ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්​ගේ කට වරද්දාගැනීම් 7ක්

අපේ පරණ කවියක තියෙනවා “හොඳට නරකට දෙකට කටමය” කියලා. හැබැයි අපේ රටේ බොහෝ දෙනෙක් මේ කවිය නොදන්නවා වගේ කට වරද්ද ගන්නවා. සමහර අවස්ථා වල එහෙම කට වරද්දා ගැනීම නිසා තමන්ට වගේම අන් අයටත් ලොකු ලොකු ප්‍රශ්න ඇති කරනවා. අපි අද කියන්න යන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ ප්‍රසිද්ධ පුද්ගලයන් කට වරද්දාගත් අවස්ථා කීපයක් 

 

1. ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් 

එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රබලයෙක් වන ලක්ෂ්මන් කිරිඇල්ල යුද්ධය පවතින අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුර විදිහට “ඕනෙ ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්” කියලා ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය දැඩි ලෙස රට තුළ ආන්දෝලනයට ලක් වුණා. මේ නිසාම බොහෝ දෙනෙක් ගේ විරෝධය කිරිඇල්ලට වගේම එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධව එල්ල වුණා.

 

2. කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා

 

පාර්ලිමේන්තුව තුළ කතාවක් පවත්වමින් හිටපු රවී කරුණානායක එවකට රජයේ යුධ වැඩපිළිවෙල විවේචනය කරමින් “අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා” කියලා යම් උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළා. මේ ප්‍රකාශයටත් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රකාශයට හා සමානම විරෝධයක් එල්ල වුණා. අවසානයේ දී යුද ජයග්‍රහණයෙන් පසුව ඇතැම් අය මේ ප්‍රකාශය ඇතුළත් පුවරු පවා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා.

 

3. මම බලයට ආපු ගමන් ගුවන් තොටුපළවල් වහනවා

මෑත කාලයේදී කට හින්දා ආන්දෝලනයට ලක්වුණු පුද්ගලයන් අතරින් කප් ගහපු පුද්ගලයා විදිහට මෛත්‍රීපාල සිරිසේනව හඳුන්වන්න පුළුවන්. එක්තරා ජනාධිපතිවරණ රැලියකදී ඔහු තමන් බලයට පත් පත්වූ වහාම ගුවන් තොටුපළ වසා දූෂකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට වේගවත් කතාවක් කළා. ඉන් දින දෙකකට පමණ පසුව තවත් රැස්වීමකදී එවැනි කතාවක් කිරීමට තමන්ට පිස්සුවක් නැතැයි කියලා පැවසුවා.

 

4. මම සුනඛයෙක් වගේ ඔබ පසුපසින් එන්නම්

පසුගිය ජනාධිපතිවරණ කාලය පුරාවටම සජිත් ප්‍රේමදාස අපූරු අපූරු කතා දේශපාලන වේදිකාවේ පැවසුවා. එක්තරා අවස්ථාවක ශ්‍රී මුඛය කියන වචනය අවභාවිතා කිරීම නිසා ඔහු පසුව සමාවක් ගත්තා. ඒ වගේම සාමාන්‍ය ජනතාව සතුටින් ඉන්නවා ද බැලීමට තමන් රාත්‍රියට පැමිණෙන බව ප්‍රකාශ කළා. මේ සියලුම ප්‍රකාශවලට සමාජ මාධ්‍ය වලින් හොඳ හොඳ ප්‍රතිචාරත් ලැබිලා තිබ්බා. එක්තරා අවස්ථාවක ඔහු පැවසුවේ තමන් සුනඛයෙක් සේ ජනතාවට සේවය කිරීමට සූදානම් බවයි. සමහරවිට සජිත් ප්‍රේමදාස සුනඛයා කියන වචනේ තේරුම දන්නේ නැතුව ඇති කියලා අපිට හිතන්න පුළුවන්.

 

5. මහල්ලා සහ මුහුද 

එක්තරා වර්ෂයක සාහිත්‍ය දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීම පැවරුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හටයි. ඔහු විසින් සාරගර්භ දේශනයක් සිදු කළ අතර ඔහු එක්තරා තැනකදී මහල්ලා සහ මුහුද කෘතිය රචනා කර ඇත්තේ ගී ද මෝපසාන් බව පැවසුවා. මේත් සමගම සියලුම ජන මාධ්‍ය පාහේ මේ ප්‍රකාශ හාස්‍යයට ලක් කිරීමට කටයුතු කළා. පසුව විමල් වීරවංශත් එය තමන් අතින් සිදුවුණු අත්වැරදීමක් බව පිළිගත්තා.

 

6. ගීතාගේ කෝටි දෙක 

ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලැබූ පාද යාත්‍රාව සඳහා කෝටි දෙකක් ඉක්ම වූ ජනකායක් සහභාගී වූ බව ගීතා කුමාරසිංහ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමින් පවසා සිටියා. නමුත් ගැටළුව වූයේ ලංකාවේ මුළු ජනගහනය කෝටි දෙකයි තුන් ලක්ෂ පනස් නම දහසක් පමණක් වීමයි. පසුව ඇය ප්‍රකාශ කළේ තමන්ට චෙක් ලිවීමේ පුරුද්දට මිලියන සහ කෝටි පැටලුණු බවයි.

 

7. එස්. බී දිසානායක 

කට නිසා අපේ දේශපාලනඥයෙක් වැටුණු දරුණුම අමාරුව විදිහට එස්. බී දිසානායකට මුහුණ දෙන්න වුණු ඉරණම සඳහන් කරන්න පුළුවන්. එක්තරා රාජ්‍ය උත්සවයකට සහභාගී වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන කිසිදු තීන්දුවක් තමන් පිළිනොගන්නා බව පවසමින් අපහාසාත්මක ප්‍රකාශ‍යක් ඔහු විසින් සිදු කළා. අවසානයේදී මෙම ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බව තීරණය වී ඔහුට සිර දඬුවම් දීමට නියම වුණා.

 

මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තව ඕන තරම් කට වරද්දාගැනීම ඇති. ඒවා ගැන කමෙන්ට් එකකින් ඔබට කියන්න දැන් අවස්ථාව තියෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *