තමන්ගෙම කියල ගෙයක් දොරක් හදාගන්න, එහෙමත් නැත්නම් මොකක් හරි ආයෝජනයක් අරඹන්න කියලා අපි ඉඩමක් මිලදී ගන්න අවස්ථා තියනවා. අපි ඉඩමක් ගන්නේ ඉහත කාරණා දෙකෙන් මොන කාරණාව වෙනුවෙන් වුණත් අපි ඉඩම මිලදී ගනිද්දී හරිහැටි සොයා නොබැලුවොත් අපි රැවටීමට ලක්වෙලා කරදරේ වැටෙන්නත් ඉඩ තියනවා. අන්න ඒ නිසා අපි හිතුවා ඉඩමක් මිලදීගන්න කලින් ඔබ සොයා බැලිය යුතු දේවල් කීපයක් ගැන ඔබට කියන්න.
1. අවට පරිසරය
සමහර වෙලාවට අපිට අපි හිතනවටත් වඩා වාසි මුදලකට හොඳයි කියලා හිතෙන ඉඩමක් හම්බවෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවට හදිස්සි නොවී සොයා බැලිය යුතු ප්‍රධානම කාරණයක් තමයි ඉඩම පිහිටා ඇති පරිසරයේ තත්ත්වය. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන, ඔබට විවේකයෙන් සහ ගෞරවයෙන් ජීවත්විය හැකි පරිසරයක් ඉඩම අවට තියනවාද? අධික ශබ්දය පිට කරන යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය භාවිතා කළ හැකි ව්‍යාපාර සහ ආගමික ස්ථාන ආදිය අවට පිහිටලා තියෙනවාද කියලා සොයා බලන එක වැදගත්.
2. ඉඩමේ තත්ත්වය
නවසීලන්තයේ තණ පිටි වගේ වෙළඳ දැන්වීම්වල පෙන්නුවට සමහර ඉඩම්වලට ගිහින් බැලුවමයි නියම තත්ත්වෙ තේරෙන්නේ. ඒ වගේම තවත් සමහර ඉඩම් බැලූ බැල්මට කදිමට තියනවා. හැබැයි ඒවායේ අවුල් තේරෙන්න හොඳ වැස්සක් එන්න ඕනෙ. පොඩි වැස්සටත් යටවෙන ඉඩම්වලට, ගොඩ කරපු ඉඩම්වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න වුණු උදවිය ඔයාලටත් ඕන තරම් හමුවෙලා ඇති. අන්න ඒ නිසා ඉඩම ගනිද්දී ඒ වගේ කාරණා ගැනත් හොයලා බලන්න මතක තියාගන්න.
3. ඉඩමේ වටිනාකම
බොහොම වෙලාවට කෙනෙක් ඉඩමක් විකුණන්නේ තමනුත් යම් ලාභයක් තියාගෙනනේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉඩමේ වටිනාකමට වඩා මිලක් ඉඩම වෙනුවෙන් නියම කරල තියන එක සාමාන්‍යයයි. නමුත් මිලදී ගන්නෙක් හැටියට අපි අවාසි සහගත මිලකට ඉඩම මිලට ගන්න නරකයි. ඒ නිසා ඉඩමේ ස්වභාවය සහ අදාළ ප්‍රදේශයට අනුකූලව ඉඩමට හිමිවිය යුතු සාධාරණ වටිනාකම් මොකක්ද කියන එක ගැන හොඳ තීරණයකට එන්න ඕන. අවට ඉඩම්වල වටිනාකම, ඒ අවට දේපළ වෙන්දේසි සමාගම්වල ඉඩම් විකිණෙන මිල වගේ දේවල් හොයලා බලන්න වගේම ඒ සම්බන්ධයෙන් දැනුමක් තියන තක්සේරුකරුවෙක්ගේ සේවය ලබාගන්නත් ඔබට පුළුවන්.
4. ඉඩමේ සැලසුම
ඊළඟට අවධානය යොමු කරන්න ඕනෙ ප්‍රධාන කාරණයක් තමයි ඉඩමේ සැලසුම, එහෙම නැත්නම් ප්ලෑන් එක කියන්නේ. ඉඩම ගැන තමන් උනන්දුයි නම් ඔබට පුළුවන් ඒ ඉඩමේ සැලසුමේ පිටපතක් විකුණන පාරශ්වයෙන් ඉල්ලගන්න. එහෙම ඉල්ලගෙන, ඉඩමේ සැලසුම ප්‍රාදේශීය සභාවේ සම්මත වූ එකක්ද කියලා ඔබ සොයා බැලිය යුතුයි. ඒ වගේම සැලසුමේ සටහන් වෙලා තියන ආකාරයටද ඉඩම පිහිටලා තියෙන්නේ සහ සැලසුමේ සඳහන් වන පර්චස් හෝ අක්කර ප්‍රමාණය ඉඩම තුළ නිවැරදිව පවතිනවාද කියන එකත් මිනින්දෝරු මහතෙක් මාර්ගයෙන් මැන බලා තීරණය කරගත යුතුයි.
5. ඔප්පු තිරප්පු
හොර ඔප්පු, නඩු යන ඉඩම් වගේ දේවල්වලට අහුවීම වගේ දේවල් ඉඩම් කඩම් මිලදීගන්න උදවියට මුහුණ පාන්න වෙන ප්‍රධානම අවදානම් වලින් කීපයක්. ඒ නිසා මේ කාරණය බොහොම හොඳින් සොයා බැලිය යුතුයි. ඉඩම තනි හිමිකරුවෙක්ට අයිති එකක්ද, එසේත් නැත්නම් හවුල් හිමිකමක් තියන ඉඩමක්ද යන්න ගැන ඔබ සොයා බැලිය යුතුයි. කිහිප දෙනෙක්ට හවුලේ හිමි ඉඩමක්නම් ඒ සැම හිමිකරුවෙක්ගේම අවසරය ඔබට හිමිවිය යුතුයි ඉඩම මිලදී ගන්නට. ඉන් පසුව ඔබට පුළුවන් පළපුරුදු නීතීඥවරයෙක් මගින් ඉඩමේ ඔප්පු තිරප්පු සහ පත්ඉරු පරීක්ෂා කර බලා ඉඩමේ නිරවුල්බව සහතික කරගන්න.
6. මාර්ග සංවර්ධන කටයුතු
පාරක් අයිනේ ඉඩමක් ගන්න එක සමහර විට ආයෝජනයක් හැටියට ඉතාම වාසිදායක වෙන්නත් ඉඩ තියනවා, විශේෂයෙන්ම ව්‍යාපාරයක් අරඹන්න ඉඩමක් මිලදී ගනිද්දි. හැබැයි සමහර විට ඔබ නොදන්නවා වුණාට නුදුරේදීම මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලට ඔබේ ඉඩමෙන් ලොකු කොටසක් යට වෙන්න අවදානමක් තියෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඉඩම අයත් වන ප්‍රාදේශීස සභාවට ගිහින් ඒ වගේ සංවර්ධන ව්‍යාපෘති මගින් ඉඩමට යම් බළපෑමක් වෙන්න ඉඩක් තියනවාද යන්න සොයා බැලීමත් ඥානාන්විත වැඩක්.
7. ඉඩමේ සංවර්ධන කටයුතු
ඔබ ඉඩමක් ගන්නේ මොකක් හරි දෙයක් ගොඩ නංවන්න හරි වගා කටයුත්තකට හරි නම්, ඔබේ ඒ අවශ්‍යතාවය කරදරයක් නැතිව සපුරාගන්න හැකි ඉඩමක්ද යන්න ගැන සොයා බලන්න. ඉඩමේ පොළවේ සහ පසේ ස්වභාවය, ඒ වගේම ඉඩම තුල යම් ගොඩනැගිල්ලක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවානම් ඒ සඳහා අවශ්‍ය සම්පත් ඉඩම තුළට ගෙන ඒමට බාධාවන් තියනවද කියල හොයා බලන එකත් අනවශ්‍ය වියදම් අඩු කරගන්න ඔබට උදවු වේවි. මොකද ලොරියක්වත් හරවන්න බැරි පටු පාරක තියන ඉඩමක් අරගෙන ගෙයක් හදනවා කියන්නේ ඔබට ගල් වැලි විල්බැරෝවෙන් අදින තත්ත්වයට කටයුතු සැලසීමක්. අන්න ඒ වගේ කාරණා ගැනත් විමසලා බලන්න.
Leave a Reply