කොවිඩ්-19 එක්ක අපේ ජීවිත වලට සිද්ධ වෙලා තියෙන බලපෑම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ වෙනකොට ලංකාවේ කොවිඩ්-19 තුන්වෙනි රැල්ල තමයි යන්නේ. දැන් මුලින්ම කොවිඩ්-19 ආපු කාලේ අපිට මතකයි මිනිස්සු ගෙවල් වලටම වෙලා, උපරිම සෞඛ්‍යාරක්ෂිතව හිටපු හැටි. හැබැයි ඉතින් පහු පහු වෙනකොට මිනිස්සුන්ටම ඕවත් අමතක වෙලා ගිහින්. ඒත් ඉතින් ලෝක ව්‍යාප්ත වසංගතයක් ආවයි කියලා අපි හැමෝටම ගෙවල් අස්සටම වෙලා ඉන්න පුළුවන්ද? ඇත්තටම බැහැ. අපිට සම්පූර්ණයෙන්ම ඉස්සර තිබුණු සාමාන්‍ය තත්ත්වයට යන්න යම් කාලයක් ගත වෙයි. හැබැයි එතකල් වත් අපි පුළුවන් තරම් අපේ ජීවිත සාමාන්‍ය විදියට ගත කරන්න ඕන. ආන්න ඒකට එක ක්‍රමයක් තමයි සමාජ බුබුළක් හරි සෝෂල් බබ්ල් එකක් හරි වසංගත බුබුළක් හරි පැන්ඩෙමික් බබ්ල් එකක් හරි වෙනත් ඕනෙම නමකින් හරි හඳුන්වන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම.
මේක කොවිඩ්-19 එක්ක හැකිතාක් පරෙස්සම් වෙලා එදිනෙදා ජීවිතෙත් හැකිතාක් සාමාන්‍ය කරගැනීම සඳහා සෑහෙන්න දැන් පාවිච්චි වෙන දෙයක්. ආන්න ඒ නිසා අපි හිතුවා කොහොමද අපිත් අපේම සෝෂල් බබ්ල් එකක් නැතිනම් පැන්ඩෙමික් බබ්ල් එකක් හදාගන්නේ කියලා උපදෙස් කීපයක් ලබාදෙන්න.
සැළකිය යුතුයි! – මේ දවස්වල පනවලා තියන සංචරණ සීමාවන් නිසා මේ ක්‍රමය මේ දවස්වල අත්හදා බලන්නට යාම සුදුසු නැහැ. නමුත් ඉදිරියේදී මේ සීමාවන් ලිහිල් වුණොත් එවිට ඔබට පුළුවන් පෙර වගේ නොසැලකිලිමත්ව සමාජයත් එක්ක මුහු වෙන්නේ නැතිව මේ විදිහේ සෝෂල් බබ්ල් එකක් පවත්වාගන්න උත්සාහ කරන්න.
1. මොකද්ද මේ සෝෂල් බබ්ල් එක?
සාමාන්‍යයෙන් බබ්ල් එකක් කියලා මේ වගේ දේවල් සම්බන්ධයේදී කියන්නේ සමීපයෙන් ඉන්න මිනිස්සු කණ්ඩායමක් කියන එක. ඒකට බබ්ල් එකක් කියන්නේ මේකයි. මේ මිනිස්සු කණ්ඩායම අනික් අයත් එක්ක සම්බන්ධකම් තියෙන්නෙ නෑ. ඒ අය අතරේ විතරයි. අන්න ඒ නිසා මේ බබ්ල් එකේ ඉන්න එක්කෙනෙක්ට හරි කොරෝනා හැදෙන්නෙ නැතිතම්, බබ්ල් එකේ ඉන්න හැමෝම ආරක්ෂිතයි. එතකොට ඒ කට්ටියට සමීපව ඉන්න පුළුවන් නිසාම මේ බබ්ල් එකේ ඉන්න අයට විතරක් එකිනෙකා අතර තමන්ගේ සාමාන්‍ය ජීවිතේ සමීපව ගෙවන්න පුළුවන්.
ඇත්තටම කොවිඩ්-19 එක්ක සමාජ දුරස්ථකරණය පිළිපදින එක ලේසි පාසු දෙයක් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් මනුස්සයා කියන්නේ සමාජශීලී සත්වයෙක් නිසා. හැබැයි ඉතින් එහෙමයි කියලා කොවිඩ්-19 වසංගත තත්ත්වය ගණන් නොගෙන ඉන්න බැහැනේ. අන්න ඒ නිසා කොවිඩ්-19 ගණන් ගන්න ගමන්ම තමන්ගේ සමීපතමයෝ එක්ක ජීවිතේ හැකිතාක් සාමාන්‍ය විදියට පවත්වාගෙන යන්න තමයි මේ සෝෂල් බබ්ල් නැතිනම් පැන්ඩෙමික් බබ්ල් එක උපකාරී වෙන්නේ.
2. කවුද ටීම් එකට ගන්නේ?
මේ සෝෂල් බබ්ල් නැතිනම් පැන්ඩෙමික් බබ්ල් හදනකොට අපි මූලිකවම හිතන්න ඕන කාරණාව තමයි, අපිට සමීපව ඇසුරු කරන්න අවශ්‍ය කවුද කියන එක. එතනදී ඉතින් අපිත් එක්ක සමාන රුචිකත්වයන් තියෙන, කොහොමත් අපිට සමීප, අපි ආශ්‍රය කරන්න ආස කරන හෝ ප්‍රයෝජනවත් අයව තෝරගන්න වෙනවා. සමහර වෙලාවට බබ්ල් එකේ තවත් කෙනෙක්ගේ කැමැත්ත නිසා අපි අකමැති කෙනෙක්ව වුණත් සෝෂල් බබ්ල් එකට ගන්න සිද්ධ වෙන්න පුළුවන්. එව්වා ඉතින් පුද්ගලික මට්ටමේ තීරණ නේ.
ඒ ඇරෙන්න අනිවාර්යයෙන්ම හිතන්න ඕන දේ තමයි මේ සෝෂල් බබ්ල් නැතිනම් පැන්ඩෙමික් බබ්ල් එක ඇතුළට ගන්න අය විශ්වාසවන්තද කියන එක. ඒ කියන්නේ පාටියකදී කොයි තරම් ෆන් වුණත් වැඩක් නෑ, කියන දේ අහන්නෙ නැති, සෝෂල් බබ්ල් එකේ රූල්ස් පිළිපදින්නේ නැති කෙනෙක්ව නම් අපි ගන්නේ. අන්න ඒ නිසා විශ්වාස කරන්න පුළුවන් අයව මේ සෝෂල් බබ්ල් එකට ගැනීම ගැන විශේෂයෙන්ම හිතන එක අත්‍යාවශ්‍යයි.
3. පොඩි බබ්ල්
බබ්ල් එකක් කියන එකේ අදහස වෙන්නෙම මිනිස්සු පණහක විතර කණ්ඩායමක් කියන එක නෙවෙයි. විශේෂයෙන්ම මේ කොවිඩ්-19 තත්ත්වය යටතේ නිර්මාණය කරන සෝෂල් බබ්ල් නැතිනම් පැන්ඩෙමික් බබ්ල් එකක හැකිතාක් දුරට අඩු පිරිසක් තියාගන්න ඕන. මෙතනදී ඇත්තටම තමන්ගේ රටේ නැතිනම් ප්‍රදේශයේ සෞඛ්‍ය නීති රීති වලට අනුව ගැවසෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාව කීයද කියන එකත් හිතලා බලන්න ඕන. කොහොම වුණත් මේ විදියේ සෝෂල් බබ්ල් එකකට උපරිම දහදෙනෙක්ට වඩා ගන්න එක අවදානම් කියලා තමයි මේ ගැන කටයුතු කරන අය කියන්නේ.
4. ඊට කලින් කොරන්ටයින්
සාමාන්‍යයෙන් කොවිඩ්-19 තත්ත්වය ඇති කරන සාර්ස්-කොව්-2 වෛරසය ආසාදනය වුණු කෙනෙක්ට රෝග ලක්ෂණ පෙන්නන්න දවස් 14 ක් විතර යනවා කියන එක තමයි සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ. ආන්න ඒ නිසා මේ සෝෂල් බබ්ල් එක හදන කට්ටිය අනිවාර්යයෙන්ම සති දෙකක් නිරෝධායනය වෙන්න ඕන. එහෙම සති දෙකක් අතිශයින්ම පරිස්සම් වෙලා, කොරන්ටයින් වෙලා බලන්න ඕන තත්ත්වය කොහොමද කියලා. ඒකෙන් මේ සෝෂල් බබ්ල් එක ඇතුළේ අවම කොවිඩ්-19 අවදානමක් පවත්වා ගන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න, සෝෂල් බබ්ල් එකේ එක්කෙනෙක් කොරන්ටයින් වෙන්නෙ නැතුව අනික් හැමෝම කොරන්ටයින් වුණත් ලොකු වැඩක් වෙන එකක් නෑ!
5. ඇතුළට වඩා එළිය හොඳයි
දැන් ඔහොම කොහොම හරි කරලා සෝෂල් බබ්ල් එක හදාගත්තා කියමුකෝ. එතකොට කොහොමද පාටි දාන්නේ? මොනවද ෆන් ගන්න කරන්නේ? අන්න ඒවා ඉතින් තම තමන්ට තීරණය කරගන්න පුළුවන්. හැබැයි එක්ස්පර්ට්ලා කියන දෙයක් තමයි, මොන දේ කළත්, මේ සෝෂල් බබ්ල් එකේ කට්ටියට එකතු වෙන්න ගෙයක් ඇතුළේ වගේ ගෘහාශ්‍රිත පරිසරයක් නැතුව, එළිමහන් පරිසරයක් තෝරගන්න එක හොඳයි කියන එක. ගෙයක් ඇතුළේ සෙට් වෙන්නම ඕනෙ නං ජනෙල් දොරවල් ඇරලා දාලා සෙට් වෙන්න කියලා තමයි කියන්නේ.
ඒ වගේම, මේ සෝෂල් බබ්ල් එක හදාගත්තා කියන්නේ අද මෙයාගේ ගෙදර, හෙට අරයගේ ගෙදර වගේ දවස් හතට ගෙවල් හතක සෙට් වෙන එකත් නෙවෙයි, හරිද. පුළුවන් තරම් තමන් මුණගැහෙන ස්ථාන ප්‍රමාණය සීමාසහිත කරගන්න ඕන. ඒ කියන්නේ එක තැනක විතරක් සෙට් වුණත් කමක් නෑ.
6. බබ්ල්ස් අතර සම්බන්ධකම් බෑ
මෙන්න මේක හොඳටම හිතට ගන්න ඕන කාරණාවක්. ඇත්තටම කාරණා දෙකක්. එකක් තමයි සෝෂල් බබ්ල් එකට යාළුමිත්‍රයෝ හඳුන්වා දීම. ඒක තහනම්. ඒ කියන්නේ, සෝෂල් බබ්ල් එක හැදුවට පස්සේ තව කෙනෙක්ව “අනේ මගේ හොඳම බොක්කක්” කියලා සෝෂල් බබ්ල් එකට ජොයින්ට් කරවන්න හදනවා වගේ වගකීම් විරහිත වැඩ කිරීම සම්පූර්ණ සෝෂල් බබ්ල් එකටම අවදානමක්.
ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ඔය සෝෂල් බබ්ල් ඕවර්ලැප් වෙන්න ඉඩ නොදෙන එක. ඒ කියන්නේ අර සෝෂල් බබ්ල් එකේ මගේ හොඳම ෆිට් එකට මේ සෝෂල් බබ්ල් එකේ පාටියකට එන්න කියන එක එහෙම කරන්න දෙන්න බෑ. එතනදී අර සෝෂල් බබ්ල් එකේ මෙයා ඉන්න නිසා එතනත් දින දාහතරක් කොරන්ටයින් වුණු නිසා ගැටළුවක් නෑ කියලා සමහරු හිතනවා. නෑ, ඒත් ගැටළුවක් තියෙනවා. සෝෂල් බබ්ල් ඕවර්ලැප් වෙන එකෙන් එහෙම වෙන සෝෂල් බබ්ල් දෙකේම අවදානම ඉහළ යනවා.
7. මාස්ක් නැතුව ආතල් එක ගමුද?
එව්වා හරියන්නෙ නෑ. උඩ කියපු විදියේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා සෝෂල් බබ්ල් එකක් අපි හදන්නේ, ගෙදරටම හිරවෙලා ඉන්නවට වඩා ඒක හොඳ නිසා. එහෙමයි කියලා අවදානම බිංදුව වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා එක්ස්පර්ට්ලා කියන්නේ සෝෂල් බබ්ල් එකක් හදාගෙන ඒක ඇතුළේ අපි එකිනෙකා එක්ක ගනුදෙනු කළත්, අර සාමාන්‍ය සෞඛ්‍ය නිර්දේශ පිළිපදින්න කියලා තමයි. ඒ කියන්නේ මුඛ ආවරණ, සැනිටයිසර් හෝ සබන් යොදා නිරන්තරයෙන් දෑත් විෂබීජහරණය කිරීම සහ සමාජ දුරස්ථකරණය.
ඒ වගේම තව දෙයක්. මෙහෙම සෝෂල් බබ්ල් හදාගන්න කොට ඒකට ගුරුවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, හදිසි සේවකයෝ වගේ වැඩි වශයෙන් අවදානමට නිරාවරණය වෙන අය ගන්න එක අවම කරන තරමට සෝෂල් බබ්ල් එකට තියෙන අවදානම අඩුයි.
Leave a Reply