෙයකට රජයට දොස් පැවරීමේ, රජයට පැමිණිලි කිරීමේ අමුතු ස්ටයිල් එකක්.

 

5. ජනප්‍රිය තරු තොරතුරු

කාර්යාල දුම්රියක කාන්තාවන් අතරට ටිකක් කන්දෙක ගෙනිච්චොත් ලංකාවේ ඉන්න තරු ගැන විතරක් නෙමෙයි, ඉන්දියාවේ විරාත් කෝලි සහ අනුශ්කා අතර තියෙන විරසක පවා දැනගන්නට පුළුවන්. දැන් නම් තරු කිව්වම එක ක්ෂේත්‍රයක කියලා නැහැ. දේශපාලන තරු, සංගීත තරු, ගායන තරු, සිනමා තරු, විදෙස් ටෙලි තරු ආදී ගොඩක් තියෙනවා. ඒ ඒ තරු වල ජීවිතය, ඔවුන්ගේ පෙම් පලහිලව් දික්කසාද ආදිය වගේම අලුතින් එන කලා නිර්මාණ ආදිය ගැනත් කාන්තාවන් නිතර උනන්දුවෙන් කතා බස් කරනවා.

 

6. කවි සහ කතා පිස්සුව

“නයන නිම්නා 12 කියෙව්වද අනී? ඒක හරිම සෑඩ් අප්පා. මම හිතුවේ නෑ තේමිය කවදාවත් එහෙම කරයි කියලා.” වගේ කතාබහ කාන්තාවන් අතර ඇහෙනවා. හැමෝම නැතත් කාන්තාවන් පිරිසක් මේ සෝප් ඔපෙරා වගේ තියෙන ආදර කතා කියවන්න ආසයි. ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් අතර ඉන්න අපිට තවත් ප්‍රෙහේලිකා කතා කියවන්න බැහැ අප්පා. කියලා තමයි ඒ ගැන ඇහුවම ඔවුන් උත්තර දෙන්නේ. දැන් නම් අන්තර්ජාලයේ වෙබ් අඩවි වල සහ ෆේස්බුක් එකේ මේ කවි සහ කතා ඇදෙනවා. සමහර කතා කොටස් ගණනින් පළ වෙද්දි පාඨක පිරිස් ඒවා අරගෙන හුවමාරු කරගෙන කියවනවා.

 

7. නැතිවාදම සහ ඇතිවාදම

නැතිවාදම කියන්නේ නැති දේ ගැනම නිතර නිතර කීම. බොහෝවිට අනෙක් අය ඉරිසියා කරයි හෝ සල්ලි ඉල්ලයි කියලා ඇතැම් ගැහැණුන් නිතරම නැති බව කියනවා. ඒ වගේම ඒ අතර තමුන් ගාව තියෙන තමුන්ගේ පවුලේ අය දරුවන් ගාව තියෙන පොඩි හරි වටිනා දෙයක් තියනවා නම් ඒවා උඩ දාල ෂෙයාර් කරගන්නත් එයාල දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් කතාව අතර එක් වෙලාවක බොහොම අමාරුවෙන් ජීවත් වෙන බවත් තවත් අවස්ථාවක විසාල ජයග්‍රහණ තොගයක් රැස් කරගෙන ඉන්න බවටත් අඟවන්න කාන්තාවන් දක්ෂ පිරිසක්.

 

කාන්තාවන් කියන්නේ වටින පිරිසක්. ඒ වගේම සමාජයේ පැතිකඩක්. කොපමණ කිව්වත් පිරිමි අතරත් මේ ගතිගුණ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් ඇත්තටම මේවා බොරු කියන්න කලින් ඔබට සමීප කාන්තාවන් කීයක් මේ ආකාරයේ දේවලින් සතුටු වෙනවාද කියලා හිතලා බලන්න වටිනවා. ඔබ මෙයට එකඟ වෙනවාද නැද්ද කියා කමෙන්ටුවකින් කියන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *