මෑත කාලයේ අහන්නට ලැබුණු ප්‍රේමණීයම ගීත 7ක්

ආදරයේ කලාත්මක ප්‍රකාශය වෙන්නේ ගීතයයි. හොඳ ගීතයකට පුළුවන් අපේ හදවත් වල හිර වෙලා තියන අස්පර්ෂණීය තැන් හරිම සංවේදී විදිහට ස්පර්ෂ කරන්න. දුක, සතුට, කඳුල, සිනහව, උපේක්ෂාව, තරහව, ආදරය ආදී ඕනෙම භාවමය ප්‍රකාශනයක් අවුලවලා හදවත ඇතුළේ ගිණි කන්දක් වගේ පුපුරවා හරින්න හරවත් ගීතයකට පුළුවන්. අතීත පරම්පරාවේ ගීත වල මනුස්සයන්ගේ හැඟීම් එක්ක ඒ තරම් බැඳීමක් තියනවා. හැබැයි වර්තමානයේ ලංකාවේ බිහි වෙලා තියන අලුත් විරහ ගීත සම්ප්‍රදාය ගැන බුද්ධිමත් රසිකයන්ට තියෙන්නේ හොඳ හැඟීමක් නෙමෙයි. කොටින්ම අපේ හිතේ දුක් අමතක කරන්න සින්දුවක් අහන්න ගියාම අපිට අද වෙලා තියෙන්නේ ගායකයාගේ දුක් අඳෝනාව අහන් ඉන්නනේ. පහුගිය දවස් වල පර්​යේෂකයෝ කණ්ඩායමක් හොයගෙන තියෙන්නේ වර්තමානයේ ඇහෙන අඬන සිංදු වලට අධිකව ඇබ්බැහි වෙන්න ගියොත් පිරිමි පාර්ශවයේ ලිංගික ශක්තිය පවා හීන වෙලා යෑමේ අවදානමක් තියනවා කියලයි. ඉතින් අපි හිතුවා මෙවර ලිපියෙන් ඔබට ඇසීමට සුදුසු, ඔබේ කායික හා මානසික සෞඛ්‍යයට ගැළපෙන වර්තමාන පරම්පරාවේ දක්ෂයන්ගේ වටිනා ආදරණීය ගීත ටිකක් ගැන ඔබව දැනුම්වත් කරන්න.

 

1. රිදෙන නොරිද්දෙන

උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාගේ අරුත්බර පද රචනයෙන් සහ සංඛ දිනෙත්ගේ භාවාත්මක ගායනයෙන්, සංගීතයෙන් හැඩ වුණ මේ ගීතය 2018 වසරේදී එලි දැක්වුණ ගීතයක්. විටෙක පෙම්වතා ඇවිලෙද්දී පෙම්වතිය නිවෙනවා. පෙම්වතිය ඇවිලෙද්දී පෙම්වතා නිවිලා. මේ සංසිද්ධිය ඔබේ ඕනෑම පෞද්ගලික අත්දැකීමකට ආදේශ කරගන්න පුළුවන්. අන්තිමට ආදරයේදී දෙදෙනාම වරින් වර කොහොමහරි නිවීමට පත් වෙලා. ඇත්තටම ආදරයේදී වෙන්න ඕනේත් ඇවිලීමකට වඩා ඒ වගේ නිවීමක් නේද?

 

2. අහසින් එහා

වර්තමාන පරපුරේ ගාන්ධර්වයා විදිහට ඉතාම ඉහළ තලයක ඉන්න කසුන් කල්හාරගේ ගැඹුරු හඬ, මිහිරි හඬක හිමිකාරියක් වන උරේශා රවිහාරිගේ හඬ සුසංයෝගයෙන් සහ උදාර සමරවීරගේ මියුරු සංගීතයෙන් හැඩ වුණ මේ ගීතය 2016 වසරේ තිරගත වුණ “ආදරණීය කතාවක්” චිත්‍රපටයේ එන ගීතයක්. ප්‍රේමයේ අප්‍රකාශිත අවධියේ දී පෙම්වතියට මින් පෙර නොදැනුන හැඟීම් දැනෙන ආකාරය කියනකොට ඇය ගෞරවණීයව කියන්නේ පෙම්වතාගේ හඬින් ඇය විවරණ අරන් ජීවිතය ගීයක් කරගත් බවයි. පෙම්වතා විසින් ඒ ආදරය ම බව ප්‍රත්‍යක්ශ කළ පසුව උතුම් කිරුළක් දරන්  රැජිණක් විදිහට තමන් වෙතට එන ලෙස කරන ආරාධනාවෙන් පෙම්වතියට පෙරළා ලබා දෙන ගෞරවණීය බව ඉතාම ආදර්ශමත්. 

 

 

3. හතර කේන්දරේ

සුපිරි තරුව ශිහාන් මිහිරංගගේ ආදරණීය හඬින්, මනුරංග විජේසේකරගේ පද රචනයෙන්, යසස් මැදගෙදරගේ තනු නිර්මාණයෙන් සහ චරිත අතලගේ ගේ සංගීත නිර්මාණයෙන් හැඩ වුණ මේ සුන්දර ගීතය 2011 වර්ෂයේ දී නිකුත් වුණ එකක්. අහසේ ග්‍රහයන්ට, තරු වලට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න ඉඩ දෙනවට වඩා සමාජයේ ගතානුගතිකත්වය සමඟ සටන් කර තමන්ගේ ආදරය දිනා ගන්නා පෙම්වන්තයින් සැබවින්ම අනෙක් අයට වඩා සුවිශේෂීයි. විවාද සම්පන්න මාතෘකාවක් ගැන ඒ විදිහට ඉතාම මානුෂිකව ලියවුණ මේ ගීතයේ එන “ග්‍රහ දොස් මකා… මා ප්‍රේමයෙන් දොවා… නුඹ ඉන්නේ සදා මා ළඟින්” කියද්දී පිරිමියෙක්ගෙන් ගැහැණියකට දැනෙන ආදරයකට එහා ගිය ආරක්ෂාව පිළිබඳ හැඟීම ඉතාම ප්‍රබල‍යි.

 

4. සඳනාරී

හර්ශ විතානගේ ගේ හඬින්, යසස් මැදගෙදරගේ සංගීතයෙන් හා ශෙහාන් ගලහිටියාවගේ පද රචනයෙන් නිම වුණ මේ ගීතය 2018 වර්ෂයේ දී නිකුත් වුණ ගීතයක්. නවක ගායකයෙක් විදිහට ගී කලාවට පැමිණි හර්ශගේ ඉතාම ළයාදර කට හඬින් ගැයෙන මේ ගීතය සෞන්දර්යාත්මක වචන මෙන්ම උපමා ගොන්නකින් හදවත් සුවපත් කරවීමට සමත් පද පෙළකින් සහ සෞම්‍ය සංගීතයකින් පරිපූර්ණයි. පෙම්වතෙකු විසින් ඒ තරම් ලස්සනට තම පෙම්වතිය සහ තම ආදරය වර්ණනා කරන අපූරුව ඉතාම හෘදයාංගමයි.

 

5. හැම දෙයක් පෙනේ

සමනළ සංධ්වනියෙන් පස්සේ තව ගැඹුරු ආදරයක සිනමා අත්දැකීමක් ප්‍රේක්​ෂකාගාරයට තිළිණ කළ ප්‍රවීණ සිනමාවේදියා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “ඝර සර​ප” චිත්‍රපටයෙන් පසුගිය වසරේදී එළි දැක්වු​ණ මෙම ගීතයේ අර්ථාන්විත පද රචකයා වන්නෙත් එතුමන්මයි.  සමිතා මුදුන්කොටුවගේ සහ බාචි සුසාන්ගේ පරම්පරා දෙකක හැඟීම්බර හඬ මුසුවෙන් ගැයුණු මේ ගීතයේ මියුරු සංගීතය චින්තක ජයකොඩිගේ. ආදරය කරන පෙම්වතා හා පෙම්වතිය එකිනෙකාට කරගන්නා ආත්මීය හැඟීම් ප්‍රකාශනයක් මේ ගීතය ඔස්සේ දිවෙනවා. “තරු ගිලින කළු කුහර වුව පිරිනමයි මිතු දම්”… “රළු සරින් පැමිණිය ද ඔබම වේ මට සැනසුම්” වැනි රමණීය පද වලින් ඇස් වලට නොපෙනෙන ගැඹුරු හැඟීම් ගොඩක් අල්ලා දෙන්න මේ ගීතය සමත්.

 

6. නුරා වසන්තේ

පියාගේ උරුමයෙන් ඉතාම සාර්ථක ගමනක් යන නදීමාල් පෙරේරාගේ හඬින් වර්ණවත් වුණ මේ ගීතය උමා අසේනි විසින් පද රචනා කර ඇති අතර පසන් ලියනගේ සංගීතවත් කර තිබෙනවා. මෙ​යත් ටිකක් විශේෂ ගණයේ තේමාවකට ලියවුණ ගීතයක් බව හොඳින් ඇසුවොත් ඔබට තේරෙයි. ආදරයේදී ශෘංගාරයෙන් මත් වීම හෝ නොවීම පෙම්වතුන්ගේ අයිතියක්. නමුත් සමාජයෙන් එකී පෞද්ගලිකත්වයට එබිකම් කරමින් පෙම්වතියන්ගේ පාරිශුද්ධත්වය සෙවීමට යාම සමාජයක් වශයෙන් අපි බැහැර කළ යුතු සංස්කෘතික පුරුද්දක්. එවැනි අවස්ථාවකදී පෙම්වතා විසින් තම පෙම්වතිය දිහා ඉතාම මානුෂික, ආදරණීය ඇසකින් බලා ඇයව සීතාවක් සේ කැන්දන් යන බවට සපථ කරමින් ඉන්පසුව තමන්ගේ සංසාර පතිනිය වී සසර පුරා එන ලෙස කරන ආරාධනය ඉතාම හෘදයාංගමයි. මෙහි මියුරු සංගීතය ඒ සංවේදී හැඟීම ප්‍රබලත්වයට පත් කරවනවා.

 

7. මිහිරාව ආවා

සජිත ඇන්තනී කියන්නෙත් තම පියාගේ යෝධ සෙවණැල්ල යට වැඩුණු, රංගනයෙන් වගේම ගායනයෙන් ද දක්​ෂතා දක්වමින් ඉන්න නව පරපුරේ පුරුකක්. ඔහුගේ කන්කළු කටහඬින් ගැයෙන මේ ගීතය පද රචනය කර ඇත්තේ ද ජැක්සන් ඇන්තනී මහතා විසින්මයි. සංගීතය, තනුව චින්තක ලක්මාල් ජයකොඩිගෙන් සහ සනුක වික්‍රමසිංහගෙන්. ආදරයේ පරම සතුට හිමි වන්නේ එය හිමි කරගෙන පති පතිනියන් වන දවසටයි. ආදරවන්තයන් ප්‍රාර්ථනා කරනා අවසන් අරමුණත්  ඒකයි. ඉතින් පෙම්වතා මනමාල​යෙක් වෙන දවසට ඔහුට තම පෙම්වතිය ගැන දැනෙන හැඟීම හරිම ස්වාභාවික ආකාරයෙන් හදවත් වල චිත්‍රණය කරන්න මේ ගීතය ආදරණීය උත්සහයක් අරන් තියනවා. උත්සහය ඉතාම සාර්ථකයි.

 

අවසන් වශයෙන් සිහිපත් කරන්න ඕ​නෙ ඉතාම සුන්දර ගායනා, පද වැල් හා සංගීතයන්ගෙන් පරිපූර්ණ මේ අලුත් ආදර ගීත, එකිනෙකාට නො​දෙවෙනි ආකර්ෂණීය මියුසික් වීඩියෝ පෙළකින් ද වර්ණවත් කර තිබෙන බව.

 

තිනෙති නානායක්කා​ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *