දැන් අපේ මේ තියෙන කාර්යබහුල ජීවිතේ ගත්තහම, ඒක කොයි මොහොතකවත් ඉවරයක් නැහැ වගේ නේද දැනෙන්නේ? නැද්ද? විශේෂයෙන්ම අපි වැඩ ඉවර කරලා ගෙදර ඇවිත් පොඩ්ඩක් නිස්කලංකව ඉන්න ඕන කියලා හිතුවත්, ඇත්තටම එහෙම නිස්කලංක කමක් ජීවිතේ නැති තරම් කියලා හිතෙන්නෙ නැද්ද? ගෙදර ඇවිත් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන කියලා සැප පුටුවක වාඩි වුණත්, අපිට අර තියෙන වැඩ කටයුතු ගැන සැරින් සැරේ මතක් වෙනවා. එක්කෝ ඉස්සරහට එන්න තියෙන වැඩ ගැන මතක් වෙනවා. සමහර වෙලාවට අපිට ජීවිතේ කොයි තරම් කාර්යබහුලද කියන එක මතක් වෙනවා. අන්තිමට වැඩ නැතුව ඉන්න මොහොතකදීත් අපි කරලා තියෙන්නේ ජීවිතේ තියෙන කාර්යබහුල වීම ගැන හිතලා, එන්න තියෙන වැඩ ගැන, කරලා ඉවර නැති වැඩ වගේ අටෝරාසියක් දේවල් ගැන හිතලා ස්ට්‍රෙස් වෙලා ඉන්න එක. ඇත්තටම මේකෙන් අපිට මිදීමක් නැද්ද?
ඇත්තටම ඒ කාර්යබහුල කමත් එක්ක එන ජීවිතේ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි භාවනාව, එහෙම නැතිනම් චිත්ත ඒකාග්‍රතාවය. සමහරු හිතනවා භාවනා කරන්න බෞද්ධ වෙන්න ඕනය කියලා. ඇත්තටම එහෙම එකක් නෑ. ඕනම ආගමික විශ්වාසයක භාවනා ක්‍රම තියෙනවා. ඉතින් අපිට වර්තමානයේ තියෙන ටෙක්නොලොජි එකෙනුත් ඔය භාවනා සීන් වලට උදවුවක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ස්මාට්ෆෝන් එකට දාගන්න පුළුවන් භාවනා ඇප්ස් තියෙනවා. නිකමට බලමුද ඒ වගේ එකක් ට්‍රයි කරලා?
1. Omvana
Omvana කියන්නේ ඇත්තටම අර විවිධාකාරයේ භාවනා තේමාවන්, භාවනා මියුසික් තෝරාගැනීම් තියෙන ඇප් එකක් නෙවෙයි. හැබැයි Omvana ඇප් එකේ විශේෂත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි එකේ තියෙන සරල කම. ඉතාම පහසු පරිශීලක අතුරු මුහුණතක් එක්ක, Omvana ඇප් එකේ ෆීචර්ස් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. දෙවෙනි කාරණාව වෙන්නේ, Omvana ඇප් එක ඇත්තටම නිකම්ම භාවනා ඇප් එකක් නොවීම. ඊට වඩා ඒකෙන් උත්සාහ කරන්නේ ජීවිතේ අපිට අවශ්‍ය අරමුණු ඉෂ්ට කරගන්න සහාය වෙන්න, අපිව තවත් තලයකට උස්සලා තියන්න, අපිට ජීවිතේ විවිධ තැන් වල කාර්යක්ෂමතාවය, හැකියාවන් වර්ධනය කරගන්න උදවුවක් වෙන්න තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, භාවනාවත් එක්ක යන ක්‍රියාකාරකම් වලින් අපේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්න, ආතතිය, කලබලකාරී බව අඩු කරගන්න, අවධානය වැඩි කරගන්න වගේ දේවල් කරන්න Omvana ඇප් එක උත්සාහ ගන්නවා.
2. Headspace
අපිට භාවනාවට යම් කිසි මගපෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඔය සතිපට්ඨානය එහෙම නැතිනම් සිහිය රඳවා තබාගැනීම කියන එකත් ඔය භාවනාවන් එක්කම යනවනේ. හැබැයි අපි කොහොමද ඔය මගපෙන්වීම හොයාගන්නේ? ආන්න ඒකට තමයි Headspace වගේ ඇප් එකක් අවශ්‍ය වෙන්නේ. මුදල් ගෙවලා ගන්න අවශ්‍ය මේ Headspace ඇප් එකෙන් අපිට අපේ දිනචර්යාව ඇතුළතදී සන්සුන් නිස්කලංක බව, ජීවිතේ සමබරතාවය ලබාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒකට අපිට යම් යම් උපදෙස් ලැබෙනවා ඇප් එකෙන්. හැබැයි අපි ඒ උපදෙස් පිළිපදින්නත් වුවමනායි. ඒ වගේම, රාත්‍රියට නින්දට යනකොට වුණත්, කරන්න විශේෂ භාවනා ක්‍රම මේ ඇප් එකෙන් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ අපිට ගැඹුරු සුව නින්දකට වැටෙන්න වුවමනා කරන මියුසික්, එහෙම නැතිනම් ස්වභාවික ශබ්ද සංකලනයන් අපි වටා ගලාගෙන යන්න සලස්වන්නත් මේ Headspace ඇප් එකටම පුළුවන්.
3. Breethe
හුස්ම කියන්නේ අපේ ජීවිතේ කොයි තරම් වැදගත් දෙයක්ද? හුස්ම ගත්තේ නැතිනම් එතනින් එහාට අපිට ජීවිතේකුත් නැහැනේ. නැද්ද? ආන්න ඒ කාරණාවත් එක්ක තමයි මේ ඇප් එකට Breethe කියලා නම දාලා තියෙන්නෙත්, පාවිච්චි කරන අය කියන විදියට. කොහොම වුණත්, මේකත් එක්තරා විදියට භාවනාමය මගපෙන්වීම් තියෙන ඇප් එකක් කියලා කියන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ, මේ ඇප් එක ඔස්සේ දවසකට මිනිත්තු 5 ක විතර කාලයක් වෙන් කරලා, අපිට ආනාපානසතිය සහ තවත් සරල භාවනා ක්‍රම ඔස්සේ ජීවිතේ අත්දකින්න වෙන ආතතිය, කලබලකාරී බව සංසිඳවා ගන්න හැකි වීම තමයි. ඒ වගේම, අපිට ජීවිතේට අනුප්‍රාණයක් වෙන විදියේ අදහස් එහෙමත් දැනගන්න මේ ඇප් එක හරහා පුළුවන්. ඒ වගේම සිහිය රඳවා ගැනීම, ආතතිය අවම කර ගැනීම වගේ දේවල් වලට උපදෙස් දෙන ලෝ ප්‍රකට උපදේශකවරයෙක් වෙන Lynne Goldberg වගේ අය එක්ක සම්බන්ධ වෙන්නත් මේ ඇප් එකෙන් පුළුවන් කියලා කියනවා.
4. Insight Timer
ඇත්තටම අපි ගෙවන කලබලකාරී, තරගකාරී ජීවිතයත් එක්ක, අපිට මනස සන්සුන් කරගන්න දවසකට විනාඩි කිහිපයකට වඩා වැය කරන්න බැරි වීම දුක් වෙන්න ඕන කාරණාවක්. හා නැද්ද? හැබැයි අඩු තරමින් අපිට දවසකට විනාඩි කීපයක් හරි ඒ වෙනුවෙන් වැය කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම Insight Timer වගේ ඇප් එකකින්, අපිට තියෙන සීමිත කාලයෙන් උපරිම සන්සුන් බවක්, සිහියේ පිහිටීමක් ලබාගන්න පුළුවන් වීම ලොකු දෙයක්. මේ Insight Timer ඇප් එකට නොමිලේ ලබාගන්න පුළුවන් භාවනා ක්‍රම දහයක් විතර හැමදාම ඇතුළත් වෙනවා. ඒ වගේ භාවනා ක්‍රම දහස් ගණන් අපිට මේ ඇප් එක හරහා හොයාගන්න පුළුවන්. ඒ භාවනා හැම එකක්ම උපදේශනයන් එක්ක මෙහෙයවෙන්නේ. විශේෂයෙන්ම දවසකට මොහොතක් ගත කරලා භාවනාවෙන් ශාන්තිය සහ සිහිය හොයාගන්න එක පුරුද්දක් බවට පත් කරගන්න Insight Timer ඇප් එකෙන් උදවු කිරීම විශේෂයක්.
5. buddhify
මේ ඇප් එකෙ නම එක්කම පොඩි ආගමික ගතියක් දැනෙනවා. හැබැයි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ ඇප් එකේ ජීවිතේ කලබලය සහ ආතතිය අඩු කරන්න, හොඳ නින්දකට පසුබිම ලබාදෙන්න සහ අපිට පාලනය කරගන්න අපහසු වෙන චිත්ත වේගයන් කළමනාකරණය කරගන්න උදවු වෙන විදියේ භාවනා ක්‍රම 200 ක් විතර ලබාදීලා තියෙනවා. අපිට මේ ඇප් එකෙන් අපි ඉන්න වාතාවරණය අනුව අවශ්‍ය විශේෂයෙන්ම සැකසුණු භාවනා ක්‍රම සහ ක්‍රියාකාරකම් තෝරාගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත්, අපි මේ මොහොතේ කාමරේ නිශ්චලව ඉන්න ගමන්ද, කෑම කන ගමන්ද, ඇවිදින ගමන්ද, සංචාරය කරන ගමන්ද, ෆේස්බුක් යන ගමන්ද, උදේ ඇහැරුණු ගමන්ද කියලා තේරීම් ගණනාවක් තියෙනවා. එතකොට අපි කරමින් ඉන්න දේ ඒ අනුව තෝරාගත්තහම, buddhify ඇප් එකෙන් අපිට ලබාදෙන්නේ ඒ මොහොතට හරියන භාවනාමය ක්‍රියාකාරකම් තමයි.
6. Breathe+
දැන් බෞද්ධ ධර්මය ටිකක් හරි දන්න කෙනෙක් දන්නවා, බෞද්ධ ධර්මය ඇතුළේ හුස්ම ගැනීමේ ක්‍රියාකාරකම් වලට තියෙන තැන. ඒ කියන්නේ, ආනාපානසති භාවනාව කියලා කියන්නේ ඇත්තටම හුස්ම ගැනීම ක්‍රමවත්ව, ඊටම අවධානය යොමු කරලා සිදුකිරීමනේ. ඇත්තටම එහෙම සම්මා සතියෙන්, ඒ කියන්නේ නිවැරදි සිහියෙන් සිදුකරන හුස්ම ගැනීම සාමාන්‍යයෙන් අපි නොහිතා කරන හුස්ම ගැනීමට වඩා වෙනස්. ඒ වගේම, ඒ නිවැරදි සිහියෙන් කරන හුස්ම ගැනීමෙන් අපිට ආතතිය, කලබලය අඩු වෙලා සන්සුන් වෙන්න, නිස්කලංක වෙන්න හැකියාව ලැබෙනවා වගේම, ශාරීරිකවත් හොඳක් සිද්ධ වෙනවා. ආන්න ඒකට හොඳ සහායක් ලබාදෙන ඇප් එකක් තමයි Breathe+ කියන්නේ. විශේෂයෙන්ම හරි විදියට භාවනාමය ආකාරයකින් හුස්ම ගැනීම ගැන මේ ඇප් එකෙන් කියලා දෙනවා වගේම, තත්පර තිහක් හුස්ම අල්ලාගෙන හිඳීම වගේ ටෙක්නික් භාවනාවක් විදියට කිරීම එහෙමත් මේකෙන් කියලා දෙනවා.
7. Oak
අපි කලිනුත් කියපු ගැටළුවක් තමයි, අපේ කලබලකාරී ජීවිතේ ඇතුළේ ඔය එක තැනකින් වාඩි වෙලා භාවනා කරනවා වගේ දේවල් කරන්න අවකාශයක් නැතිවීම. අපි කොයි වෙලේත් කලබලකාරී දිවිල්ලක තමයි ඉන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ, අපිට එහෙම දුවන ගමන් වුණත්, විනාඩි පහක් වෙන් කරලා නිස්කලංක වෙන්න, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න, සම්මා සතිය ඇති කරගන්න බැහැයි කියලා. ආන්න එහෙම ක්ෂණික නූඩ්ල්ස් වගේ විනාඩි දෙකෙන්, විනාඩි පහෙන් භාවනාමය “ෆික්ස්” එකක් ලබාගන්න උපකාරී වෙන ඇප් එකක් තමයි Oak කියන්නේ! මේකේ විවිධ භාවනා ක්‍රම වලට පුහුණුව සහ මාර්ගෝදේශනය, නින්දට යන්න සහාය, හරි විදියට යෝගී ක්‍රම වලට හුස්ම ගන්න මාර්ගෝපදේශනය වගේ විවිධ සහායන් ලබාදෙනවා. විශේෂයෙන්ම විනාඩි පහේ ක්ෂණික භාවනා ෆික්ස් එකක ඉඳන් ඕන නම් පැය විසිහතරක් වගේ දිවෙන ගැඹුරු භාවනාවන් සඳහාත් මේ Oak ඇප් එකෙන් ඉඩ ලබාදීම විශේෂත්වයක්. මේක ඇපල් ෆෝන් පාවිච්චි කරන අයට විතරයි තියෙන්නේ හැබැයි.
Leave a Reply