හිමි අහිමි – 19 කොට​ස

“මම ඕනම දේකදී ඔයා ළඟ ඉන්නවා… ඔයා ඒ බව දන්නවා” නිතාරත් පිළිතුරු දුන්නේ ස්ථිර හඬකින්..

 

“නිතූ… ඔයා අපේ ගෙදර ගැන අහද්දී මම හැමවෙලාවෙම අසරණ වුණු තැනක් තිබුණා” ටිකක් වෙලා දුර ඈත අරමුණක් නැති හිස් අහස දිහා බලාගෙන හිටපු විමංග ආයෙමත් හඬ අවදිකළේ කතාව කියන්නම්කො වගේ ස්ථිර බැල්මක් එක්කමයි.

 

“මට එහෙම දෙයක් දැනිලා නැහැ කවදාවත්. එහෙම ඔයා අසරණ වෙන ප්‍රශ්නයක් දැන දැන ඔයාගෙන් අහන්නෙ නැහැ මම එහෙනම්” නිතා​රගේ පිළිතුරේ රැඳිලා තිබුණේ ප්‍රශ්නාර්ථයක්…

 

“ඒ තමයි නිතූ අපේ අම්මා… ඔයා මගෙන් නිතරම ඇහුවා නේද අම්ම ඔයාට අකමැතිද කියලා? එයා ඇත්තටම අකමැති ඔයාට නෙමෙයි. මට” එහෙම කියද්දී විමංගගේ ඇස් දෙක දිලිසුන හැටි නිතා​රට හොඳින්ම  පෙනුණා. පුදුමයත් එක්කම දෙන්න ඕන පිළිතුර ගලපගන්න බැරිවුණත් නිතාරා දිගටම අහගෙන හිටියා…

 

“ඒ මගේ අම්මා නෙමෙයි නිතූ… එයා මගේ කුඩම්මා” ඒ වචන ටික ඉවරවෙද්දීම විමංගට කලින් නිතාරගේ ඇස් දෙකේ කඳුළු පිරුණා…

 

“අනේ…” මොනවා කියාගන්නද නොතේරුණත් නිතා​රගේ කටින් ඉබේම ඒ වචනය පිටවුණා…

 

“ඔව් නිතූ… එයා මගේ කුඩම්මා… හැබැයි අම්මා ඇත්තටම මට සාමාන්‍ය කුඩම්මා කෙනෙක් වගේ නරකට සලකලා නැහැ. ඒත් අම්මා කවදාවත් මට විශේෂ ආදරයකින් සලකලත් නැහැ. පුංචිම කාලේ මට හිතුනේ මල්ලි පවුලේ බාලයා නිසා අම්මගේ වැඩි ආදරේ පොඩ්ඩට ලැබෙනවා කියලයි. මේ ලඟක් වෙනකම්ම මම ඇත්තටම හිතාගෙන හිටියේ එහෙම. විමංග දිගටම කතා  කළා.

 

“පුංචිම කාලෙ එක දවසක් සුමනම්මගේ කටින් මගේ අම්ම ගැන දෙයක් කියවුණා… නෝනව ලොකු බේබිගේ අම්මගේ ළඟින්වත් තියන්න බැහැ වගේ කතාවක් කියල සුමනම්මා ඇස් දෙකේ කඳුළු පුරවගෙන  කල්පනා කළා. ඒ හයක් හතරක් නොතේරෙන කාලෙ මම ඒ කතාවට හරියට පුදුම වුණා. ඒත් ආයෙත් දෙයක් අහන්න මට දැනුමක් තිබුණේ නැහැ. පස්සේ එතනදී අප්පච්චි කවදාවත්ම නැතුව සුමනම්මාට බැන්න මතකයි විකාර කියවන්න එපා වගේ එකක් කියලා” 

 

“ආයෙමත් ඔය සිදුවීම මගේ මතකෙට ආවේ මෑතක අප්පච්චිගේ ඩොකියුමන්ට්ස් වගයක් සුද්ධ කරන්න ගිහින් අම්මගේ නමට වෙනස් නමක් තියෙන මගේ උප්පැන්න සහතිකයක් හම්බවෙච්ච දවසේ. අප්පච්චිගෙයි මගෙයි අතරේ රහස් නැහැ කියලා හිතන් හිටපු නිසාම මම එදාම අප්පච්චිගෙන් මේ ගැන ඇහුවා. ඇස් දෙකේ කඳුළු පුරවගත්ත අප්පච්චි “මං කියන්නම් සුදු පුතේ” කියල මගේ ඔලුව අතගෑව… එච්චරම තමයි. මුකුත් කියන්න කලින් එයා යන්නම ගියා” විමංගගේ හඬේ තිබු​ණේ ලොකු හිස්බවක්…

 

“විමංග..” නිතූ කතා ක​ළේ නිහැඬියාවකට පස්සේ ලොකු සුසුමක් පිටකරමින්…

 

“ඔයා බොරු දෙයක්නේ ළමයෝ හිතේ තියාගෙන ඉන්නේ. මම හිතුවේ මේ ගැන දැනගෙන ඔයා කතා කරනවා කියල. ඔය උප්පැන්න සහතිකේ වැරදුණ එකක් වෙන්න බැරිද? සුමනම්මා ඇත්තටම විකාර කියෙව්වා වෙන්න බැරිද? නැත්තම් ඔයාගේ අම්මා පස්සේ නම වෙනස් කළා වෙන්න බැරිද? ඔය වගේ වෙන්න පුළුවන් දේවල් කොච්චරක්ද විමංග? ඔයා නිකන් අනවශ්‍ය දෙයක් ඔලුවට අරගෙන නෙමෙයිද? අනික මොනදේ වුණත් අම්ම ඔයාට තවමත් වෙනස කරල නැහැනේ”

 

නැහැ නිතූ… ඒක නෙමෙයි ප්‍රශ්නේ. මට වෙනසක් නැතත් මල්ලිට විශේෂයක් තිබුණා. මම ඔයාට ඒ ගැන කියල තියෙනවනේ. අනික සුමනම්මා හැමදාම මට පුදුම විදිහේ අනුකම්පාවක් දැක්වුවා. අප්පච්චි මල්ලිට වඩා මට විශේෂයක් දැක්වුවා. ඒ හැම දෙයක්ම මට දැන් පේන්නේ මට ආදරේට වඩා අනුකම්පාවට ලැබුණ දේවල් විදිහට. විමංග කතා ක​ළේ පුදුම දුකකින් සහ කලකිරීමකින්.

 

“විමංග…  මේ අහන්නකෝ…” නිතූ කතාක​ළේ විමංගගේ අතකින් අල්ලාගන්න ගමන්.

 

“අප්පච්චි නැතිවීම ඔයාට වචනයෙන් විස්තර කරන්න බැරි අහිමිවීමක්. ඔයා දැන් ඉන්න මානසික මට්ටම එක්ක ඔහොම දේවල් හිතෙන එක සාධාරණයි. ඔයාට ඕනෙනම් අපි කවුන්සලර් කෙනෙක් හම්බවෙන්න යමුද? මම එන්නම් යන්න…

 

“නැහැ ළමයෝ…” ඒ පාරනම් විමංග කතා කළේ පුංචි හිනාවක් එක්ක…

 

“මට පිස්සු නෙමෙයි… තාම මම ඔයාට හරිම ප්‍රශ්නේ කිව්වේ නැහැ”

 

“හරි එහෙනම් කියන්නකෝ” නිතා​ර කිව්වේ නැවතත් ප්‍රශ්නාර්ථයක් මවාගන්න ගමන්.

 

“අම්ම ඉස්සර ඉඳන්ම කැමති වු​ණේ නැහැ මම අප්පච්චිගේ බිස්නස් වලට වැඩිපුර ඉන්වෝල්ව් වෙනවට. අප්පච්චි මට වැඩ පුරුදු කරන්න කියල ඉස්සෙල්ලම මාව ඔෆිස් එක්කන් යද්දිත් මට මතකයි අම්ම ඇහුව පොඩ්ඩත් එක්සෑම් කරල ඉවර වෙනකන් ඉන්න බැරිද ඉතින් කියල. දැන් මේ දේවල් එක්ක හිතද්දී මට හිතෙනවා මට බිස්නස් ලැබෙයි කියල අම්මගෙ හිතේ බයක් ඇති කියල”

 

නිශ්ශබ්දව සුළු මොහොතක් කල්පනා කරපු විමංග නැවතත් හඬ අවදි කළා…

 

“ඒකත් නෙමෙයි බබා ඇත්තටම ප්‍රශ්නේ. ප්‍රශ්නේ පටන් ගත්තේ අප්පච්චි නැතිවෙලා සතියකින්. එදා ඉඳන් තමයි මට එකපෙ​ළට මේ දේවල් ගලපලා හිතන්න පුළුවන් වුණේ. 

 

“ඉතින් කියන්නකෝ ප්‍රශ්නේ. මට දැන් අගක් මුලක් තේරෙන්නෙ නැහැ” 

 

“ගිය සතියේ මුල අම්ම මගෙන් එකපාරටම ඇහුව අප්පච්චිගේ ඔෆිස් එකේ හරි, පර්සනල් හරි ලඟින් හිටපු ලෝයර් කෙනෙක් ගැන දන්නවද කියල. මට හිතෙන්නෙ අප්පච්චිගෙ දේවල් ක්ලියර් කරගන්න වෙන්න ඇති” ඒ ටික කියද්දීනම් විමංගගේ ඇස් දෙකේ ආයෙමත් කදුළු පිරිල තිබුණා.

 

“අප්පච්චි ගියා විතරයි නිතූ… එයාගෙ සුවඳවත් තාම ගෙදරින් ගිහින් නැහැ. ඇයි ඒ දේවල් හිතන්නෙ? කොහොමද ඒ දේවල් හිතන්නෙ කියල මට තේරෙන්නෙ නැහැ. එයාට ඒවා පිළිවෙලක් කරල යන්න වෙලාවක් ලැබුණේ නැහැ කියල මම දන්නවා. ඒ කොහොමවුණත් මට ඒ කිසිම දේකට අම්මා එක්ක, මල්ලි එක්ක රණ්ඩු කරන්න ඕන නැහැ නිතූ… ඇත්ත මොකක් වුණත් එයාල මගේම අය. 

 

හැබැයි අප්පච්චි එයාගේ බිස්නස් කෙරෙහි මං ගැන ලොකු විශ්වාසයක් තිබ්බ. මට ගිරයක දෙපැත්තට අහුවුණ පුවක් ගෙඩියක් වගේ පුදුම අසර​ණකමක් දැනෙනවා නිතූ…

 

කියන්න ඕන මොකක්ද? කරන්න ඕන මොකක්ද කියලා ලොකු අවබෝධයක් නොතිබු​ණත් ඉස්සරහට එන්නෙ ලේසි කාලයක් නොවෙන බවත්, මොනදේ වුණත් දරාගෙන ඉන්න වෙන බවත් නිතාර​​ට හිතුණා.. ඒ අධිෂ්ඨානයත් එක්ක නිතා​ර විමංගගේ අත්දෙක තදින් අල්ල ගත්තා… 

 

ඊළඟ සතියට…

 

 

හිමි අහිමි – 1 කොටස

 

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

 

 

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

හිමි අහිමි – 10 කොට​ස

 

හිමි අහිමි – 11 කොට​ස

 

හිමි අහිමි – 12 කොට​ස

 

 

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

 

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

 

හිමි අහිමි – 17 කොට​ස

 

හිමි අහිමි – 18 කොට​ස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *