තාක්ෂණය සහ අන්තර්ජාලය කියන්නේ ඕනෑම ව්‍යාපාරයකට වාසි හැටියට පාවිච්චි කරන්න පුළුවන් දේවල් කියලා තමයි අපි හිතන්නේ. ඒත් ඒ වාසිය ලබාගන්න හැමෝටම නම් බැහැ කියලා මේ වෙද්දි ඔප්පු වෙලා තියනවා. සමහරු මේ නව තාක්ෂණ ඇසුරෙන් තව තවත් ශක්තිමත් වෙද්දී, සමහරු තාක්ෂණය අවශ්‍ය විදිහට වාසියට හරවගන්න බැරුව කඩන් වැටිලා තියනවා. 90 දශකයේ සහ 2000 ගණන් වල මුල් කාලේ පවා ඉතාම සාර්ථකව පවත්වාගෙන ආපු සමහර ව්‍යාපාර පවා මේ වෙද්දි නැත්තටම නැතිවෙන තරමටම මේ තාක්ෂණයේ බලපෑම උග්‍ර වෙලා තියනවා. ඉතින් අපි හිතුවා ලංකාව ඇතුළේ කාලයත් සමග තාක්ෂණයේ දියුණුවත් එක්ක කඩන් වැටුණු ඒ විදිහේ ව්‍යාපාර කීපයක් ගැන කියන්න.
1. ඉන්ටර්නෙට් කැෆේ
ලංකාවට අන්තර්ජාලය ආපු මුල් කාලෙ වෙද්දී ගොඩක් අයට ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියා කම්පියුටරයක්වත් තිබ්බේ නැහැ. කම්පියුටර් තිබ්බත් ඉන්ටර්නෙට් යන එක මිලාධික වැඩක් නිසා හැමෝම ගෙදර ඉන්ටර්නෙට් භාවිතා කළෙත් නැහැ. ඒ වගේ කාලෙක ලංකාවේ නගරවල විවෘත වෙච්ච අන්තර්ජාල පහසුකම් සපයන ඉන්ටර්නෙට් කැෆේ හතු පිපෙන්නා වගේ බිහිවෙලා ජනප්‍රිය වුණා. පැයකට ඉතාම සුළු මුදලක් අය කරන මේ කැෆේ ජනී ජනයාගෙන් පිරී ඉතිරිලා ගිහිනුයි තිබ්බේ. ඒත් පස්සේ කාලෙක ADSL වගේ කනෙක්ෂන් සහ ලාබ ඩේටා පැකේජ් හරහා අන්තර්ජාලය කාටත් දැරිය හැකි මට්ටමකට ආවට පස්සේ මේ ඉන්ටර්නෙට් කැෆේ වලටත් කණකොකා හැඬුවා. දැන්නම් ඉන්ටර්නෙට් කැෆේ එකක් දැක්කොත් අටපට්ටමට කියන්න වෙන තත්ත්වයක් ලංකාවෙ තියෙන්නේ.
2. වීඩියෝ සෙන්ටර්
ඒ කාලේ ඉතින් තරුණ උදවිය අතරේ ඉතාම ජනප්‍රිය චරිතයක් තමයි වීඩියෝ සෙන්ටර් අයියා කියන්නේ. ඇක්ෂන් නම් ඇක්ෂන්, රොමෑන්ස් නම් රොමෑන්ස්, පෝර්න් නම් පෝර්න් යනාදී වශයෙන් පොර සතුව චිත්‍රපට ගැන තිබ්බ දැනුම අති විශිෂ්ටයි. ඒ වගේම ඕනෑම හන්දියක වීඩියෝ සෙන්ටර් එකක් හෝ දෙකක් වැරදුනේ නැහැ. ඒ කාලෙ අම්මගෙ, ආච්චිගෙ අයිඩෙන්ටිය පවා හොරකම් කරගෙන ගිහින් ඩෙක් පීස්, වීසීඩී විශාල වශයෙන් ගන්න අපි පෙළඹිලා හිටියා. මේ සාර්ථක ව්‍යාපාරයටත් කණ කොකා අඬන්න ගත්තේ ADSL වගේ කනෙක්ෂන් හරහා කට්ටිය ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තට පස්සෙයි. තාමත් එකක් දෙකක් හරි වීඩියෝ සෙන්ටර්ස් අපිට දකින්න ලැබුණත්, ඒ දවස්වල තිබ්බ සරුසාර බවනම් අපි වීඩියෝ සෙන්ටර්ස්වල දකින්නෙ නැහැ.
3. රෙකෝඩ් බාර්
මේ අපෙන් ඈත්වෙලා ගිය තවත් විනෝස්වාදන මාධ්‍යයන් සැපයුව බිස්නස් එකක්. අපි තාමත් සින්දු අහනවා කරනවා තමයි. ඒත් ඒ කාලේ සංගීත රසිකයින්ගේ මන දොළ පිනවන ගමන් මුදල් හම්බකරන්න ආරම්භ කරපු රෙකෝඩ් බාර් ව්‍යාපාරත් මේ වෙද්දි යල් පැනලා ගිහින්. ඒ දවස්වල ආසම ගායන ශිල්පියෙක්ගෙ අලුත්ම කැසට් එකක් නිකුත් වුණු ගමන් කට්ටිය රෙකෝඩ් බාර් එකක් හොයාගෙන ඇදෙන්න පුරුදු වෙලා තිබ්බා. ඒත් පස්සේ කාලෙක අන්තර්ජාලයෙන් MP3 නොමිලයේම බාගත කරගන්නත්, ඉන් පස්සේ ඇතිවුණු මියුසික් වීඩියෝ රැල්ලත් එක්ක අනන්මනන්, එළකිරි වගේ වෙබ්සයිට් හරහා සහ මේ වෙද්දි යූටියුබ් හරහා මේවා බාගෙන රස විඳින්නත් හැකි වුණු නිසා ඉතාම ඉක්මනින්ම රෙකෝඩ් බාර් අභාවයට ගියා.
4. ස්ටුඩියෝ
ස්ටුඩියෝ, එහෙමත් නැත්නම් ඡායාරූප ශාලාවල් තවමත් ඕනෑ තරම් දකින්න පුළුවන්. නමුත් දැන් ප්‍රධානම වශයෙන් මංගල ඡායාරූප, හැඳුනුම්පත් ඡායාරූප වගේ සීමිත සේවාවන්වලට මේ කුඩා ඡායාරූප ශාලාවල් කොටු වෙලා. අන්තර්ජාලයේ ප්‍රචාරණයත් භාවිතා කරගෙන ඉදිරියට යන ඉතාම සාර්ථක ඡායාරූප ශිල්පීන් සහ ආයතන තවමත් ඕනෑ තරම් තියනවා තමයි. ඒත් ගම්බදව, නගරබදව තිබ්බ කුඩා ස්ටුඩියෝස් බොහොමයක් මේ වෙද්දී ඉවත් වෙලා ගිහින් තියනවා. ඉස්සර වගේ පවුලේ අය, යාළුවෝ එක්ක ගිහින් ස්ටුඩියෝ එකක එක එක ඉරියව් එක්ක පින්තූර ගන්න දැන් අවශ්‍ය නැහැ. ෆොටෝ රීල් ගෙනිහින් දීලා සුද්ධ කරන්න අවශ්‍යත් නැහැ. කෙලින්ම ෆෝන් කැමරා වලින් ෆොටෝ අරන් තමන්ගේ කම්පියුටරේට, සමාජ මාධ්‍ය ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉස්සර ගෙදරට ඇවිත් ඇල්බම් බලලා ෂෝයි කියපු උදවිය ඇවිත් සැනෙකින් ලයික්, හාර්ට් දාල යන්නෙ.
5. කැබ් සර්විසස්
කාලයක් කැබ් සර්විසස් කියන්නේ ජනප්‍රිය ව්‍යාපාරයක් වෙලා තිබ්බා අපේ රට ඇතුළේ. වෑන්, කාර් වලින් දුර වගේම ළඟ ගමන් යන්නත් නොයෙකුත් පැකේජ හඳුන්වලා දීලා තිබ්බා. තරමක් මතක හිටින දුරකථන අංකයක් ඇමතුවාම සම්බන්ධ වෙන්න පුළුවන් මේ කැබ් සර්විසස් වලින් දුර ගමනක් බිමනක් යන්න වාහනයක් බුක් කරගන්න සමහර විට කලින් දවසේ හෝ දවස් කීපයකට කලින් කියන්න ඕන. කොහොම වෙතත් අන්තර්ජාලයේ සහ ස්මාර්ට් ෆෝන් තාක්ෂණයේ පැතිරීමත් එක්ක ඇප්ස් හරහා පික්මී, ඌබර් වගේ ඉතාම පහසු සහ සාර්ථක කැබ් සර්විසස් අපි අතර ප්‍රචලිත වුණා. ඒත් එක්කම ඒවාට සටනක් දෙන්න නොහැකි වුණු ගොඩක් නගරබද ටැක්සි සර්විස් ආයතනවල බහින කලාව ඇරඹුණා.
6. පත්තර සහ සඟරා
ඒ කාලේ පත්තර නොතිබ්බේ මොනවටද? දිනපතා සහ සතිපතා ප්‍රවෘත්ති පත්තර, මල් පත්තර, චිත්‍රකතා පත්තර, තරුණයන්ට වෙනම පත්තර, තරුණියන්ට වෙනම පත්තර, බිරින්දෑවරුන්ට වෙනම පත්තර, සිනමා ලෝලීන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට විශේෂ වුණු පත්තර වගේ නොයෙකුත් පරාස වල විහිදුණු පත්තර රැසක් ඒ කාලේ තිබ්බා. නමුත් අන්තර්ජාලය ජනප්‍රිය මාධ්‍යයක් වීමත් එක්ක මේ හැම අවශ්‍යතාවයම සම්පූර්ණ කරන අඩවි අන්තර්ජාලය තුළ නිර්මාණය වුණා. නොමිලේම පත්තර කියවන්න, කතා කියවන්න, ගොසිප් කියවන්න, ක්‍රීඩා ප්‍රවෘත්ති දැනගන්න ඉඩ හසර සැලසුණා. ඒ වගේම ප්‍රවෘත්ති වගේ දේවල් එසැණින් දැනගැනීමේ පහසුකමත් ආවා. ඒත් එක්කම ටිකෙන් ටික මේ වෙද්දි පත්තර සහ සඟරා අභාවයට යමින් තමයි පවතින්නේ. මුද්‍රිත මාධ්‍යයන් වලින් ඩිජිටල් මාධ්‍යවලට හැරුණු ආයතන හැරෙන්නට අනිත් ආයතන දිනෙන් දින අසාර්ථකත්වය රස බලමිනුයි ඉන්නේ.
7. පණිවුඩ සේවාවන්
දැන් ඉතින් ගෙදරකට පියුම් මහත්තයෙක් හරහා ආවොත් බොහෝ දුරට ඒ බිල්පතක් හරි රාජකාරීමය ලියවිල්ලක් හරි තමයි. ඒකට ඉස්සර හිතවතුන්ගේ ලියුම්, පෝස්ට්කාඩ්, පාර්සල් ඇතුළු ගොඩක් දේවල් තැපැල් සේවාව හරහා එහා මෙහා වුණා. කල්පනා කරලා බලන්නකෝ ඒ කාලේ වෙසක් එකට කොයි තරම් නම් වෙසක් කාඩ් ප්‍රමාණයක් තැපැල් හරහා යවනවද කියලා. අද මේ වෙද්දි නම් මිනිස්සු එකිනෙකාට ලියුම් ලියන්නේ නැතිම තරම්. ඒ වෙනුවට ඊමේල්, මැසෙන්ජර් සර්විසස් තියනවා.
ඒ වගේම කාලයක් ලංකාවේ ලාභ ලබන ව්‍යාපාරයක් වුණු කමියුනිකේෂන්වලටත් මේ වෙද්දි කණකොකා හඬලා තියනවා. අතිශය වැදගත් ස්ථාන වෙන පාසැල්, විශ්ව විද්‍යාල වගේ ලිපි ද්‍රව්‍ය, මුද්‍රණ පිටපත් වගේ සේවාවන්වල අවශ්‍යතා වැඩි ස්ථාන ආශ්‍රිතව පිහිටලා තියන කමියුනිකේෂන් හැරුනාම ගොඩක් කමියුනිකේෂන් ව්‍යාපාර මේ වෙද්දි ලාභ ලබන්නට අසීරු තත්ත්වයට පත් වෙලා. කමියුනිකේෂන් එකකින් ඉටු වෙච්චි ගොඩක් සේවාවන් ඉතාම සරළ ස්මාර්ට් ෆෝන් එකකින් කරගන්න පුළුවන් වීම ඒකට හේතුවයි.
Leave a Reply