සාමාන්‍ය හොරු අහුවෙන්න හොරකම් කරද්දී ලෝක හොරු අහුනොවෙන්න හොරකම් කරනවා කියලා කතාවක් තියෙනවා. හැබැයි මේ කොහොම වුණත් හොරා හොරාමයි. ඒ වගේම ඕනෑම පුද්ගලයෙකුට හැමදාම මිනිස්සුන්ව රවට්ටගෙන ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ, මේක තමයි ලෝක ස්වභාවය. අපි අද කතා කරන්න යන්නේ ලෝකෙම අන්දන්න සමත් වෙච්ච ලෝක හොරු කිහිපදෙනෙක් පිළිබඳව.
1. ජෙෆ්රි ස්කයිලින්ග් (Jeffrey Skilling)
Enron කියන නම ඔබට මතකද? Enron කියන්නෙ මීට අවුරුදු පහළොවකට විතර කලින් මුළු ලෝකයේම ගෞරවය දිනාගත් සන්නාමයක්. නමුත් මේ ගෞරවය වැඩි කලක් පැවතුණේ නැහැ. ඉහළ වත්කමක් සහිත සමාගමක් විදියට Enronහි ප්‍රතිරූපය ඉහළ නංවන්න හේතුවෙලා තියෙන්නේ එම සමාගම සතු ණය සහ ගෙවීම් ඉතා සූක්ෂම ආකාරයෙන් සැඟවීමට හැකිවීම නිසා කියන කතාව ක්‍රම ක්‍රමයෙන් නිරාවරණය වෙන්න පටන් ගත්තා. මේ සඳහා නායකත්වය ලබා දීලා තියෙන්නෙ එහි ප්‍රධානී ජෙෆ්රි ස්කයිලින්ග්. මේ සියල්ල හෙළි වීමත් සමග වසර විසි හතරක පමණ සිරදඬුවමක් ඔහුට හිමිවුණා.
2. බර්නි මඩෝෆ් (Bernie Madoff)
යම් මූල්‍ය ආයතනයක් විධිමත් මූලධර්ම වලට අනුව පවත්වාගෙන නොගිය අවස්ථාවලදී, එම ආයතනය ක්‍රියා කරලා තියෙන්නේ Ponzi Scheme එකක විදිහටය කියල හඳුන්වනව. මේ වචනය ලෝකයට හුරු පුරුදු වෙන්නේ බර්නි මඩෝෆ් නිසා. NASDAQ නම් ආයතනයේ ප්‍රධානියා විදිහට ආයෝජකයන්ගේ මුදල් අයථා ආකාරයට පරිහරණය කරමින් ලාභාංශ ගෙවීමට මේ පුද්ගලයා කටයුතු කරලා තිබ්බා. අවසානයේදී ඔහුට වසර 150කට අධික සිර දඬුවමක් සහ අති විශාල දඩයක් නියම වුණා. ඔහුගේ පුත්‍රයාගේ අකල් මරණයටත් මේ චංචාව වක්‍රාකාරයෙන් හේතු වුණ බවට සමහරු මත පළ කරනව.
3. මාර්තා ස්ටුවර්ට් (Martha Stewart)
Instock නම් ඖෂධ සමාගමේ කොටස් හිමිකාරියක් වූ මාර්තා තමන් සතු කොටස් සියල්ලම පාහේ විකුණා දැමීමට කටයුතු කළා. ඔබ කල්පනා කරනවා ඇති තමන් සතු කොටස් විකිණීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා. ගැටළුව වුණේ එම අවස්ථාව වන විට Instock සමාගම මගින් නිර්මාණය කරන ලද පිළිකා ඖෂධයකට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ප්‍රතික්ෂේප වෙනවයි කියන පුවත ඇයට කලින් ලැබිලා තිබුණු එකයි. ඒත් එක්කම සමාගමේ කොටස්වල අගය පහළ යනු ඇතැයි යන විශ්වාසය මතයි ඇය මෙම විකිණීම සිද්ධ කරලා තියෙන්නේ. මේ පිළිබඳව පරීක්ෂණ කළ අධිකරණය ඇයට මාස 5ක සිරදඬුවමක් ලබා දුන්නා.
4. ජෝන් සහ ටිමොති රිගාස් (John and Timothy Rigas)
ඇමරිකා එක්සත් ජනපදයේ පස්වැනියට විශාලතම කේබල් සමාගම වන ඇඩෙල්ෆියා සමාගම බංකොළොත් බවට පත්වුණේ මේ සොහොයුරන් දෙදෙනාට පින්සිද්ද වෙන්නයි. වාර්ෂිකව ඩොලර් බිලියන 3.6 ක ආදායමක් ලබා දුන් මෙම සමාගමේ මුදල් ආයෝජකයන් රවටා තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා මොවුන් භාවිතා කර තිබුණා. මෙම වංචා සියල්ල හෙළිදරව් වීමෙන් පසුව ජෝන්ට වසර 15කත් ටිමොතිට වසර 20කත් සිර දඬුවම් නියම කරනු ලැබුවා.
5. ඩෙනිස් කොස්ලොවොස්කි (Dennis Kozlowski)
ලොව බිහි වූ විශිෂ්ටතම ආයතනික කළමනාකරුවන් අතරින් කෙනෙක් බවට පත්වූ ටයිකෝ (Tyco) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩෙනිස් කොස්ලොවොස්කි හට ව්‍යාපාරික ලෝකය තුළ එම ගෞරවය වැඩි කාලයක් පවත්වාගෙන යෑමේ අවස්ථාව හිමි වූයේ නැහැ. එම සමාගමේ ප්‍රධාන මූල්‍ය පරිපාලකවරයා සමග එකට එක් වී ඩොලර් මිලියන 150 ක මුදලක් වංචා කිරීමට ඔහු කටයුතු කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුටත් අවසානයේදී වසරක අටක පමණ සිර දඬුවමක් හිමි වුණා.
6. රිචඩ් ස්කෘෂී (Richard Scrushy)
HealthSouth සාමාගමේ මූල්‍ය පරිපාලන කටයුතු සැක සහිත බවට බොහෝ දෙනෙක් අනුමාන පළ කර තිබුණා. නමුත් මේ සඳහා බලධාරීන් මැදිහත් වීමට වසර 10ක පමණ කාලයක් ගතවී තිබීම තුළ යමක් සැඟවී තිබෙන බවත් පැහැදිලිව පෙනුණා. අවසානයේ දී එම සියළුම පරීක්ෂණ මගින් හෙළි වූයේ එම සමාගමේ ප්‍රධානී රිචඩ් ස්කෘෂී රජයේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළවල් අවභාවිතා කරමින් මුදල් වංචා කර ඇති බවයි. ඔහුට වසර හයක සිරදඬුවමක් හිමිවුණා.
7. එළිසබෙත් හෝම්ස් (Elizabeth Holmes)
මුළු ලෝකයම ගොනාට අන්දවන්න සමත් වෙච්ච අපේ කාලේ කුප්‍රකටම වංචාකාරිය විදිහට මැයව හඳුන්වන්න පුළුවන්. ඇය තම සමාගම හරහා බොහෝ රෝග ගණනක් නිර්ණය කර හැකි රුධිර පරීක්ෂාවක් හඳුන්වා දී ඇති බව ප්‍රකාශයට පත් කළා. 2015 වසර වන විට ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ලාබාලතම බිලියනපතිනිය බවට පත්වුණා. නමුත් අවසානයේදී එම රුධිර පරීක්ෂාව සම්පූර්ණයෙන්ම වංචාවක් බව හෙළි වුණා. ඇයට එරෙහිව සිදු වන නඩු විභාගය තවමත් නිම වී නැහැ.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply