ප්‍රසිද්ධ හොලිවුඩ් ෆිල්ම්ස් වල කතාව පිටුපස්සේ තියෙනවා කියලා අනුමාන කරන පිස්සු හැදෙන කුමන්ත්‍රණ කතන්දර!

දැන් ඔය ෆිල්ම්ස් බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නං, ඒ අතිශයින්ම කලාතුරකින් නේ. එතකොට ගොඩක් අය ඔය හොලිවුඩ් ෆිල්ම්ස් එහෙම බලන්න කැමතියි. දැන් ඔය හොලිවුඩ් ෆිල්ම් එකක් ගත්තහම, සමහර වෙලාවට තියෙන්නේ උඩ ඉඳන් පහළටම තනිකරම ඇක්ෂන් වෙන්න පුලුවන්. හැබැයි එහෙම වුණත්, හැම ෆිල්ම් එකකම හොඳ හෝ නරක කතාවක් තියෙනවනේ. හැබැයි ඔය සමහර ෆිල්ම්ස් වල කතාව ඉවරවෙනකල් බැලුවට පස්සේ අපිටත් එක එක එව්වා හිතෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ෆිල්ම් එකේ කතාවේ නොකියූ කතා එහෙමත් තියෙනවද කියලා සමහරුන්ට හිතෙන්න ගන්නවා. මේවා ඇත්තටම මනෝ ගහන වෙලාවට නිකම්ම හිතාගන්න හිතළු නෙවෙයි. ඊට වඩා ඔය ෆිල්ම් එකේම දකින්නට ලැබෙන, එහෙම නැතිනම් දකින්න නොලැබෙන යම් යම් දේවල්, සංකේත, ඉඟි එක්ක තාර්කිකව ගොඩනංවපු න්‍යායන් කියන්න පුලුවන්. ඇත්තම කිවුවොත්, ෆෑන්ස්ලා ඉදිරිපත් කරන මේ විදියේ සමහර තියරි ගත්තහම, ෆිල්ම් එකට වඩා පිස්සු හැදෙන ලෙවල් කියලා කියන්නත් පුලුවන්.

ඉතින් බලමුද අන්න ඒ වගේ, අපි ආස කරන හොලිවුඩ් ෆිල්ම්ස් කීපයක තියෙන පිස්සු කොට තියරි කතන්දර කීපයක් දිහා?

  1. දුෂ්ට හැරී පොටර්?

දැන් ඔය හැරී පොටර් ෆිල්ම්ස් බලලා තියෙන කෙනෙක් දන්නවා, හැරී, රොන් සහ හර්මොයිනී කියන්නේ මේ සීරීස් එකේ වීරයෝ සෙට් එක, එහෙම නැතිනම් අඩුම ගාණේ වීරයෝ සෙට් එකේ ප්‍රධාන අය කියලා. ඒ කියන්නේ හැරී පොටර් හොඳ ඩයල් එකක්. එහෙම නේද? එතකොට අර හැරී පුංචි කාලේ ඉඳන් ඉන්නේ හැරී ගේ අම්මා ලිලීගේ සහෝදරිය ගාවනේ. ඩඩ්ලිලා. හැබැයි මේ ඩඩ්ලිලා හරිම අකාරුණික විදියටනේ හැරීට සලකන්නේ. එහෙම බලනකොට ඩඩ්ලිලා කියන්නෙත් දුෂ්ට සෙට් එකක් තමයි.

හැබැයි මේ ගැන තියෙන ෆෑන් තියරි එකකින් වෙන කතන්දරයක් කියවෙන්නේ. දැන් සීරීස් එක අන්තිමට එනකොට අපි දැනගන්නවනේ හැරී කියන්නෙත් සීරීස් එකේ දුෂ්ටයා වෙන වොල්ඩමෝට් ගේ කොටසක්, එහෙම නැතිනම් හෝක්ක්‍රක්ස් එකක් කියලා. එතකොට ඔය හෝක්ක්‍රක්ස් තියෙන තැන කචල්, ප්‍රශ්න කියන එකත් අපි දන්නවනේ. ඉතින් මේ තියරීයෙන් කියවෙන්නේ, ඇත්තටම ඩඩ්ලිලා හැරීට අකාරුණික විදියට සලකන්නේ එයාලා නරක නිසා නෙවෙයි, හැබැයි ඇත්තටම හැරී අවට නිර්මාණය වෙන නෙගටිව් වාතාවරණය හින්දා කියලා. ඒ කියන්නේ හැරී නොදැන වුණත් එයා දුෂ්ට පැත්තේ ඉන්නේ!

  1. බැට්මෑන් සංකීර්ණය

දැන් හැමෝම දන්නවා ඇතිනේ කොහොමද බැට්මෑන් නිර්මාණය වෙන්නේ කියලා. බෘස් වේන් සතුටෙන් ඉන්න පුංචි ළමයෙක් කාලේ අම්මයි තාත්තයි එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා. එතකොට අඳුරු වීථියකදී නාඳුනන තුවක්කුකරුවෙක් මේ දෙන්නව වෙඩි තියලා මරලා දානවා. අන්න එතනින් තමයි බෘස් වේන් දුෂ්ටත්වය සහ අපරාධ එක්ක සටන් කරන්න අඩිතාලම වැටෙන්නේ. අන්න ඒ රාත්‍රිය නිසා තමයි ඇත්තටම බැට්මෑන් බිහිවෙන්නේ. කොමික් පොත් වල හැටියට, එතන ඉඳන් බැට්මෑන් නිසා බේරෙන මිනිස් ප්‍රමාණය අතිවිශාලයි. මතක තියාගන්න ඕන, කොමික් වල විදියට බැට්මෑන් ලෝකය පවා බේරගෙන තියෙනවා.

කොහොම හරි මේ ෆෑන් තියරියේ හැටියට, බැට්මෑන් විශ්වයේ ලොකුම දුෂ්ටත්වය පරාජය කරනවා. හැබැයි ඒකෙන් බැට්මෑන්ව කාලය හරහා විසිවෙනවා. බැට්මෑන් විසිවෙන්නේ බොහොම හුරුපුරුදු තැනකට. අතීතයේ ගොතම් නගරය! දැන් බැට්මෑන් අහළ පහළ තිබුණු කසල බඳුනකින් කබායක් හොයලා ඇඳගෙන අවට බලනකොට, ඔන්න පුංචි බෘස්වේන් අම්මයි තාත්තයි එක්ක එනවා. බැට්මෑන්ව ගිහින් තියෙන්නේ අම්මවයි තාත්තවයි නොදන්න මංකොල්ලකාරයෙක් මරා දාන රාත්‍රියට. බැට්මෑන් මුලින්ම හිතනවා එයා මෙතනට එන්නේ අම්මවයි තාත්තවයි බේරගන්න කියලා. ඉතින් බැට්මෑන් බලාගෙන ඉන්නවා නාඳුනන තුවක්කුකාරයා වෙන ජෝ චිල් එනකල්. බලං ඉන්නවා, ඉන්නවා, හැබැයි කවුරුත් නෑ. මෙහෙම බලාගෙන ඉන්නකොට බැට්මෑන් ට තේරෙන්න පටන් ගන්නවා ඇයි එයා මුහුණ දීපු ලොකුම දුෂ්ටත්වය එයාව මෙතනටම එවන්නේ කියලා.

නොදැනුවත්වම බැට්මෑන් අර ඇඳගෙන ඉන්න කෝට් එකට අත දානවා. එයාට එතකොට අහුවෙනවා රිවෝල්වරයක්! නාඳුනන තුවක්කුකාරයා වෙන්නෙත් අනාගතෙන් ආපු බැට්මෑන්. දැන් බැට්මෑන්ට තෝරාගැනීමක් කරන්න වෙනවා. අම්මයි තාත්තයි මැරුවොත් තමයි බැට්මෑන් බිහිවෙන්නේ. අම්මයි තාත්තයි මැරුවෙ නැතිනම් බැට්මෑන් කෙනෙක් නෑ. හැබැයි බැට්මෑන් කෙනෙක් නෑ කියන්නේ අනාගතේ මැරෙන්න නියමිත මිලියන සංඛ්‍යාත මිනිස්සු බේරගන්න කෙනෙකුත් නෑ. මේක පුදුමාකාර දෛවයක්. අන්තිමට කඳුලු පිරුණු ඇස් වලින් බැට්මෑන් රිවෝල්වර් එක උස්සනවා. අම්මයි තාත්තයි මැරෙනවා. බැට්මෑන් තනිවෙනවා.

දැන් කතාව තාම ඉවර නෑ. සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බැට්මෑන්ට හිතෙන්න ගන්නවා මේ දෛවය මොන තරම් විහිළුවක් ද කියලා. ඉතින් බැට්මෑන් ඒ විහිළුවට හිනාවෙන්න පටන් ගන්නවා. උමතු, දුෂ්ට හිනාවක්. අන්න ඒ විදියට, බැට්මෑන්ගේ පරම සතුරා වෙන ජෝකර් උපදිනවා!

  1. පික්සාර් විශ්වය

අපි ඔය මාවල් සිනමැටික් යුනිවර්ස් එක දැකලා තියෙනවනේ. එතකොට මාවල් චිත්‍රපටි හැම එකක්ම තියෙන්නේ එක විශ්වයක් ඇතුළේ. ආන්න එහෙම පික්සාර් විශ්වයක් තියෙනවා කියන එක තමයි ෆෑන් තියරි එක. ඒකට උදාහරණ විදියට ගන්නේ, ෆයින්ඩින් නිමෝ ෆිල්ම් එකේ අර දන්ත වෛද්‍යවරයාගේ ඔෆිස් එකේ ටෝයි ස්ටෝරි එකේ ඉන්න බස් ලයිට්ඉයර්ගේ සෙල්ලම් අනුරුවක් දකින්න ලැබීම තමයි. ඒ වගේම, ළමයෙක් මිස්ටර් ඉන්ක්‍රෙඩිබල් කොමික් පොතක් කියව කියව ඉන්නවා. එතකොට මොන්ස්ටර් ඉන්ක් ෆිල්ම් එක ඇත්තටම සිද්ධ වෙන්නේ අනාගතේදිලු. එතකොට මානව වර්ගයා නැති වෙලා ගිහින්, මිනිස්සුන්ගේ දොරවල් ඇත්තටම කාලතරණයට අදාළයි.

  1. ස්ටාර් වෝර්ස් දුෂ්ටයා කවුද?

 

Star Wars: Episode I – The Phantom Menace
Liam Neeson (L) and Jar Jar Binks

ස්ටාර් වෝර්ස් බලපු අයට මතක ඇති අර Naboo ග්‍රහලෝකයේ වතුර යට ඉන්න ගුන්ගන් වර්ගයේ කමාන්ඩර් කෙනෙක් වුණු ජාර් ජාර් බින්ක්ස් ව. එයාව ගුන්ගන් ගෝත්‍රයෙන් පන්නලා දානවා ඔතෑනි කම නිසාම. හැම වෙලේම මොකක් හරි පිස්සුවක් කෙළින, මෝඩ කතා කියන, මෝඩ පෙනුමක් තියෙන කෙනෙක් විදියට තමයි එයාව පෙන්නන්නේ.  හැබැයි එයාව ඔබි වැන් කෙනෝබි සහ ක්වි ගොන්ජින් ජෙඩායි නයිට්වරු බේරගත්තට පස්සේ, පුදුමාකාර විදියට මනුස්සයාගේ ලක් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ෂුවර් එකටම මැරෙන්න ඕන තැන් වල පවා මේ ජාර් ජාර් බින්ක්ස් පුදුම විදියට බේරෙනවා. ආන්න ඒක ගැන ඇත්තටම ෆෑන්ස්ලට තියරියක් තියෙනවා. ඒ අය කියන විදියට, ඇත්තටම ජාර් ජාර් බින්ක්ස් කියන්නේ සිත් ලෝඩ් කෙනෙක්. සිත් ලෝඩ් ලා කියන්නේ ස්ටාර් වෝර්ස් විශ්වයේ ඉන්න දුෂ්ට කොටස. හරියටම ඒ ෆෑන් තියරිය ගත්තොත්, ජාර් ජාර් බින්ක්ස් සිත් ලෝඩ් කෙනෙක් විතරක් නෙවෙයි, එයාලු අදෘෂ්‍යමානව ඉඳන් මේ හැම දෙයක්ම මෙහෙයවන බලවේගය. ඒ කියන්නේ අදෘෂ්‍යමාන සුපිරි දුෂ්ට බලවේගය!

  1. අනාගතෙන් ටයිටැනික් ආපු ජැක්

අපි ටයිටැනික් බලල තියෙනවනේ. අපි දැකලා තියෙනවනේ ජැක් රෝස්ව බේරගෙන, එයාගෙ ජීවිතේ පුද කරනවා. හැබැයි මේ ෆෑන් තියරියෙන් කියවෙන්නේ, ඇත්තටම ජැක් එන්නේ අනාගතෙන් කියලා. ඒ එන්නේ රෝස්ගේ ජීවිතේ බේරාගැනීම වෙනුවෙන්මයි. ඒකට සාක්ෂිත් තියෙනවා. ජැක් ෆිල්ම් එකේ කියනවා එයා මාළු අල්ලන්න ගියපු විසෝටා විල ගැනත්, සාන්ත මොනිකා තොටුපලේ රෝලර්කෝස්ටර් එක ගැනත්. හැබැයි ඇත්තටම 1912 ටයිටැනික් ගිලෙනකොට ඔය තැන් දෙකම තිබුණෙ නැහැලු. ඊට අවුරුදු ගාණකට පස්සෙලු ඔය තැන් දෙකම නිර්මාණය වෙන්නේ. ඒ ඇරෙන්න, ජැක්ගේ අනික් අයගෙන් වෙනස් හෙයාර්කට් එක සහ ෆැෂන් වලට හේතුවත්, එයා අනාගතෙන් ඇවිත් තිබීමලු. උදාහරණයක් විදියට ගත්තොත්, එයා අරගෙන යන බෑග් එක ජනප්‍රිය වෙන්නේ 1930 ගණන් වලදිලු!

  1. නීමෝ ඇත්තටම හිටියද?

ෆයින්ඩින් නීමෝ ෆිල්ම් එක ගැන සෑහෙන්න සීරියස් ෆෑන් තියරි එකක් තියෙනවා. දැන් මුලින්ම පෙන්නනවනේ නීමෝගේ තාත්තා මර්ලින්ගේ පවුලට එල්ල වෙන බැරකුඩා ප්‍රහාරයකින් පස්සේ එයා එක බිත්තරයක් විතරක් හානි නොවී තියෙන බව හොයාගන්නවා, එතන ඉඳන් තමයි නිමෝ උපදින්නේ සහ කතාව පටන් ගන්නේ කියලා. හැබැයි මේ ෆෑන් තියරි එකෙන් කියවෙන්නේ ඇත්තටම මර්ලින් විතරයි ප්‍රහාරයෙන් ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මුළු පවුලම නැතිවෙලා. හැබැයි පවුල නැතිවීමෙන් දුක් වෙන මර්ලින්ගේ හිතේ මැවෙනවා එයාට එක දරුවෙක් හරි ඉතුරු වෙනවා කියන චිත්ත මායාව. එතනින් එහාට ඇත්තටම සිද්ධ වෙන සම්පූර්ණ කතාවම, මර්ලින්ගේ මනසේ මැවෙන මනෝ කථාවක් විතරයි. මර්ලින්ගේ අතිශයින් දුකට පත් වුණු හිත හදාගන්න එයාම නිර්මාණය කරගන්න කතාවක්. එතකොට කොහොමද මෙහෙම කියන්නේ? දන්නවද නීමෝ කියන නමේ තේරුම. ලතින් භාෂාවෙන් නීමෝ කියන්නේ ‘කවුරුවත් නෙවෙයි’, ‘nobody’ කියන එක!

  1. ජේම්ස් බොන්ඩ්!

දැන් ජේම්ස් බොන්ඩ් පොත් කියවපු අයට ආපු නැති ප්‍රශ්නයක් එනවා, ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් ටික බලපු අයට. අපි කියන්නේ ඩැනියෙල් ක්‍රේග් ඉන්න ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එක විතරක් නෙවෙයි. ෂෝන් කොනරිගේ ඉඳන් ඩැනියෙල් ක්‍රේග් වෙනකල් සම්පූර්ණයෙන්ම ෆිල්ම් සෙට් එක බලපු අයට. ඒ තමයි, ජේම්ස් බොන්ඩ් අවුරුදු පණහක් විතර කාලේ ඇතුලේ එකම වයස් මට්ටමක ඉන්නේ කොහොමද කියන එක වගේම, කොහොමද ජේම්ස් බොන්ඩ් විදියට එක එක නළුවො ඉන්නේ කියන එක. අවුරුදු බර ගාණක් ඇතුළේ එකම තීම් එකක, එකම කැරැක්ටර් එකක් පාදක වෙන ෆිල්ම්ස් කරනකොට ඉතින් වෙන විකල්පයක් නැහැ තමයි. හැබැයි ෆෑන්ස්ලා ගේන තියරියක් වෙන්නේ, ඇත්තටම ජේම්ස් බොන්ඩ් කියලා මනුස්සයෙක් නැහැයි කියන එක. අපි දන්නවනේ 007 කියන්නේ රෑන්ක් එකක් කියන එක. ඒ වගේම, MI6 රහස් ඔත්තු සේවය ඇතුළේ ජේම්ස් බොන්ඩ් කියන්නෙත් කෝඩ් නේම් එකක් කියන එක තමයි මේ තියරියෙන් කියවෙන්නේ. වෙන විදියකට කියනවා නම්, ජේම්ස් බොන්ඩ් කියලා මනුස්සයෙක් නෑ. එයා කේත නාමයක්. ඒ කේත නාමය විවිධ රහස් ඔත්තුකාරයෝ දරපු නිසා තමයි ජේම්ස් බොන්ඩ් විදියට විවිධ ෆිල්ම්ස් වල විවිධ අය ඉන්නේ. ඕන තැනකදී මෙයා කියන්නේ “අයිම් බොන්ඩ්, ජේම්ස් බොන්ඩ්” කියලනේ. ඇත්තටම එහෙම කිව්වට ඔය එක ජේම්ස් බොන්ඩ් කෙනෙක්ගෙවත් ඇත්ත නම ජේම්ස් බොන්ඩ් නෙවෙයි. වෙන විදියකට කිව්වොත්, ජේම්ස් බොන්ඩ් කියන කේත නාමය සදාකාලිකයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *