හරි විදියට බිස්නස් කාඩ් එකක් පාවිච්චි කරන්නේ මෙහෙමයි!

සාමාන්‍යයෙන් ටිකක් හොඳ තැනක ඉන්න, එහෙම නැතිනම් ස්ථාවර තනතුරක ඉන්න වෘත්තිකයෙක් ගාව බිස්නස් කාඩ් එකක් වරදින්නෙ නැහැනේ. ඇත්තටම බිස්නස් කාඩ් එකක් කියන්නේත් තමන්ගේ වෘත්තිමය තත්ත්වය ඔප්නංවන දෙයක්. මොකද්ද ඇත්තටම බිස්නස් කාඩ් එකක තියෙන වැදගත්කම? දැන් අපි වෘත්තියට අදාළ වෙන කාරණාවකට කෙනෙක්ව මුණගැහුණහම, එහෙම නැතිනම් අනාගතේදී අපිට අදාළ වෙන්න පුළුවන් කෙනෙක් මුණගැහුණහම අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක හුවමාරු කරගන්නවනේ. ගොඩක් වෙලාවට අපේ කන්ටැක්ට් නම්බර් එකක් තමයි හුවමාරු වෙන්නේ. ඕන නම් ඉතින් එයාගෙ නම්බර් එක අහගෙන අපේ ෆෝන් එකේ සේව් කරගන්න, එයාට අපේ නම්බර් එක ෆෝන් එකේ සේව් කරගන්න කියන්න පුළුවන්. හැබැයි ඒකට වඩා පහසු ක්‍රමයත්, වඩාත් වෘත්තිය ක්‍රමයත් වෙන්නේ අපේ බිස්නස් කාඩ් එකක් දෙන එක. සහ අදාළ කෙනාගේ බිස්නස් කාඩ් එකක් අරගන්න එක. දැන් ඔන්න ඔය කාරණාවෙදී අපිට මුලින්ම හොඳ බිස්නස් කාඩ් එකක් ඕන. ආන්න ඒකට හොඳ බිස්නස් කාඩ් එකක් හදාගන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් අපි කළින් දීලා තියෙනවා. දැන් එතකොට කොහොමද හරි විදියට බිස්නස් කාඩ් හුවමාරු කරගන්නේ? ඒකටත් හිතන්න ඕන දේවල් තියෙනවද? ඇත්තටම ඔව්. අන්න ඒ නිසා අපි කියලා දෙන්නම්, කොලිටියට, හරි විදියට බිස්නස් කාඩ් පාවිච්චි කරන්නේ, හුවමාරු කරගන්නේ කොහොමද කියලා!

1. බිස්නස් කාඩ් නැතුව ගෙයින් එළියට බහින්න එපා

ඔබත් බිස්නස් කාඩ් එකක් තියෙන වෘත්තිකයෙක් නම් මෙන්න මේ කාරණාව හොඳට මතක තියාගන්න. බිස්නස් කාඩ් එක නැතුව ගේ ඇතුළේ ටොයිලට් එකට ගියාට කමක් නෑ. ගෙවල් ගාව කඩේට පාන් රාත්තලක් ගන්න ගියත් කමක් නෑ. හැබැයි එතනින් එහාට බිස්නස් කාඩ් නැතුව ගෙයින් එළියට බහින්න එපා. ඇයි? අපිට බිස්නස් කාඩ් එක දෙන්න අවශ්‍ය වෙන මනුස්සයෙක්ව කොයි වෙලේ මුණගැහෙයිද කියලා කියන්න බෑ. එතකොට පුද්ගලික ට්‍රිප් එකක් ගියත් බිස්නස් කාඩ් ඕනැද? ඔව්. පුද්ගලික ගමනකදී වුණත් අපිට කවදාහරි වැදගත් වෙන මනුස්සයෙක්ව මුණගැහෙන්න පුළුවන්. අන්න එතකොට, එයා තමන්ගේ කාඩ් එකක් දුන්නහම, අපි ගාව දෙන්න කාඩ් එකක් නැතිනම්, ඒක අපේ ප්‍රොෆෙෂනල් ඉමේජ් එක ගැන ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ නිසා, හැම මොහොතකම තමන් ගාව බිස්නස් කාඩ් වොලට් එකක් තියාගන්න. ඒ ඇරෙන්න තමන්ගේ පර්ස් එකේ වුණත් බිස්නස් කාඩ් එකක් දෙකක් හදිසියකට තියාගන්න.

2. අප්ඩේට් කරපු බිස්නස් කාඩ් එකක්

සමහරු ගාව ඕනම වෙලාවක පටස් ගාලා ඇදල දෙන්න බිස්නස් කාඩ් එක තියෙනවා. හැබැයි කාඩ් එක අප්ඩේට් කරල නෑ. එක්කෝ තියෙන්නෙ වැඩ කරන්නෙ නැති පරණ නොම්බරයක්. එක්කෝ මළාට චෙක් කරන්නෙ නැති පරණ ඊමේල් ඇඩ්‍රස් එකක්. එහෙම නැතිනම් බිස්නස් කාඩ් එකේ නම්බර් එකට ගත්තහම වෙන කවුරුහරි ආන්සර් කරන්නේ. අන්න එව්වා හරියන්නෙ නෑ. බිස්නස් කාඩ් එකක් හැමතිස්සෙම අප් ටු ඩේට් වෙන්න ඕන. ඒ වගේම තමයි, කවදාවත්, තමන් මේ වෙනකොට වැඩ නොකරන, පරණ ඔෆිස් එකේ බිස්නස් කාඩ් එකක් කාටවත් දෙන්න එපා. ඒක සදාචාරාත්මක නැහැ වගේම, තමන්ගේ ඉමේජ් එකටත් හොඳ නෑ.

3. කොලිටියට කාඩ් එක තියාගමු

බිස්නස් කාඩ් ටිකක් ගහගත්තා කියමුකෝ. ඇත්තටම බිස්නස් කාඩ් තියාගන්නේ කොහෙද? සමහරු ඉන්නවා බිස්නස් කාඩ් කීපයක් තමන්ගේ පර්ස් එකේ තමයි තියාගෙන ඉන්නේ. ඇත්තටම හදිසියකට බිස්නස් කාඩ් දෙක තුනක් පර්ස් එකේ තිබ්බට කමක් නෑ. හැබැයි කොලිටියට බිස්නස් කාඩ් තියාගන්න ඕන නම්, ඒ වගේම කොලිටියට කෙනෙක්ට බිස්නස් කාඩ් එකක් දෙන්න ඕන නම් පර්ස් එක හොඳ තෝරාගැනීමක් නෙවෙයි. ගන්න බිස්නස් කාඩ් දාන්නම හදපු කාඩ් වොලට් එකක්. ඒ වගේ එකක් ඔන්ලයින් ගෙන්නගන්නත් පුළුවන් රුපියල් හාරපන්සීයකට. අන්න එහෙම කාඩ් වොලට් එකකින් බිස්නස් කාඩ් එකක් අරගෙන දෙන එකේ හොඳ වටිනාකමක් තියෙනවා. ඒ වගේම, ඒ වගේ කාඩ් වොලට් එකක බිස්නස් කාඩ් ටික හොඳ ලස්සනට, කොලිටියට තියාගන්නත් පුළුවන් වෙනවා. එහෙම නැතුව, කොන් නැවිච්ච, තැලිච්ච බිස්නස් කාඩ් එකක් කාටහරි දෙන එකෙන් අපේ ඉමේජ් එකටමයි හානි සිද්ධ වෙන්නේ!

4. බිස්නස් කාඩ් එකේ කුරුටු ගාන්න එපා

දැන් අපි උඩිනුත් කිව්වනේ බිස්නස් කාඩ් එක අප් ටු ඩේට් තියාගන්න කියලා. දැන් අපි කියමු අපි ෆෝන් නම්බර් එක හරි ඊමේල් ඇඩ්‍රස් එක හරි මාරු කළා කියලා. හැබැයි ඒ විස්තර තියෙන පරණ බිස්නස් කාඩ් සෙට් එක විසික් කරන්නත් ලෝබයි. සල්ලි දීලනේ ගහගත්තේ. ඉතින් එතකොට කාට හරි බිස්නස් කාඩ් එක දෙනකොට මොකද කරන්නේ? අර පරණ නොම්බරේ පෑනෙන් කපලා, ඊට උඩින් අපි පාවිච්චි කරන අලුත් නම්බර් එක ලියනවා. අන්න ඒක කැතයි. බිස්නස් කාඩ් එකක් දෙනකොට ඒකේ තව අනං මනං ලිය ලියා දෙන්නෙ නෑ. කාඩ් එක කෙලින්ම දෙන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතිනම් කාඩ් ඉවරයි කිව්වත් කමක් නෑ, කාඩ් එකේ කුරුටු ගාලා දෙනවට වඩා. ඒ ඇරෙන්න ඉතින් බිස්නස් කාඩ් එකේ ලව් නෝට්ස්, තමන්ව මතක් කරගන්න පුළුවන් මොකක් හරි දෙයක් වගේ විකාර ලියන්න යන්නත් එපා.

5. ඇඟේ ගහන්න එපා

දැන් සමහරු ඉන්නවා, මුණගැහිලා අතට අත දුන්නු ගමන් කරන්නේ බිස්නස් කාඩ් එකක් අරගෙන දෙන එක. අපි අහන්නෙත් නැතුව. ආන්න ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. කොටින්ම කියනවා නම්, බිස්නස් කාඩ් එකක් කාගෙවත් ඇඟේ ගහන්න යන්න එපා. ඒක දෙන විදියක් තියෙනවා. කෙනෙක් බිස්නස් කාඩ් එක ගැන විමසුවොත්, ටෙලිෆෝන් නම්බර්ස් එක්ස්චේන්ජ් කරගන්න ඇහුවොත්, එහෙම නැතිනම් ආයෙත් සම්බන්ධතා තියාගන්න අවශ්‍යයි කියලා මොකක් හරි ඉඟියක් දුන්නොත් විතරක් බිස්නස් කාඩ් එකක් දෙන්න. ඇත්තටම ඒක අර ස්වභාවිකව සිද්ධ වෙන්න ඕන දෙයක්. එහෙම නැතුව හම්බුවෙන කොල්ලටයි බල්ලටයි බලෙන් බිස්නස් කාඩ් ඇඟේ ගහන්න යෑමෙන්, අපි ගැන නරක ඉම්ප්‍රෙෂන් එකක් තමයි ඇතිවෙන්නේ කෙනෙක්ගේ හිතේ.

6. කාඩ් එකක් හරියට දෙන්නේ කොහොමද?

බිස්නස් කාඩ් එකක් හරියට දෙන්නේ කොහොමද? කාඩ් වොලට් එක ගත්තා, ඒකෙන් බිස්නස් කාඩ් එකක් ගත්තා, ඒක දුන්නා. එච්චරයිනේ? ඔව් එච්චර තමයි. හැබැයි බිස්නස් කාඩ් එකක් දෙන එක අර මුළු ලෝකෙටම කාඩ් එක පේන්න දෙන්නෙ නැතුව, ලස්සනට දෙන එකත් පොඩි ආට් එකක්. හැම විටකම බිස්නස් කාඩ් එකක් දෙනකොට දකුණු අතින් දෙන සම්ප්‍රදායක් තියෙනවා. හැබැයි දකුණත් හුරු නැති කෙනෙක්ටත් ඒක එහෙමම වෙන්න ඕන කියලා නීතියක් නෑ. ඒ වගේම, බිස්නස් කාඩ් එක දෙනකොට, ඒකේ ප්‍රින්ට් කරලා තියෙන පැත්ත පේන විදියට කෙනෙක්ට දෙන එක හොඳයි. එහෙම බිස්නස් කාඩ් එක දුන්නට පස්සේ ඕන නම් අතට අත දෙන්න පුළුවන් ආයෙමත් පාරක් හරි.

7. කාඩ් එකක් දුන්නහම මොකද කරන්නේ?

හරි, ඔය කිව්වේ කෙනෙක්ට බිස්නස් කාඩ් එකක් දීම සහ දෙන විදිය ගැනනේ. එතකොට අපිට කවුරුහරි බිස්නස් කාඩ් එකක් දුන්නහම මොකද කරන්නේ? ආන්න ඒ ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. පළවෙනි දේ තමයි ස්තුති කරලා බිස්නස් කාඩ් එක ගන්න එක. ඊට පස්සේ ඕන නම් ඒක කියවලා බලන්න පුළුවන් තත්පරයක් අරගෙන. හැබැයි ඊට පස්සේ කාඩ් එක කොහේටද දාගන්නේ? අන්න කතන්දරේ. අපිට කෙනෙක් බිස්නස් කාඩ් එකක් දුන්නට, ඇත්තටම අපිට ඒක අවශ්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි අපි ඒක අඟවන්න යන්නෙ නෑ. අපි පෙන්නන්න ඕන ඒ බිස්නස් කාඩ් එක දුන්න එක අපිට වටිනවා කියන එක. වෙන විදියකට කියනවා නම්, ඒ කන්ටැක්ට් එක අපිට වටිනවා කියන එක. ඒ නිසා කොයි වෙලාවකවත් බිස්නස් කාඩ් එක නිකම්ම කලිසම් සාක්කුවට ඔබාගන්න, නිකම් මේසේ උඩට විසි කරන්න වගේ දේවල් කරන්න එපා. ඒක ප්‍රවේසමෙන් තමන්ගේ වොලට් එකක් ඇතුළට දාගන්න. එහෙම නැතිනම් සාක්කුවට දාගත්තත් කමක් නෑ.

තව දෙයක්, කිසිම කෙනෙක් දෙන බිස්නස් කාඩ් එකක් අපිට වැඩක් වෙන්නෙ නෑ කියලා හිතන්න එපා. තමන් ගාව බිස්නස් කාඩ් එකතු කරලා තියාගන්න බොක්ස් එකක් හරි කාඩ් ඇල්බම් එකක් හරි තියාගන්න. අපි නොහිතන මොහොතක, කවදාකහරි ඒ කන්ටැක්ට් එක අවශ්‍ය වේවි.

දැන් මේ ඔක්කොම කියවලා බැලුවට පස්සේ මතක් වුණාද තමන්ට බිස්නස් කාඩ් එකක් නැහැයි කියලා? ඇත්තටම සාමාන්‍යයෙන් ඔෆිස් එකක ටිකක් ලොකු පෝස්ට් එකකට, එහෙම නැතිනම් ස්ථාවර තනතුරකට තමයි බිස්නස් කාඩ් එකක් ඔෆිස් එකෙන් ගහලා දෙන්නේ. එහෙම නැතිනම් ඉතින් බිස්නස් කාඩ් අත්‍යාවශ්‍ය වෙන මාකටින් වගේ ජොබ් එකක ඉන්න ඕන. හැබැයි එහෙමයි කියලා සැලෙන්න එපා. ඔෆිස් එකේ බිස්නස් කාඩ් එකක් ඔෆිස් එකෙන් දුන්නොත් මිසක් තමන්ට හදාගන්න බැහැ තමයි. හැබැයි තමන්ගේ ජොබ් එක මොකක් වුණත්, තමන්ටම බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් නම්, තමන්ගේම බිස්නස් කාඩ් එකක් හදාගන්න වටිනාකමකුත් හැදෙනවා. ආන්න එතකොට බිස්නස් කාඩ් එකක් ප්‍රින්ට් කරලා තියාගන්න එක වටිනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *