ඔන්ලයින් බෑන්කින් වල තියෙන වාසි මේවා තමයි!

අපි හැමෝටම වගේ එක බැංකු ගිණුමක් හරි තියෙනවනේ. එතකොට, ඉස්සර නම් ඉතින් බැංකු කටයුත්තක්, ඒ කියන්නේ ඔය මුදල් ගැනීමක්, මුදල් දැමීමක් වගේ ඕනම දේකට යන්න ඕන බැංකුවට. පස්සෙ පස්සෙ ඒටීඑම් වලිනුත් ඔය වැඩ කරගන්න පුළුවන් වුණු එක පහසුවක් වුණා. හැබැයි ඉතින් ඒකටත් ඒටීඑම් එකක් තියෙන තැනකට යන්න එපැයි. ගොඩක් වෙලාවට ඒටීඑම් එකක් තියෙන්නෙත් බැංකුව ගාවම තමයි. ආන්න එතකොට තමයි ඔන්ලයින් බෑන්කින්, මොබයිල් බෑන්කින් වල වටිනාකම තේරෙන්න පටන් ගත්තේ. ඉස්සර පටන් ගත්තු කාලේ නම් ඔය ඔන්ලයින් බෑන්කින් කියන්නේ හෙනම වාත වැඩක්. හැබැයි දැන් වෙනකොට ලංකාවේ හැම බැංකුවක්ම වගේ බොහොම පහසු, පරිශීලක මිත්‍රශීලී ඔන්ලයින් බෑන්කින් පද්ධති ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා, අපේ එකවුන්ට් එක තියෙන්නේ මොන බැංකුවේ වුණත්, ඒ බැංකුවේ ඔන්ලයින් බෑන්කින් පහසුකම පාවිච්චි කරන එක ලෙහෙසියි, පහසුයි විතරක් නෙවෙයි, තව සෑහෙන්න වාසි අපිට ලබාදෙනවා. ආන්න ඒ වාසි මොනවද කියලා හොයලා බලමු මුලින්ම.

 

1. පහසුව

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. ආයෙ ගෙදර ඉඳන් වුණත්, බස් එකේ ඉඳන් වුණත්, ලෝකේ වෙන කොහේ හරි ඉඳන් වුණත් ලොග් වෙලා ඔන්ලයින් බෑන්කින් පහසුකම පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඉන්ටර්නෙට් සබඳතාවයක් විතරයි. හැබැයි ඉතින් පාස්වර්ඩ් මතක තියෙන්නත් ඕන. ටූ වේ ඕතන්ටිකේෂන් ඔන් කරලා තිබුණොත්, ඒකට අදාළ ස්මාට්ෆෝන් එක හරි වෙනත් උපාංගයක් හරි ලඟ තියෙන්නත් ඕන. ඔය ටික තියෙනවා නං, ආයෙ බැංකුවට තියා ඒටීඑම් එකක් හොයාගෙනවත් යන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අනික ලෝකේ කොහේ හිටියා වුණත්, ඒක අදාළ වෙන්නෙත් නෑ. අන්න ඒ පහසුව තමයි අපි ඔන්ලයින් බෑන්කින් වලට යොමු වෙන්න ඕන ප්‍රධානතම කාරණාව.

 

2. සිකියුරිටි උපරිමයි

අපි බැංකු කටයුතු වලදී බලාපොරොත්තු වෙන්න ඕන මූලිකම දෙයක් තමයි ආරක්ෂාව. දැන් ඉස්සර නං අපි සල්ලි පර්ස් එකේ දාගෙන අරගෙන ගියා, සමහරු ගෙදර මෙට්ටෙ අස්සෙ එහෙමත් වැඩිපුර සල්ලි හංගලා තිබ්බලුනේ. හැබැයි දැන් වෙනකොට අපි එහෙම සල්ලි අතේ තියාගෙන ඉන්න භාවිතාවෙන් මිදිලා තියෙන්නේ. ඒ වෙනුවට බැංකුවේ එකවුන්ට් එකේ තමයි සල්ලි තියෙන්නේ. අපේ අතේ තියෙන්න ඕන එක්කෝ කාඩ් එක නැතිනම් ෆෝන් එක විතරයි. හැබැයි එතනදිත් අපිට හොඳ ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් දැන් ලංකාවේ තියෙන ඔන්ලයින් බෑන්කින් සිස්ටම් ගොඩක් ඒවල මෙන්න මේ ආරක්ෂාව කියන එකට සෑහෙන තැනක් දීලා තියෙන්නෙත් ඔය නිසාම තමයි. ඒ හින්දම ඔය පෝර්න්හබ් එකට ලොග් වෙනවා වගේ ඔන්ලයින් බෑන්කින් වෙබ්සයිට් එකට එක පාරම ලොග් වෙන්න බෑ ඉතින්. හැබැයි ඒක ගැටළුවක් නෑ, මොකද, ඒවැයින් සැපයෙන ආරක්ෂාව නිසා. හරියට තමන්ගේ පාස්වර්ඩ්, ටූ ස්ටෙප් ඕතන්ටිකේෂන් එහෙම හදලා තියාගන්නවා නං, වෙන කාටවත් ඔන්ලයින් බෑන්කින් ඔස්සේ අපේ සල්ලි හොරකම් කරන්න බෑ.

 

3. පැය විසිහතරෙම

දැන් හිතන්න අපිට මහ රෑක සල්ලි කීයක් හරි යාළුවෙක්ට දාන්න අවශ්‍යතාවයක් එනවා. එතකොට ඔන්ලයින් බෑන්කින් හෝ මොබයිල් බෑන්කින් නැතිනම්, ඊ-වොලට් එකක් හරි නැතිනම් තියෙන්නේ එක ඔප්ෂන් එකයි. සල්ලි දාන්න පුළුවන් ඒටීඑම් මැෂින් එකක් හොයාගෙන යන්න ඕන. ඒක ඉතින් වෙනම වැඩක්. ඒ ඇරෙන්න, ඒටීඑම් මැෂිම ක්‍රියා විරහිත වී ඇත කියලා තිබුණොත් ඒ ඔප්ෂන් එකත් අනාතයි. හැබැයි ඔන්ලයින් බෑන්කින් වල තියෙන හොඳේ තමයි ආයෙ වෙලාවක් කලාවක් නැතුවම බැංකු වැඩ කරගන්න පුළුවන් වීම. මහ රෑ ද, පාන්දර ද කියන එක ගැටළුවක් නෑ. ඔය කාලෙන් කාලෙට එන සයිට් මේන්ටෙනන්ස් වෙලාවක ඇරුණහම, ආයෙ පැය විසිහතරෙම ඔන්ලයින් බෑන්කින් බඩු වැඩ!

 

4. ඔන්ලයින්ම එකවුන්ට් අරිමුද?

ඉස්සර මතකද කොහොමද බැංකු ගිණුමක් අරින එක සිද්ධ වුණේ කියලා? ආයෙ ඉතින් ෆෝම් පුරෝලා, අයිඩෙන්ටි ෆොටෝකොපි ගහලා, වැඩ කෝටියකට පස්සේ තමයි බැංකු ගිණුම අරින්න පුළුවන් වෙන්නේ. ඒකටත් යන්න වෙනවා බැංකුවටම. එහෙම නැතුව ගෙදරට ඇවිත් බැංකු ගිණුම් ඇරල දෙන්නෙ නෑනේ කවුරුවත්, හැබයි දැන් නවීන ඔන්ලයින් බෑන්කින් සේවාවන් එක්ක ආයෙ ගෙදර ඉඳන්ම වුණත් බෑන්ක් එකවුන්ට් එකක් අරින්න පුළුවන්. ආයෙ බැංකුවක් ඇහැට දකින්නෙ නැතුව වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. අන්න ඒක නම් ඔන්ලයින් බෑන්කින් වල ලබාදීලා තියෙන හොඳම සේවාවක්. ඒකෙන් කෙනෙක්ට බැංකුවක රස්තියාදු වෙන්න තියෙන කාලය සහ ශ්‍රමය සම්පූර්ණයෙන්ම ඉතුරු කරලා දෙනවා. ඒ ඇරෙන්න, ඔන්ලයින් බෑන්කින් වලින් දැන් එකවුන්ට් එකක් අරිනවා කියන වැඩෙත් වඩාත් පහසුවට, කාර්යක්ෂමව කරගන්න පුළුවන් දෙයක් බවට පත් කරල දීලත් තියෙනවා.

 

5. ඔන්ලයින්ම බිල් ගෙවන්නත් පුළුවන් 

ගොඩක් අය ඇත්තටම ඔන්ලයින් බෑන්කින් පහසුකම සක්‍රීය කරගත්තත්, ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කරන්නේ බැංකුවේ සල්ලි තියෙනවද කියලා බලාගන්න විතරයි. එහෙම නැතිනම් කවුරුහරි තමන්ට සල්ලි දැම්මහම ඒක ඇත්තටම එකවුන්ට් එකට ඇවිල්ලද කියලා බලාගන්න විතරයි. හැබැයි ඉතින් ඔන්ලයින් බෑන්කින් වල ලබාදෙන පහසුකම් එක්ක බලනකොට, ඕකට විතරක් ඔන්ලයින් බෑන්කින් පාවිච්චි කරන එක ලෝක අපරාදයක්. උදාහරණයක් විදියට කිවුවොත්, සාමාන්‍යයෙන් අපිට මාසෙකට ගෙවන්න වෙන ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්, ඉන්ටර්නෙට් බිල් වගේ ඕනම බිලක් ගෙවන්න පහසුකම දැන් හැම ඔන්ලයින් බෑන්කින් සිස්ටම් එකකම වගේ ලබාදීලා තියෙනවා. ඒක කරන්න මාර කට්ටක් කන්න ඕනෙත් නෑ. කම්පියුටර් එක ඉස්සරහා වාඩි වුණහම පහසුවෙන්ම අදාළ බිල් ගෙවුම් සේවාව ලිස්ට් එකකින් හොයාගෙන බිල ගෙවලා ආතල් එකේ ඉන්න පුළුවන්. 

 

6. වෙන වෙන ගනුදෙනුත් ගේමක් නෑ

උඩ කිව්වනේ බැංකුවේ සල්ලි තියෙනවද කියලා බලන්න විතරක් ඔන්ලයින් බෑන්කින් පාවිච්චි කරන එක අපරාදයක් කියලා. ඇත්තටම ඒක වෙන්නේ, ගොඩක් දෙනෙක්ට ඔන්ලයින් බෑන්කින් වල තියෙන හැකියාවන් ගැන සියේට සීයක අවබෝධයක් නැතිකම නිසා තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ගේ එකවුන්ට් එක තියෙන බැංකුවේ විතරක් නෙවෙයි, වෙන ඕනම බැංකුවක තියෙන එකවුන්ට් එකකට වුණත් පහසුවෙන් සල්ලි දාන්න ඔන්ලයින් බෑන්කින් හරහා පුළුවන්. එතකොට ලෝන් එකකට මාසෙකට දාන්න තියෙන සල්ලි දාන්න, ලීස් එකකට මාසෙකට දාන්න තියෙන සල්ලි දාන්න වගේ වැඩකට වුණත් පහසුවෙන්ම ඔන්ලයින් බෑන්කින් යොදාගන්න පුළුවන්. ඇත්තටම ඔන්ලයින් බෑන්කින් වලින් දැන් වෙනකොට අපි බැංකු ශාඛාවකට ගිහින් කරගන්න ගනුදෙනු වැඩ හැම එකක්ම වගේ කරගන්න පුළුවන්! 

 

7. ස්ටේට්මන්ට්

අපිට විවිධ වෙලාවල් වලට අපේ එකවුන්ට් එකත් එක්ක හරි අපේ එකවුන්ට් එකෙන් හරි සිද්ධ වුණු ගනුදෙනු බලාගන්න ඕන වෙනවනේ. විශේෂයෙන්ම උදාහරණයක් විදියට කිව්වොත්, අපිට මාසේ ඇතුළත අපේ එකවුන්ට් එකට ආපු සල්ලි ප්‍රමාණයන් වෙන් වෙන්ව හොයාගන්න අවශ්‍ය වෙනවා නිතරම. එතකොට අපිට එක්කෝ බැංකුවට කතා කරලා, අපේ අනන්‍යතාවය තහවුරු කරලා විස්තර ෆෝන් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැතිනම් බැංකු ප්‍රකාශය එනකල් ඉන්න වෙනවා. එහෙම නැතිනම් බැංකුවටම යන්න වෙනවා. හැබැයි ඔන්ලයින් බෑන්කින් වලින් කෙලින්ම ඊ-ස්ටේට්මන්ට් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් එතනින්ම බලාගන්නත් පුළුවන් අපේ එකවුන්ට් එක හරහා සිද්ධ වෙලා තියෙන ගනුදෙනු මොනවද කියලා. ගොඩක් බැංකු වල ඔන්ලයින් බෑන්කින් සිස්ටම් වල දවස් තිහ, හතළිස් පහ වගේ කාලයන් දක්වා සිද්ධ වුණු ගනුදෙනු පෙන්නනවා.

 

පැහැදිළියි නේද ඇයි අපි ඔන්ලයින් බෑන්කින් වලට යොමු වෙන එක වඩාත් අපිට පහසුවක් වෙන්නේ කියන එක? ඕන නං අදම, මේ දැන්ම වුණත් තමන්ගේ එකවුන්ට් එකට ඔන්ලයින් බෑන්කින් හදාගන්න පුළුවන්. තමන්ගේ බැංකුවේ හොට්ලයින් එකට කෝල් එකක් දීලා වැඩිවිස්තර දැනගන්න විතරයි තියෙන්නේ!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *