ඊබුක්ස් වල හොඳ සහ නරක මේවා තමයි!

මේක ඇත්තටම අද ඊයේ තියෙන විවාදයක් නෙවෙයි. ඔය පොත් කියවන ඈයො අතරේ, විශේෂයෙන්ම පොත් ලෝලීන්, පොත් පිස්සෝ අතරේ පොදුවේ දකින්න පුළුවන් අදහසක් තමයි “අම්මෝ ඊබුක්ස් නම් එපා, ඊබුක්ස් නිසා තමයි පොත් කවදාහරි නැති වෙලා යන්නේ” වගේ කතන්දර. විශේෂයෙන්ම ඔය පොත් කියවන අය වගේ පොත් කියවන්නන් වෙනුවෙන්ම නිර්මාණය වෙලා තියෙන ෆේස්බුක් ගෘප් වල එහෙමත් ඔය කාරණව ගැන මරා ගන්න ලෙවල් එකේ වාදවිවාද සිද්ධ වෙනවා.

 

හැබැයි අපි මෙතනදී නිරීක්ෂණය කරපු දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඊබුක්ස් සම්බන්ධ මතවාද ගැටුම්, වාදවිවාද වලදී ඊබුක්ස් වලට විරුද්ධව කරුණු දක්වන ගොඩක් දෙනෙක්ට මේ ඊබුක්ස් ගැන හරි අදහසක් හෝ අත්දැකීමක් නැහැයි කියන එක. ආන්න ඒ නිසා අපි හිතුවා, ඔය ඊබුක් විරෝධය පදනමක් නැතුව උස්සාගෙන යන්න කලින්, ඊබුක්ස් ගැන පොඩ්ඩක් තව ඉන්සයිට් එකක් ලබාදීලා, දැනුවත් බවක් ලබාදීලා බලන්න. අන්න එතකොට සමහර වෙලාවට ඔය විප්ලවීය ඊබුක් විරෝධී අදහස් වෙනස් වෙන්න පුළුවන්.

 

අපි කලිනුත් Lifie.lk එකෙන් ඊබුක් රීඩර් එකක් පාවිච්චි කරන එකේ වාසි ගැන කතා කළා. අද ඔය ඊබුක්ස් සහ ඊබුක් රීඩර්ස් කියන කාරණාව ඔස්සේ තව ටිකක් දුරට කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ!

 

1. පීඩීඑෆ් නැද්ද?

මේක ඇත්තටම ගොඩක් වෙලාවට ඔය පොත් කියවන ගෘප් වලදී එහෙම ඇහෙන කාරණාවක් තමයි. මොකක් හරි පොතක පීඩීඑෆ් නැද්ද කියලා අහන එක. ඇත්තටම පීඩීඑෆ් කියන ෆෝමැට් එකෙනුත් ඊබුක්ස් තියෙනවා තමයි. හැබැයි ඊබුක්ස් කියන්නේ පීඩීඑෆ් නං නෙවෙයි. විශේෂයෙන්ම ඔය ඉල්ලන පීඩීඑෆ් කියන්නේ, මොකක් හරි පොතක් කර්තෘගේ හරි ප්‍රකාශකයාගේ හරි අවසරයකින් තොරව, හොරෙන් පිටපත් කරලා බෙදාහරින ඊ-කොපි. මේවා ගොඩක් වෙලාවට පොතේ පිටු ෆොටෝ අරගෙන හදපුවා නිසා කොලිටිය අන්තිමයි. කියවන්න වෙන්නෙත් ස්මාට්‍ ෆෝන් එකකින් හරි කම්පියුටරේකින් හරි තමයි. ඉතින් එහෙම මාර අමාරුවෙන් කියවන කොට, ඊබුක්ස් කියන්නේ පීඩීඑෆ් කියලා හිතාගෙන ඉන්න අය ඊබුක්ස් නරකයි කියලා සමාජ මතයක් හදන එක පුදුමයට කාරණයකුත් නෙවෙයි ඉතින්.

 

2. ඊබුක් පාවිච්චියේ වාසි!

අපි මේ ගැන කලින් කතා කරපු ආටිකල් එකේ ඊබුක් රීඩර් එකක් පාවිච්චි කරන එකේ තියෙන වාසි ගැන පැහැදිලිවම කියලා තියෙනවා. රීඩර් එකක් ඇතුළේ පුස්තකාලයක්ම ගබඩා කරගන්න පුළුවන් වීම, ඊ-ඉන්ක් ඩිස්ප්ලේ එක ඇහැට සනීපයක් වීම, පොතකටත් වඩා රීඩර් එකක් සැහැල්ලු වීම, එහා මෙහා ගෙන යෑමේ පහසුව, රාත්‍රියෙත් කියවන්න පුළුවන් වීම, නොමිලේ පොත් වගේ වාසි ගොන්නක් ඇත්තටම තියෙනවා. ඊට අමතරව පහසුවෙන් සර්ච් කරලා හොයාගන්න පුළුවන් වීම, ඇත්ත පොත් වල වගේ පොත් විනාස නොකර අපේ කෙටි සටහන් හෝ අදහස් කියවන පොතේ සඳහන් කරගන්න පුළුවන් වීම වගේ ඒවත් ඊබුක්ස් වල වාසි තමයි. ඒ වගේම ඉතින් ඊබුක්ස් කියන්නේ පරිසර හිතකාමී විකල්පයක් කියන එකත් අමතක කරන්න බැහැනේ. මේක වක්‍රව ගත්තොත් ඉතින් සංකීර්ණ කතන්දරයක් තමයි. හැබැයි පොත් හදන්න ගස් කපන්න වෙනවා කියන එක බොරුවක් නෙවෙයි.

 

3. ඊ-ඉන්ක් ඩිස්ප්ලේ!

ඊබුක්ස් වල නරක ගැන කතා කරන ගොඩක් අය කියන දෙයක්නේ ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන්, ටැබ් එකෙන් ඊබුක්ස් කියවන කොට ඇස්වලට බඩු බනිස් වීම ගැන. ඔතන කරුණු දෙයක් ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. එක. දැන් ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන්, ටැබ් එකෙන් මිනිස්සු ඊබුක්ස් කියවන්නෙ නැති වුනත් ඒ උපාංග වලට ඇහැ යොමාගෙන ගත කරන කාලය අඩු කරනවද? නැහැනේ. අන්න එහෙමනම් හොඳම දේ තමයි ඒ උපාංග වලින් ඊබුක්ස් කියෙව්වා හෝ නැතා හෝ ඒ වල සෙටින්ග්ස් ඇස් වලට අවුලක් නැති විදියට හදාගන්න එක.

දෙක. ඇත්තටම ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන්, ටැබ් එකෙන් ඊබුක්ස් එක දිගට කියවන්න අමාරුයි තමයි. ඇස්වලටත් ඒ තරම් හොඳ නෑ. අන්න ඒ නිසා තමයි ඊබුක් රීඩර්ස් තියෙන්නේ. මේ ඊබුක් රීඩර්ස් වල තියෙන විශේෂත්වය වෙන්නේ, ඒ වල තියෙන්නේ E-ink කියලා හඳුන්වන කළු සුදු ඩිස්ප්ලේ එක වීම. ඒක තනිකරම පොතක කොළයක් වගේ තමයි. සමහර වෙලාවට ඇත්ත පොතක කොළේකටත් වඩා ඇස්වලට සනීපයි. ඇත්තටම ඊබුක් රීඩර් එකක ඊ-ඉන්ක් ඩිස්ප්ලේ එකේ අත්දැකීම විඳලා තියෙන කෙනෙක් ඊබුක් රීඩර්ස් වලට මළාට විරුද්ධ වෙන්නෙ නෑ!

 

4. පොතක් පෙරළන හැඟීම, පොතක සුවඳ…

මේක ඉතින් ඔය ඊබුක් විරෝධීන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඒ තමයි ඊබුක් රීඩර් එකකින් පොත් කියෙව්වා කියලා පොතක පිටු පෙරළන කොට අතට දැනෙන හැඟීම, පොතක සුවඳ දැනෙන්නේ නැහැයි කියන එක. හැබැයි ඉතින් ඔය දේවල් පොත් කියවීමත් එක්ක එන රොමෑන්ටික් කාරණානේ. ඒ කියන්නේ වෙන විදියකට කිවුවොත් පොතක සුවඳ දැනුනේ නැහැයි කියලා පොතක් කියවලා ඒකේ අන්තර්ගතය ග්‍රහණය කරගන්න බැරි වීමක් වෙන්නෙ නෑ. ඒ නිසා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඕන නම් ඔය නවකතා, කෙටිකතා එහෙම නොවෙන නන්-ෆික්ෂන් නැතිනම් නිර්මාණ නොවෙන පොත් කියවන්න ඕන නම් ඊ-රීඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නවකතාවක් හෝ කෙටිකතාවක් කියවන කොට පොතේ පිටු ස්පර්ෂ කරමින්, පොත් පිටු අතර සුවඳ විඳිමින් ආතල් එකේ කියවන්න පුළුවන්!

 

5. නැතිවුනොත් ලයිබ්‍රියටම බඩු

මේකත් ඇත්තටම වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි. දැන් අපි උඩ ඊබුක් වල වාසි ගැන කියපු කොටසේ සඳහන් කළානේ ඊබුක් රීඩර් එකක සම්පූර්ණ පුස්තකාලයක්ම වගේ දාගෙන යන්න පුළුවන් කියන එක ගැන. හැබැයි ඒ එක්කම වෙන්න පුළුවන් අප්සට් එකක් තමයි, එහෙම ඊබුක් රීඩර් එකේ දාගෙන තියෙන සම්පූර්ණ පුස්තකාලයම රීඩර් එක නැතිවුනොත් හරි රීඩර් එකට ලෙඩක් ආවොත් හරි නැතිවෙන්න පුළුවන් කියන කාරණාව. දැන් ඔය ඇමසෝන් එකෙන් එහෙම මිලදී ගත්තු ඊබුක්ස් වලට ඒ ප්‍රශ්නේ එන්නෙ නෑ. ඒවා කින්ඩ්ල් එකේ වගේම ඇමසොන් ක්ලවුඩ්ස් වලත් තියෙනවා. අපිට ඕන වෙලාවක වෙන උපාංගයකට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි අනික් ඩවුන්ලෝඩ් කරගත්තු ඊබුක්ස් වලට ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්.

හැබැයි ඉතින් ඕකට සරලම විසඳුමක් තියෙනවා. බැකප් එකක් තියාගන්න! ඊබුක් රීඩර් එකේ තියෙන ඩවුන්ලෝඩ් කරපු පොත් කම්පියුටර් එකේත් බැකප් එකක් විදියට තියාගන්න. ඕන නම් තව පෙන් එකක වගේත් බැකප් කරලා තියාගන්න. ආයෙ ලොකු ඉඩක් යන්නෙ නෑනේ!

 

6. ඕන එකකින් කියවන්නත් බැහැනේ

ඕනම එකකින් ඊබුක්ස් කියවන්න බැරි වීම යම් තරමක ගැටළුවක් තමයි, විශේෂයෙන්ම ඊබුක් රීඩර් එකක් නැති කෙනෙක්ට. ඔතන එන තව ප්‍රශ්නයක් තමයි, ඊබුක් රීඩර් එකකට මූලික ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්​න සිද්ධ වීම. ඒක අද කාලේ කඩෙන් ගන්න තියෙන පොතක් වගේ විසිතිස්ගුණයක මිලක් වෙන්න පුළුවන්. අන්න ඒක ඊබුක්ස් කියවන්න කැමති අයව අධෛර්යමත් කරන කාරණාවක්. හැබැයි අපි නිර්දේශ නොකලට, ඔය දැන් තියෙන ස්ක්‍රීන් එක ලොකු ස්මාට්ෆෝන් එකක වුනත්, ටැබ් එකක වුනත් ඊබුක්ස් කියවීම වෙනුවෙන්ම හදලා තියෙන ඇප් එකක් දාගෙන, ස්ක්‍රීන් එකේ ඇහැට පහසුවක් ගෙන දෙන්න තියෙන සෙටින්ස්, ඒ කියන්නේ ඔය නයිට් මෝඩ්, උණුසුම් කහ ආලෝකය වගේ ඒවා ඔන් කරලා ඊබුක්ස් කියවන්නත් පුළුවන්. ඒක ඊබුක් රීඩර් එකකින් කියවන තරම් සනීප අත්දැකීමක් වෙන්නෙ නම් නෑ හැබැයි. ඒත් නැතිකමට අවුලකුත් නෑ.

 

7. හැබැයි ඕන තරම් ෆ්‍රී පොත් තියෙනවා

මේක අපි උඩ ඊබුක්ස් වල හොඳ කියපු කෑල්ලෙත් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඊබුක්ස් කියවන කෙනෙක්ට තියෙන වාසියක් තමයි නොමිලේ වුනත් සෑහෙන්න පොත් හොයාගන්න පුළුවන් වීම. සරල උදාහරණයක් ගමු. දැන් අපිට ඔය පරණම පොතක් එහෙම සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩේකින් අඩු මිලට ගත්තත්, ඒකට යම් මිලක් ගෙවලා තමයි ගන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔය ගුටන්බර්ග් වගේ ඊබුක්ස් ලබාදෙන වෙබ් අඩවි වල, ප්‍රකාශන හිමිකම් වලට අදාළ කාලය ඉවර වුණු පරණ පොත් එහෙම සතයක්වත් ගෙවන්නෙ නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවා යාලුවෝ අතරේ හුවමාරු කරගන්නත් පුළුවන්. අන්න ඒ වාසිය නම් සෑහෙන්න වටිනවා.

 

8. භාෂා ප්‍රශ්නේ

මේක ඉතින් ලංකාවේ අපිට පැන නගින ප්‍රශ්නයක්. ඔය කින්ඩ්ල් වගේ ඊබුක් රීඩර්ස් වල වුනත් සපෝට් කරන්නේ ඉංග්‍රීසි භාෂාවට විතරයිනේ. අපේ කම්පියුටර්, ස්මාට්ෆෝන් වල දැන් සිංහල භාෂාවත් විකල්පයක් විදියට තිබ්බට, ඊබුක් රීඩර්ස් වල නම් තාම එහෙම නෑ. කොහොමත් සිංහලෙන් පළ වෙන ඊබුක්ස් එහෙමත් තාම අඩුයිනේ. ඕන නම් ඉතින් සිංහල පොතක් ස්කෑන් කරලා හරි ෆොටෝ ගහලා හරි හදාගත්තු පීඩීඑෆ් කියවන්න පුළුවන්. හැබැයි අපි මුලින්ම කතා වුනානේ ඒක මිහිරි අත්දැකීමක් නම් නෙවෙයි කියලා. ඉතින් ඊබුක්ස් කියවන කොට ඔය භාෂා ප්‍රශ්නේ නම් එනවා තමයි.

 

9. ඊබුක්ස් නිසා ඇත්ත පොත් නැතිවෙයිද?

ඇත්තටම කියනවා නම් මේක අනියත බොරු බයක්. ඇයි අපි එහෙම කියන්නේ? අපි අත්දැකීමෙන් දැකලා තියෙන දෙයක් තමයි, ඇත්තටම පොත් කියවන, ඊබුක් රීඩර්ස් භාවිතා කරන මිනිස්සු, ඊබුක් රීඩර් එකකින් පොත් කියවනවා වගේම තමන් ආස ඇත්ත පොත් සල්ලි දීලා ගන්න එකත් කරනවා කියන එක. ගොඩක් වෙලාවට පොත් එකතු කරන්න කැමැත්ත දක්වන අය ඊබුක් රීඩර් එකෙන් ලේසියට පොතක් කියෙව්වත්, ඒ පොතේ ඇත්ත පිටපතකුත් තමන්ගේ පුස්තකාලයට එකතු කරගන්නවා. අන්න ඒ නිසා ඊබුක්ස් හින්දා පොත් අභාවයට යයි වගේ කාරණා ගැන හිත කලබල කරගන්න කාරි නෑ! 

 

දැන් තේරෙනවනේ ඇත්තටම ඊබුක්ස් සහ ඊබුක් රීඩර්ස් කියන්නේ නරක දෙයක් නෙවෙයි කියලා. විශේෂයෙන්ම ඊබුක් රීඩර්ස් නිසා ඇත්ත පොත් ලෝකෙන් තුරන් වෙලා යන්නෙ නැහැයි කියන එකත් මේ වෙනකොට ඊබුක්-විරෝධීන්ට තේරෙන්න ඕන. අන්න ඒ නිසා, අපි කරන්න ඕන උඩින් කියලා තියෙන කාරණාවල තියෙන බැලන්ස් එක අල්ලගෙන පොත් කියවන එක. ඔච්චරයි!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *