ඊ-බුක් රීඩර් එකක් පාවිච්චි කරන එකේ වාසි මේවා තමයි!

දැන් අපි පොත් කියවනවනේ. ඒ කියන්නේ සමහරු අතට අහුවෙන පිටු තියෙන පොත් කියවනවා. තවත් සමහරු ඊ-පොත් කියවනවා. හැබැයි සාමාන්‍යයෙන් පොත් කියවන නොකියවන ගොඩක් අය අතර තියෙන මතයක් තමයි, ඊ-බුක් රීඩර් එකකින් පොතක් කියවන එක අමාරුයි, ඇස් වලටත් හොඳ නෑ, එහෙම පොතක් කියවනකොට “දැනෙන්නෙ” නෑ වගේ අදහස්. ඒ එක්කම තවත් අය කියනවා, ඊ-බුක් රීඩර්ස් නිසා පොත් අභාවයට යයි කියලත්. හැබැයි අපිට කියන්න තියෙන්නේ ඔය අදහස් ඔක්කොම මිත්‍යාවන් කියලා තමයි. ඒ කියන්නේ මෙහෙමයි. හොඳ කින්ඩ්ල් වගේ ඊ-බුක් රීඩර් එකක් අතට බොහොම සැහැල්ලුයි. එතකොට ඒ වල තියෙන්නේ ඊ-ඉන්ක් කියන ඩිස්ප්ලේ එක නිසා පොතක් කියවනවා වගේම තමයි. සමහර වෙලාවට ඊටත් වඩා ඇස් වලට පහසුයි. ඒ වගේම තමයි, ගොඩක් ඊ-බුක් රීඩර්ස් පාවිච්චි කරන අය හැබෑ පොතුත් ඒ වගේම කියවනවා කියන එකයි පොදුවේ අපිට තියෙන අත්දැකීම.

හරි, ඊ-බුක් රීඩර්ස් නරක නැහැ කියන එක පිළිගත්තා. ඊ-බුක් රීඩර් එකක් පාවිච්චි කරන එකේ ඇත්තටම තියෙන වාසි මොනවද? අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. පුස්තකාලයක්ම ඔබේ අත්ල මත

දැන් කාලේ එන ඕනම ඊ-බුක් රීඩර් එකක අඩුම තරමින් ගිගාබයිට් 4 ක වත් මෙමරියක් තියෙනවා. ඒ කියන්නේ දෙයියනේ කියලා පොත් තුන්දාහක් විතර කරදරයක් නැතුව සුරක්ෂිත කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ පුංචි ඊ-බුක් රීඩර් එකක් ඇතුළේ සම්පූර්ණ පුස්තකාලයක්ම තියෙනවා කියන එක නෙවෙයිද? ඒ වගේම සම්පූර්ණ පුස්තකාලයක්ම තිබ්බත්, අපිට කරදරයක් නැතුව ඕනම පොතක් සර්ච් කරලා හොයාගන්නත් කින්ඩ්ල් වගේ ඊ-බුක් රීඩර් එකක අවකාශය තියෙනවා. මතක තියාගන්න, ගෙදරක නම් පොත් තුන්දාහක් ගබඩා කරන්න පොත් අල්මාරි ගණනාවක් සහ විශාල කාමරයක්ම අවශ්‍ය වෙනවා කියන එක.

 

2. පොතකටත් වඩා සැහැල්ලුයි

ඔව්, වර්තමානයේ නිර්මාණය කෙරෙන ඇමසන් කින්ඩ්ල් පේපර්වයිට් වගේ ජනප්‍රිය ඊබුක් රීඩර්ස් වල තිර ප්‍රමාණය අඟල් 6 යි. ඒ කියන්නේ උපාංගයේ උස පළල ගත්තොත් අඟල් 6.7 ක් සහ අඟල් 4.6 ක් වගේ. එතකොට ඝනකම ගත්තත් මිලිමීටර් 9.1 ක් වගේ තමයි. ඔන්න ඔය ප්‍රමාණේ එක අතකින් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් මේ උපාංගය ඉතාම සැහැල්ලුයි. සාමාන්‍ය පොතකටත් වඩා සැහැල්ලුයි කියන්න පුළුවන් ග. අන්න ඒ නිසා බොහොම ලේසියෙන් අත රිදෙන්නේ නැතුව ඇඳක දිගාවෙලා වුනත් ඊබුක් රීඩරේ එක අතකින් අල්ලාගෙන කියවන්න පුළුවන්. ඔය විශාල පොත් එක්ක එහෙම බලනකොට ඒක කොයි තරම් ලේසිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහා මෙහා ගෙනියන එකත් අතිශයින්ම පහසුයි මේ නිසාම.

 

3. පොත් කීපයක් එක වර කියවනකොට

පොත් කියවන අපි ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක් තමයි පොත් කීපයක්ම එක වර කියවන එක. දැන් ගෙදර ඉන්නවා නම් ඒක ඒ තරමටම අවුලක් නෑ. කියව කියව ඉන්න පොත පැත්තක තියලා මේසේ උඩ තියෙන අනික් පොත අතට ගන්න විතරනේ තියෙන්නේ. හැබැයි කොහේ හරි යනකොට කාරිය කියවන පොත් තුන හතරම උස්සගෙන යන එක ප්‍රයෝගික නෑ. හැබැයි කින්ඩ්ල් එකක් පාවිච්චි කරනකොට ඔය පොත් කීපයක් කියවන කාරිය ඉතාම ලේසියි. මොකද, අපි එක පොතක් කියවලා නතර කරලා තව පොතකට යනවනේ. දැන් ආයෙත් පරණ පොත් කියවන්න ඕන කියලා හිතුනොත්, කින්ඩ්ල් එකේ මේන් ස්ක්‍රීන් එකේම තියෙනවා කියවමින් ඉන්න පොත්. ඒ වගේම අපි කියවලා නවත්තපු තැන ඉඳලා තමයි ඒක ඕපන් වෙන්නෙත්. සරලයි, පහසුයි.

 

4. තිසෝරස්, විකි සහාය

දැන් අපි සාමාන්‍යයෙන් පොතක් කියවමින් ඉන්නකොට තෙරෙන්නෙ නැති වචන අහුවෙන එක ලොකු ගැටළුවක් නෙවෙයි. ඒ වචනේ යෙදිලා තියෙන විදිය අනුව ඒකේ තේරුම අනුමාන කරමින් තමයි අපි කියවන්නේ. හැබැයි කිසිසේත්ම තේරුම් ගන්න බැරි වචනයක් අහු වුනොත් මොකද කරන්නේ. වෙන වෙලාවක නම් ඩික්ෂනරියක් හොයාගන්න වෙනවා. හැබැයි කින්ඩ්ල් ඊ-බුක් රීඩර් එකේ ඔය ප්‍රශ්නේ නෑ. කරන්න තියෙන්නේ වචනේ උඩ ටච් කරන එක විතරයි. අන්න එතකොට වචනේ තේරුම, ඒකට සමාන පද ඔක්කොම එනවා. වයි-ෆයි හරි දත්ත සම්බන්ධතාවයක් හරි සක්‍රිය කරලා තියෙනවා නම් විකිපීඩියාවේ ඒ ගැන තියෙන විස්තරත් එනවා.

 

5. රෑටත් කරදරයක් නෑ

මේ පහසුකම ඇත්තටම ලැබෙන්නේ පරණ කාලේ ඊබුක් රීඩර්ස් වලට නෙවෙයි, අලුතින් එන ඊබුක් රීඩර්ස් වලට. ඒ තමයි බැක්ලයිට් එක. බොහොම සෞම්‍ය විදියට තිරය ආලෝකමත් කරන බැක්ලයිට් එක නිසා එකක් දවාලකට වුනත් ආලෝකය අඩු තැනක ඉඳගෙන ඊ-ඉන්ක් තිරය ඔස්සේ පොතක් කියවන එක කිසිම අපහසුවක් නෑ. එතකොට විශේෂයෙන්ම රාත්‍රියට වුනත් පොතක් කියවන්න නම්, ආලෝකය තියෙන තැනක් හොය හොයා දඟලන්න ඕන නෑ. ඊබුක් රීඩර් එකේ බැක්ලයිට් එක නිසා බොහොම සාර්ථකව පොත කියවන්න පුළුවන්.

 

6. නොමිලේ පොත්

මෙන්න පොත් වලට ආස කරන අයට තියෙන ගජ වාසියක්. දැන් ඔය කොපි රයිට්ස් කාලය ගෙවුණු පරණ පොත් තියෙනවනේ. ඒවා අපි ඇත්ත පොත් විදියට ගන්න ගියත් මිලක් ගෙවන්න ඕන. පරණ පොත් කඩේකින් ඒවා ගත්තත් එච්චර තමයි. හැබැයි ඒ විදියේ කොපි රයිට්ස් ගෙවුණු පොත් ඩිජිටල් මාදිලියෙන් ගන්නකොට සත පහක්වත් ගෙවන්න ඕන නෑ. තනිකරම නොමිලේ. එහෙම පොත් නීත්‍යානුකූලව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එක තැනක් තමයි Gutenberg කියන වෙබ් අඩවිය. ඉතින් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පොත් කියවන්න පහසු ඊබුක් රීඩර් එකක තමයි.

ඒ ඇරෙන්න ඇමසන් එකේ එහෙම තියෙනවා කර්තෘවරුන් නොමිලේ දෙන පොත්, ප්‍රොමෝෂන් වලට නොමිලේ දෙන පොත් එහෙම. අන්න ඒවාත් කින්ඩ්ල් එකට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන් ලේසියෙන්ම.

 

7. ඇහේ ගාණට ෆොන්ට් සයිස්

සාමාන්‍යයෙන් ඇත්ත පොතක තියන අකුරු ප්‍රමාණය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්ද? බැහැනේ. පොතේ අකුරු අපිට පහසුවෙන් කියවන්න පුළුවන් තරමට කුඩා වැඩියි නම්, ගොඩක් වෙලාවට වෙන්නේ පොත කියවන එක අල්ලලා දාන්න. හැබැයි ඊබුක් රීඩර් එකක පහසුකම තියෙනවා පොතේ අකුරු අපිට ඕන ප්‍රමාණයට ඇජස් කරගන්න, ලොකු කුඩා කරගන්න. ඒ විතරක් නෙවෙයි. පොතේ දාර, ඒ කියන්නේ මාර්ජින්ස් වල ප්‍රමාණය වුනත් අපිට අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න පුළුවන්. .

 

ඊබුක් රීඩර් එකක් කොයි තරම් පහසුද කියලා දැන් තේරෙනවනේ? හැබැයි ඒ කියන්නේ මුද්‍රිත පොත් අත අරින්න කියන එක නෙවෙයි. මුද්‍රිත පොතක තියෙන ක්ලැසික් ගතිය ඊබුක් රීඩර් එකකින් ගන්න බැහැ. ඇත්තටම ගොඩක් සැබෑ පොත් කියවන්නෝ ඊබුක් රීඩර් එකක් පහසුව තකා පාවිච්චි කරන ගමන්, මුද්‍රිත පොතුත් නොකඩවා මිලදී ගන්නවා. ඒකයි ඇත්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *