පොත් කියවන එක හොඳ දෙයක්. ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි පොත් කියවනව කියල පෙන්නන්න පුරාජේරුවට කරන වැඩ එච්චර හොඳ නෑ. එච්චර නෙමෙයි කොච්චරවත් හොඳ නැහැ. සාමාන්‍ය විදියට පොතක් කියවලා, එහි රසය විඳලා, දැනුම අරගෙන සැපෙන් සනීපෙන් ඉන්නෙ නැතුව ‘මේං අපි කියෝපු පොත්, මිනිහෙක් මෙවුව කියෝල නැත්තං ඌ වැඩක් නෑ’ වගේ ටෝක් දෙන්න හොඳ නෑ. ඒක කැතයි. චී! හැබැයි තමුන් කියවපු පොතක් ගැන විචාරයක් ලියන එක, ඒක ගැන තව කෙනෙක්ට වඩා පැහැදිලි අර්ථකතනයක් සපයන එක වටින දෙයක්. ඒ වෙනුවෙන්ම ඕනතරං බිහිවුනු ෆේස්බුක් කණ්ඩායම් අපිට දකින්න පුළුවන්. අන්න ඒ වගේ කණ්ඩායම් ඇතුළෙ තමුං කියෙවුව කියල පාරං බාන පොත් අතරෙන් ටිකක් තමයි අපි මේ විදියට කියන්නෙ. මේ පොත්වල නං කිසිම වරදක් නෑ. හැබැයි මේ පොත් කියෙවුව කියල බොරුවට උඩ ගහන එක තමයි කැත.
1. සෙංකොට්ටං
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන්නෙ අතිදක්ෂ කවියෙක්. පස්සෙ ඔහු නවකතාකරුවෙක් වුනා. එය ඔහුගේ කවීත්වය අභිබවා ගියේ සෙංකොට්ටං නම් වූ සාර්ථක නවකතාවත් එක්කයි. සෙංකොට්ටං සාර්ථකත්වය සමග සෙංකොට්ටංවල තිබ්බ ට්විස්ට් එක, ලංකාව වගේ ඉතාම සරළව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කලා නිර්මාණ බිහිවෙන රටකට දරාගන්න බැරි වුනා. අන්න ඒ නිසාම සෙංකොට්ටං සුපීරියර් කරන්න ලාංකික පොත් කියවන ඈයො ගත්තු උත්සාහය නිසාම පොතේ කොලිටිය බාල වුනාද කියලත් හිතෙනවා. කොහොම වුනත් මේ වෙද්දි මේ පොත නොකියෙවුව කියන්නෙ ඌ මී හරකෙක් කියන තත්ත්වෙට කතාව හැදිලා ඉවරයි.
2. අම්මා
සන්නස්ගලත් ලිවුව එයාගෙ අම්මා ගැන. හැබැයි මේ කියන්නෙ ඊට කලින් කාර්මික විප්ලවය කාලෙ හිටපු අම්මෙක් ගැන මක්සිම් ගෝර්කි ලියපු කතාව ගැනයි. කතාව අතිශය සාර්ථක ඇඟ හිරිවට්ටන කතාවක් වුනත් ඒක මහා අළු පැහැ නීරස පසුබිමක කියවෙන්නක්. කට්ටිය ඕකෙන් අල්ලගත්තේ ගෝර්කි කියපු ‘ලෝකය පවතින්නේ හිරුගේ රැසිනුයි මවගේ කිරෙනුයි’ කියන කතාව. ඉතිං තව මොනවද? ඊට පස්සෙ මේක නොකියවපු උන් පවා මේක උඩ ගහන්න ගත්තා. අන්තිමට ගෝර්කිගෙ අම්මව, උදේට වත්ත පහළට ගිහින් කොස් ගෙඩියක් කඩං ඇවිල්ල, කොච්චි සම්බෝල එක්ක පොල් ගාලා දරුවන්ට ගිල්ලලා, තමුන් බඩගින්නෙ නිදාගත්තු ශ්‍රී ලාංකීය සාහිත ෆැන්ටසි මාතාව බවට පත් කරන්න මේ ඈයො සමත් වුනා.
3. ඩවින්චි කේතය
අතිශය කුතුහලජනක පොතක්. කොන්ස්පිරසි තියරි වලට ඔබ ආසා වුනත්, නැති වුනත් කියවිය යුතු පොතක්. මේක සිංහලට පරිවර්තනය කලේ කුමාර සිරිවර්ධන. පරිවර්තනය අතිශය සාර්ථක නෑ කියල ඩික්ෂනරි දෙකක (ඉංග්‍රීසි-ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි-සිංහල) ආධාරයෙන් හෝ ඔරිමජිනල් එක කියවපු ඈයො දන්නව ඇති. ඒ ගැන කුමාර සිරිවර්ධන එක්ක නොයෙක් වාද ඇති වෙලා තියෙනවත් දකින්න ලැබුනා. හැබැයි මේ වගේ පොතක් පරිවර්තනය කරන බර කරට ගත්තු එකම ලොකු දෙයක්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මේකත් කට්ටිය තමුංගෙ කියවීමේ මහන්තත්තය පෙන්නන්න පාවිච්චි කරන එකයි. මේ වගේ පොතක් කියවූ පමණින් තමන් කන්ස්පිරසි තියරි ගැන මහා දැනමුත්තෙක්ය, මේක කියෝල නැතිව කන්ස්පිරසි තියරි ගැන කතා කරන්න එපාය වගේ ටෝක් තාමත් ගෲප් ඇතුළෙන් කෑ ගහල කියනවා.
4. රණ මග ඔස්සේ නන්දිකඩාල්
රසවත් විදියට ලියපු පොතක්. හැබැයි සමහර තැන් පොඩි පොඩි නෝටි අරමුණු හිත යට හංගා සිහින ගණින හින්දා ලිවුවද කියල සම්පූර්ණයෙන් කියෙවුවම හිතෙනවා. ඒ ලිවුව වගේම මේ පොතත් තමුංගෙ පොලිටිකල් ඇරියස් කවර් කරගන්න බොහෝ පාඨකයො පාවිච්චි කරනවා. මේ වගේ රසවත් බසක් එක්ක ගලාගෙන යන කතාවක් බැරිනං අම්ම අප්ප හෝ දේශපාලනේ වෙනුවෙන් මාකට් කරන්න දතකන බුවාස්ලාට පොත් ලියලා වැඩක් නෑ මහත්තයො.
5. තියුණු අසිපතක සෙවණ යට
මෙන්න කලින් අපි ලියපු රණ මග ඔස්සේ නන්දිකඩාල් පොතේ අනිත් පැත්ත. මේක ලියන්නෙ ත්‍රස්තවාදීන් පැත්තෙන්. යෙප්පි ඔඳයි එයැයිලා නරකයි ටෝන් එකෙන් තමයි පොත ලියවෙන්නෙ. මේකත් තමුංගෙ නල්ල මලේ දර්ශන ජනගත කරන්න හදන උන්දැලා ඒ ඒ ඇරියර්ස් වෙනුවෙන් භාවිතා කරනවා. දේශපාලන ගේමකට යාපනේ පුස්තකාලය නරුමයො ටිකක් ගිනි තිබ්බම ඒක සම්පූර්ණ ජාතියටම පංගඩාත්තු කරපු ඩිරෙක්ටර් මහත්තයාගෙ පරම්පරාවෙ යට පුරුක් මේක කර තියං යනව. හැබැයි එයාලට අනිත් පැත්ත ගැන කතා කරද්දි ඒක එහෙම නෑ. එතකොට සුළු ජාතියෙ නෙමෙයි අවුල, ටික දෙනෙකුගෙ විතරයි. ජාතිවාදය කවදාවත් හොඳ නෑ. ජාතිවාදය පෙන්නල ඡන්ද ගන්න හොඳත් නෑ. එක ජාතියකට විතරක් කඩේ යන්න සල්ලි ගන්න හොඳත් නෑ. අන්න ඒ විදියට තමුංට වාසි පැත්තට බෙර ගහන්න පාවිච්චි කරන මේ පොතත් කොච්චර රසවත්ව ලියල තිබ්බත් පුරාජේරුවටම සින්න වෙලා ගිහින්.
6. ඇට මැස්සා
සුගතපාල ද සිල්වා මහත්තයා කරපු මේ පරිවර්තනය මුල් කෘතියේ රසය ඒ විදියටම තියාගන්න සමත් වෙලා තියනවා. ඒක අනාගත පරිවර්තකයන්ටත් හොඳ නිදර්ශකයක් විදියට දක්වන්න පුළුවන් නිර්මාණයක්. අවාසනාවකට මේකත් අහුවුනා විදග්ධයි කියල පෙන්වන්න කැමති දෑතට. ඉතිං තාමත් පැයකට වරක් පොතේ කවරයක පින්තූරයක් වදිනවා. කියෙවුවද යාළුවනේ… කියවන්නයි යන්නෙ යාළුවනේ… මේක නොකියවපු දෑස මක්කටෙයි යාළුවනේ… අද මගේ පුංචි පුතා මගෙන් මේ පොත ගැන ඇහුවා යාළුවනේ… මේං මං අද නෙලාගත්තු අස්වැන්න යාළුවනේ වගේ තකතීරු වචන පෙළක් එක්ක ඒ පින්තූර සකර්බර්ග්ගෙ ඉඩ පුරවනවා.
7. ගුරුගීතය
ඔයාලා හිතුවද අපි මේක ඇතෑරියා කියලා. මේක තමයි ලංකාවෙදි භයානකම ඉරණමට මුහුණ දුන්නු පොත. මේ පොතේ පිටකවරයත් එක්ක වැටෙන කමෙන්ට්ස් හාත්පසින්ම අනිත් ඒවාට වඩා වෙනස්. ලංකාවේ ගුරුවරුන් කියවිය යුතුම පොත, ලංකාවේ ගුරු ගීතය චිත්‍රපටයක් කළොත් දුයිෂෙන්ටයි අල්තීනායිටයි ගන්නෙ කාවද යාළුවනේ? මේ ගුරු ගීතය ලිවුවම මට හිතුනු කවිය. ඔයාලාගෙ අදහස කියන්න. මෙන්න මේ වගේ ලොන්තපෝල් කමෙන්ට්ස් හින්දා ගුරුගීතය විරෝධී සමාජයකුත් ලංකාවෙ බිහිවුනා. ඔවුන් අතිශය නිර්මාණශීලී විදියට ගුරුගීතයට පහර දුන්නා. හැබැයි ගුරුගීතය කියන්නෙ පහර වැදිය යුතු පොතක් නෙමෙයි. ගුරු ගීතය තමුන්ගෙ මහන්තත්තයට පාවිච්චි කළ වුන්ට පහර වැදිය යුතුව තිබුනා. හැබැයි එහෙම වුනේ නෑ. එනිසා තාමත් හැම පැය කාලකටම පාරක් ගුරු ගීතය පොත් කවරයක් අයිත්මාතවුගෙ ළමයි අතින් ෆේස්බුක් වෙත එනවා.
Cover Image Source – facebook.com
Leave a Reply