සිහිනෙන් අශූචි දකිනවාද? මෙන්න නිතර දකින අශූචි සම්බන්ධ සිහිනවල තේරුම්!

අශූචි කියන්නේ කතා කරන්​න ප්‍රසන්න මාතෘකාවක් නම් නෙමෙයි. හැබැයි අපි දකින සිහින අතරින් අපේ මතකයේ රැ​​ඳෙන ආකාරයට පෙනෙ​න සිහිනයක් හැටියට මේ අශූචි සම්බන්ධ සිහින දක්වන්න පුළුවන්. අපි බලමුද සිහිනෙන් අශූචි දකින්නට හේතු මොනවාද කියලා එහෙනම්?

 

1. ප්‍රසිද්ධියේ මළපහ කිරීම

තමන් ප්‍රසිද්ධ ස්ථානයක මළ පිට කරනවා දැකීම කියන්​නේ බොහොම ලැජ්ජා සහගත හීනයක්. මේ විදිහෙ හීනයකින් අර්ථ ගැන්වෙන්නේ ඔබ තමන් සතු ධනය ගැන ආඩම්බර වෙලා ඒවා අනිත් අයට ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන බවක්ලු. හැබැයි සමහර වෙලාවට ඔබ යම්කිසි රහසක් හෙළිවීම වගේ දෙයකින් අපහසුතාවයට පත්වෙලා, ඒ ගැන හිතින් බයවෙලා ඉන්න අවස්ථාවකත් මේ විදිහේ හීනයක් දකින්න පුළුවන් බවයි කියවෙන්නේ. ඒ වගේම පොදු වැසිකි​ළියක අනිත් අයටත් පේන විදිහට මළපහ කරනවා දකිනවානම් ඒකෙන් කියවෙන්නේ ඔයා නිතරම තමන්ව අනිත් අයත් එක්ක සංසන්දනය කරන බවක්ලු.

 

2. වැසිකිළියක තනිවම මළපහ කිරීම

තමන් වැසිකිළියකට වෙලා තනිවම මළපහ කරන විදිහේ හීනයක් දකින එකෙන් බොහෝ වෙලාවට අදහස් වෙන්නේ තමන් තුළ තියන සෘණාත්මක සිතුවිලි ගැන බවයි කියවෙන්නේ. ඒ කිවුවේ ඔයා මොකක් හරි දෙයක් නිසා පීඩනයට පත් වෙලා තියනවානම්, ඒ පීඩනය හිතෙන් නිදහස් කරගන්න ඕනෙය කියන එකලු මේ විදිහේ හීනයකින් අර්ථ ගැන්වෙන්නේ.

 

3. ඇඳුමේ මළපහ පිටවීම

තමන්ගේ ඇඳුමේම මළපහ පිටවෙනවා හීනයෙන් දකිනවා කියන්නේ ඉතාම අප්‍රසන්න අත්දැකීමක්. මේ විදිහේ හීනයක් දකින්න හේතු වෙන්නේ ඔයා මොකක් හරි වැරදි හෝ නරක පුරුද්දට ඇබ්බැහි වෙලා ඉන්න වෙලාවකට බවයි පැවසෙන්නේ. ඒ වැරැද්ද ඔබ ඔබේ සමීපතමයන්ගෙන් සහ සමාජයෙන් හංගන් ඉන්න එක ගැන තියන පීඩනය මේ විදිහේ හීනයක් මගින් අර්ථ ගැන්වෙනවාලු. 

 

4. වෙනත් අයෙක් ඔබේ ඇඟේ මළපහ කිරීම

ඔබ දන්නා වෙනත් පුද්ගලයෙක් ඔබේ ඇඟේ මළපහ ගෑවෙන විදිහට මළපහ පිට කරනවා හීනෙන් දකිනවාද? එහෙම හීනයකින් අදහස් වෙන්නේ ඒ විදිහට ඔබේ ශරීරයට මළපහ පිට කරන පුද්ගලයා සැබෑ ලෝකෙදී ඔබේ වටිනාකමක් හරි හැටි නොදකින පුද්ගලයෙක් බවලු. පවුලේ අය සම්බන්ධව සහ ආදර සම්බන්ධතා සම්බන්ධව ගැටළුකාරී තත්ත්ව තියෙද්දී, විශේෂයෙන්ම ඔබේ සමීපතමයා හරි ආදරවන්තයා හරි ඔබට නිසි වටිනාකමක් නොදෙද්දී මේ විදිහේ හීන දකින්න පුළුවන් බවයි කියවෙන්නේ.

 

5. ඇඳේම මළපහ පිටවීම

තමන් නිදාගන්න ඇඳේදී මළපහ පිටවීම මගින් අර්ථ ගැන්වෙන්නේ ඔයා​ගේ පෞද්ගලික සම්බන්ධතාවල තියෙන ගැටළුකාරී තත්ත්වයක් බවටයි පැවසෙන්නේ. බොහෝ විට ඔයාගේ සහකරු හෝ සහකාරිය සමග ඇති විය හැකි ගැටළුවක් ගැන මේ විදිහේ හීනයකින් ඉඟි සපයන බව පැවසෙනවා. බොහෝ විට මේ විදිහේ හීන ආර්ථිකමය වශයෙන් ඇතිවෙන ප්‍රශ්නකාරී අවස්ථාවලදීත් දකින්න ලැබෙන බවයි පැවසෙන්නේ.

 

6. විශාල ප්‍රමාණවලින් අශූචි දැකීම

හීනයක් ඇතුළේ විශාල ප්‍රමාණවලින් අශූචි දකිනව​ද. ඒ කිවුවේ හැම තැනම ලොකු ලොකු ගොඩවල් දකිනවද? ඒ විදිහේ හීනයක් ඉතාම අප්පිරියා සහගත වෙන්න පුළුවන්. හැබැයි ඒ හීනය ඉතාම වාසනාවන්ත එකක් කියන එක තමයි සාම්ප්‍රදායික පිළිගැනීම වෙන්නේ.  ඒකට හේතුව තමයි, විශාල වශයෙන් අශූචි දකිනවා කියන්​නේ ළඟදීම ඔබට මුදල් අතින් වාසනාවක් හරි විශාල සාර්ථකත්වයක් හරි ළඟා කරගන්න ලැබෙනවා කියන එක. ඉතින් මේ විදිහේ හීනයක් දකින කෙනෙක් ස්වීප් ටිකට් එකක් එහෙම අරන් බැලුවට පාඩුවක් නැතිවෙයි!

 

7. වෙන මනුස්සයෙක්ගේ අශූචි දැකීම

වෙන කෙනෙක් විසින් පිට කරපු අශූචි හීනෙන් දකින එකෙන් අර්ථ ගැන්වෙන්නේ ඔයා​ගේ හිතේ තියෙන සෘණාත්මක සිතුවිලි බවටයි පැවසෙන්නේ. ඒ අශූචි අයිති පුද්ගලයෙක් ගැන හීනය ඇතුළෙදි ඔයාට වැටහීමක් තියනවානම්, ඒ කියන්නේ එම පුද්ගලයා ගැන ඔයා ඉරිසියාවකින් පසුවෙන බවලු. විශේෂයෙන්ම ඒ පුද්ගලයා ඔයාට වඩා මුදලින් හෝ බලයෙන් ඉහළ තැනක සිටීම මේ විදිහේ ඉරිසියාවක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්.

 

හරි, ඔන්න ඔහොමයි අපි නිතර දකින අශූචි සම්බන්ධ හීන 7ක තේරුම්. අශූචි සම්බන්ධ හීන කියන්නේ මෙහෙම එක ලිපියකින් කියලා නිම කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ඉතින් ඔබේ ඉල්ලීම් අනුව අපි එහෙම වුණොත් මේකේ දෙවැනි කොටසකුත් ගෙන එන්නම්. ඔබටත් අශූචි සම්බන්ධ හීන වල ගැටළු ඇතිනම් ඒ ගැන අපිට කමෙන්ට් එකකින් දන්වන්න කියලා අපි ඉල්ලනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *