අගමැති ජනාධිපති නොවී අපේ රට පාලනය කළ පුද්ගලයෝ

සමහරක් වෙලාවට රටක් පාලනය කරන්න රටේ ඉහළම තනතුරට එන එක අත්‍යාවශ්‍යම නැහැ. අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ එහෙම උදාහරණ කීපයක් පිළිබඳව. මේ ලිපිය තරමක් දුරට ආන්දෝලනාත්මක වෙන්නත් පුළුවන්.

 

1. බැසිල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලය තුළ ආර්ථික උපදේශකවරයෙක් විදිහට කටයුතු කරපු බැසිල් රාජපක්ෂ පසුව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විදිහට රාජපක්ෂ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පාහේ හැසිරවීමට කටයුතු කළා. අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් අනතුරුව බොහෝ දෙනෙක් පරාජයේ වගකීම බැසිල් රාජපක්ෂ වෙත යොමු කිරීමට උත්සාහ කළා. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ සීමා ඉවත් කරනු ලැබුවා. ඒ හරහා යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වූ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

 

2. පී. බී ජයසුන්දර 

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ පී. බී ජයසුන්දරව එම රජයේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි විමල් වීරවංශ විසින් ආර්ථික ඝාතකයකු ලෙස හඳුන්වනු ලැබුවා. වාසුදේව නානායක්කාර මහතා මූලිකව ගොනු කළ නඩුවක් හරහා පී. බී ජයසුන්දරට කලක් රජයේ තනතුරු දැරීම පවා තහනම් වුණා. කෙසේ නමුත් ඒ සියලු බාධා සාර්ථකව ඉවත් කර ගැනීමට සමත් වූ ඔහු වර්තමානයේ ජනාධිපති ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ රජයේ සුවිශාල භූමිකාවක් ඉෂ්ට කරමින් සිටිනවා.

 

3. චරිත රත්වත්තේ 

2002 වසරේ පටන් 2004 දක්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ වෙත එවකට පාර්ලිමේන්තුවේ බලය හිමි කරගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් පවා දැඩි විරෝධතාවයක් එල්ල වුණා. පසුකාලයක එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ එම කාලය තුළ පැවැති එක්සත් ජාතික පක්ෂ රජය බිඳ වැටීමට ප්‍රධානම හේතුවක් වූයේ චරිත රත්වත්තේගේ ක්‍රියා කලාපය බවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම ඊට හේතුව ලෙස සඳහන් වුණා.

 

4. මංගල සමරවීර 

චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ තීන්දු ගැනීමට මැදිහත් වූ කිහිප දෙනාගේ කල්ලියේ ප්‍රධානියකු ලෙස මංගල සමරවීර දැඩි ලෙසම විපක්ෂයේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතරත් අප්‍රසාදයට පත් වුණා. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ හට අග්‍රාමාත්‍ය ධූරය සහ ජනාධිපති ධූරය ධුර අපේක්ෂකත්වය ලබාදීමට ඔහු විසින් සුවිශාල සටනක් ගෙන ගිය අතර අවසානයේදී එය සාර්ථක වුණා. එහෙත් එම රජය තුළ දී ඔහුට සිය පැරණි භූමිකාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රබල විරුද්ධවාදියෙකු බවට මංගල සමරවීර පත්වීමයි.

 

5. එස්. බී දිසානායක

 

ආරම්භයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතම දේශපාලන මිත්‍රයෙකු වූ එස්. බී දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ  ප්‍රබල ස්ථාවරයකට පත්වුණා. බොහෝ දෙනෙක් විශ්වාස කෙරේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුව එම බලය එස්. බී දිසානායක අතට පත් වනු ඇති බවයි. කෙසේ නමුත් ඔහු විසින් ඇයට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බවට ඔහු පත් වුණා. මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව යළිත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වීමට තීරණය කළා.

 

6. සිරිසේන කුරේ

 

ආර්. ප්‍රේමදාස රජයේ ප්‍රේමදාසට පමණක් දෙවැනි බලයක් සිරිසේන කුරේ වෙතට හිමිවුණේ ඔහු හා ජනපති ප්‍රේමදාස අතර පැවති සමීප සබඳතාවය නිසයි. ඇතැම් පාර්ශ්ව දිගින් දිගටම චෝදනා කළේ ජනපති ප්‍රේමදාස නොමග යැවීමට දායක වන ප්‍රධානම පුද්ගලයා සිරිසේන කුරේ බවටයි. ජනපති ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ඔහු හට ප්‍රබල විරෝධයක් එල්ල කළ අතර ඒ හේතුවෙන් ඔහු දේශපාලනයෙන් සමුගත්තා. යළිත් වරක් කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තරඟ වැද දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ඔහු උත්සාහ කළත් එයද නාම යෝජනා මට්ටමේදීම කඩාකප්පල්ව ගියා.

 

7. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක 

1970 – 1977 සිරිමාවෝ බණ්ඩාරනායක රජය දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක් කිරීමට දායක වූ පුද්ගලයා ලෙස බොහෝ දෙනෙක්ගේ දෝෂදර්ශනයට ලක් වන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයි. වාමාංශික පක්ෂ හා නිදහස් පක්ෂය සමඟ තිබෙන සන්ධානය බිඳ දැමීමට ඔහු දායකත්වය ලබා දුන් බවටත් ඔහුගේ දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන පදනම දෙදරා ගිය බවටත් සාමාන්‍ය ජනතාව අතර මතයක් ගොඩ නැගුණා.

 

මේ අය ගැන ඔබේ අදහස් උදහස් කමෙන්ට් කරන ගමන් ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *