කණ්ඩායමක විධියට වැඩ කරන්න ගියාම එකෙක් නැහිලා වැඩ කරද්දි, තව එකෙක් ඒකට සප් එක දෙද්දි, අනෙක් එකා බොරුවට වැඩ කරන බව පෙන්වනවා. තවත්ම එකෙක් වැඩේ පස්සට ඇදලා හිමිජ්ජා වගේ ඉන්නවා. වැඩේ අවුල් ගියොත් අරුන් සේරම වැඩේ කරපු එකාට දොස් කියනවා. වැඩේ හරි ගියොත් උගෙ අප්පගෙ “කණ්ඩායම් හැඟීම” ඉස්මතු වෙලා තමන් කරපු කාර්යයභාර්යය ගැන ලොරි ටෝක් දෙනවා. අන්තිමට කරපු එකාව ගෲප් පොටෝ එකෙත් නෑ. ඉතින් කෝමහරි ඔන්න ඔය හැම ජාතියෙ බුවෙක්ම අල්ලගෙන වැඩේ ගොඩදාගන්න ක්‍රම ටිකකුයි මේ කියන්නේ. මේවා ඔෆිස්වලට වගේම කැම්පස් එකේ එහෙම වෙනත් කණ්ඩායම් වැඩවලදිත් වැදගත් වේවි.
1. කරන්න යන වැඩේ ගැන අදහස අනිත් අයට දෙන්න
ඔය සප් එක දෙන්න ඕන වුණත් දීගන්න බැරුව පස්ස ගගහා ඉන්න ගොඩක් දෙනෙක්ට හේතු වෙන්නේ එයාලා දන්නෙ නෑ අපේ ඔළුවෙ තියෙන අයිඩියා එක මොකක්ද කියලා. වැඩේ කරන්න ඕන මෙහෙමයි කියලා අපි හිතාගෙන ඉද්දි බොක්කෙන් සප් එක දෙන කෙනෙක් ඒ ප්ලෑන් එකට නොගැළපෙන දෙයක් කළොත් අපිට නිකංම කෑ ගැහෙනවා. ඉතින් වැඩේ අවුල් යනවට අකමැති නිසා අරගොල්ලෝ වැඩක් බාර නොගෙන ෂේප් එකේ ඉන්නවා, මොකද අපි කරනවා නම් අත දාන්නෙ මොකටද කියලා. මේක නවත්ව ගන්න සහ අනිත් අයිස් පප්පලාට කරන්න යන වැඩේ බරපතලකම කොච්චරද කියන එක තේරෙන්න නම් කරන්න යන වැඩේ ගැන දළ අදහසක්, ප්ලෑන් එකක් කොළේක හදලා ඒ ගැන සාකච්ඡා කරලා ඒක එක්කෝ පේන තැනක එල්ලන්න, නැත්නම් හැමෝටම බෙදලා දෙන්න.
2. වගකීම් බෙදලා දෙන්න
ප්‍රධාන අරමුණට යන්න නම් ඒ වෙනුවෙන් කරන්නට ඕන පොඩි පොඩි දේවල් ගොඩාක් තියෙනවා. උදාහරණයක් විධියට කැම්පස් එකෙන් රොබෝ කෙනෙක් හදනවා නම් එකෙක් මෝටර් ටික බලද්දි අනිත් කෙනෙක්ට ඒකෙ පෙනුම ගැන හිතන්නත්, තවත් කෙනෙක්ට කෝඩ් ලියන එක ගැන බලන්නත් පුළුවන්. හැබැයි එක්කෙනෙක් තනියෙන් සේරම කරන්න යන බව පේනවා නම් අනිත් අය එයාගෙ වැඩේට ඇඟිලි ගහලා විනාස කරන්න යන්නෙ නැතුව ඔහේ ඉන්නවා. ඒ නිසා තනියෙන් මහන්සි වෙලා වැඩේ අනාගන්නවා වෙනුවට හැම කෙනෙක්ටම එයාලාගේ හැකියාව අනුව වැඩක් බාර දීලා, ඒක කරන්න ඕන කාල පරාසයක් දීලා නැවතත් ප්‍රධාන අරමුණ සහ ඉලක්කය ගැන කතා කරන්න. ඒකට යන්න නම් ඔයාගෙන් මේ කොටස කෙරෙන්නම ඕන කියන එක පැහැදිළි කරන්න.
3. පොඩි මීටින් ගන්න
පැය ගණන් වල්පල් දොඩවලා කම්මැලිකම හිතෙන, ප්‍රසන්ටේෂන් පුරවගත්ත අඤ්ඤකොරොස් මීටින් තියන එක (විශේෂයෙන් ඔෆිස්වල) අඩු කරන්නම ඕන. මාසෙකට සැරයක් පැය දෙකක් විතර මීටින් එකක් තිබ්බාම දෙවෙනි තුන්වෙනි මාසෙ වෙද්දිම ඕකට යන එකත් කට්ටියට වහ කදුරු වගේ වෙනවා. ඊට පස්සේ පරක්කුවෙලා එනවා, ආවාම හොරෙන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා, මැද්දෙන් නැගිටලා යනවා. අන්තිමට අර දොඩවන එකා කොච්චර බණ දෙසුවත් අහන් ඉන්න එවුන්ගේ ඔළුවට උඩින් යන්නේ. ඒ නිසා මාසෙකට එකක් වෙනුවට ඒක කොටස් හතරකට විතර කඩලා සතියකට එකක් වෙන්න 4ක් විතර මාසෙට දාගන්න. එතකොට කතා කරන්න හැම කෙනෙක්ටම අදහස් තියෙනවා වගේම බෝරිං වෙලා අතෑරලා දාන්න හිතෙන්නෙත් නැහැ.
4. මීටින්වලදි හැමෝම තමන් කරපු දේ කියන්න ඕන
මහ එකා විතරක් බෙරිහන් දෙනවා වෙනුවට තම තමන් ගතවුණු කාලය තුළ කරපු දේවල් ගැන හැම කෙනෙක්ම නැගිටලා කියන විධියේ මීටිමක් හදාගන්න ඕන. එතකොට මීටිමේදි කියන්න දෙයක් නැති නිසා හරි ටිකක් උනන්දුවෙන් වැඩ කරන්න කට්ටිය පෙළඹෙනවා. ඒ වගේම තමන්ට කතා කරන්න අවස්ථාවක් ලැබුණාම මේ කණ්ඩායමට මගෙනුත් දෙයක් වෙන්න ඕන සහ මගේ වටිනාකමක් තියෙනවා නේද කියන හැඟීම එනවා. මුල් අසුන විතරක් කතා කරද්දි අපේ අදහස් වැඩක් නෑ නේද කියලා හිතෙනකොට කොහොමටත් වැඩක් කරන්න හිත දෙන්නේ නැහැ. මිනිස්සු ආසයි තමන්ගෙ හැකියාවන් උරගා බලන්න. ඒවාට ගාණට අවස්ථාවට වැඩ ගන්න මහතැන ටිකක් කපටි වෙන්න ඕන.
5. කුඩා ජයග්‍රහණ ගැන කතා කරලා ප්‍රශංසා කරන්න
ගොඩක් කණ්ඩායම්වල, ඔෆිස්වල දකින්න ලැබෙන දෙයක් තමයි නරකක් කළොත් ගම් හතකට බැන්නාට හොඳට වැඩක් කළොත් “හා” කියලා ඒක ගණන් නොගෙන ඉන්නවා. මෙහෙම කරන්න සමහරවිට එක හේතුවක් වෙනවා ඇත්තේ ලොක්කාටත් වඩා ඔළුව උදුම්මවා ගන්නා කට්ටිය වෙන්න ඇති. හැබැයි ඉතින් කණ්ඩායමක් විධියට අපි මේ ලබාගත්ත ජයග්‍රහණයක් විධියට ෂේප් එකේ ඒ අයවත් ප්‍රශංසා කරලා, අනෙක් අයටත් ඉරිසියා නොහිතෙන්න මෙයා වගේ කැපවෙන්න කියලා කතා කරන්න පුළුවන් නම් එ්කෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. කොච්චර කරත් මුගෙන් බැණුම් ඇහිල්ලමයිනේ කියලා කට්ටිය ඔතෑනි වෙන්න ඉඩ හරිනවාට වඩා මූලික අරමුණ වෙත යද්දි ලබාගන්න ජයග්‍රහණය පොඩියට හරි සෙලිබ්‍රේට් කරන්න පුළුවන් නම් ඒක හැමෝටම ගැම්මක් වෙනවා.
Cover Image Source – redbooth.com / charlesngo.com
Leave a Reply